උණුසුම් පුවත්කාලීනපරිසරයවිශේෂාංග

හේළ හෙළෙයි හෙළෙයි යා…. අල්ලාපං මේ ඔරුකඳ – හේළ හෙළෙයි හෙළෙයියා

මාදැල් තොටුපළ 899 ක මාදැල් ධීවරයයෝ රස්සාව නොකළොත් සාමාන්‍ය ජනයාට ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගන්නට වෙන්නේ ඉන්දියාවෙන් ද?

මාදැල් ධීවරයන්ගේ සටන පසුගියදා ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවෙන් පසු නතර කෙරිණි. ඒ ඉල්ලීම්වලට විසඳුමක් ලැබී නොවේ. ඉල්ලීම් ගැන සියලු පාර්ශව සමග සාකච්ඡා කර විසඳුමක් දෙන බවට, ජනාධිපතිතුමා දුන් පොරොන්දුවක් විශ්වාස කරමිනි. කවර ලෙස හෝ මාදැල් ධීවරයින් සත්‍යග්‍රහයෙන් ඉවත්වීම හොඳ දෙයකි. ඒ මේ රටේ සාමාන්‍ය ජනතාවට කන්න වැඩි වශයෙන්  මාළු අල්ලන්නේ මාදැල් ධීවරයින් වන නිසා ය. මාදැල් ධ්වරයින් මාළු ඇල්ලීම වෙනුවට සත්‍යග්‍රහ වල වාඩිවී සිටියොත් සාමාන්‍ය මනුස්සයාට මාළු කන්න වෙන්නේ නැත. රට පුරාම මාදැල් අදින ස්තාන 899 ක් ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇති බවට තොරතුරු හෙළිවුණු අතර මේ කර්මාන්තය අනාදිමත් කාලයක් තිස්සේ සිදු කෙරෙන සම්ප්‍රදායික ධීවර ක්‍රමයකි.

මාදැල් ධීවර කර්මාන්තයට අදාළව ධීවර පනත ප්‍රකාරව  රෙගුලාසි පනවා  ඇත්තේ 1984/11/06 වන දින දී ය. ඒ එවක ධීවර අමාත්‍යවරයා වූ ෆෙස්ටස් පෙරෙරා මහතාගේ අත්සනිනි. මේ මාදැල් ධිවර නියෝග ගැසට් පත්‍රයෙන් ප්‍රසිධ කර ඇත්තේ අංක 357/48 හා 1985/2/21 දිනැති ගැසට් පත්‍රයේ ය. මේ මාදැල් ධීවර නියෝග මේ වනවිටත් වලංගුව පවතින එම කර්මාන්තය නියාමනය කිරීම සඳහා, යොදා ගන්නා ප්‍රධාන නිර්ණායකයන්ද වේ. මෙම මාදැල් ධීවර නියෝග අනුව මෙරට දිස්ත්‍රික්ක 13 ක මාදැල් කර්මාන්තය සඳහා වෙන් කෙරුණු මාදැල් පාඩු 899 හඳුනා ගෙන ප්‍රකාශයට පත් කර ඇත.ඒ මාදල් පාඩු එක් එක් දිස්ත්‍රික්කයට අදාලව පිහිටා ඇත්තේ මෙසේය.

පුත්තලම දිස්ත්‍රික්කය                     173
යාපනය දිස්ත්‍රික්කය                      144
මන්නාරම දිස්ත්‍රික්කය                    115
මඩකලපුව දිස්ත්‍රික්කය                   109
ත්‍රිකුණමලය දිස්ත්‍රික්කය                   90
මුලතිව් දිස්ත්‍රික්කය                          88
අම්පාර දිස්ත්‍රික්කය්                          76
ගාල්ල දිස්ත්‍රික්කය                           30
කළුතර දිස්ත්‍රික්කය                          24
ගම්පහ දිස්ත්‍රිකය                              15
හම්බන්තොට දිස්ත්‍රික්කය                14
කොලඹ දිස්ත්‍රික්කය                         11
මාතර දිස්ත්‍රික්කය                            10

ඉහත මාදැල් පාඩු හඳුනාගෙන ඇති අන්දම අනුව ලංකාවේ මුහුදුබඩ සෑම දිස්ත්‍රික්කයකම මේ මාදැල් ධීවර කර්මාන්තය පවතින බවත් බස්නාහිර, දකුණු පළාත් දෙක ආශ්‍රිතව කුඩා ප්‍රමාණයෙනුත් උතුරු නැගෙනහිර හා වයඹ පළාත්වල  විශාල මාදැල් ප්‍රමණයකුත් ක්‍රියාත්මකව පවතින බව පැහැදිලිවේ.

මෙසේ හඳුනාගෙන ප්‍රකාශයට පත්කර ඇති මාදැල් පාඩුව /මාදැල් වරාය ලෙස ප්‍රකාශයට පත්කර ඇත. මාදැල් වරාය ප්‍රකාශයට පත් කිරීමේ දී එම මාදැල් වරායට වෙරළේ සිට මුහුද දෙසට කොපමණ දුරක් අයත් ද  වෙරළ දිගේ කොපමණ දුරක් අයත් වේ ද, වෙරළ සිට ගොඩ බිම දෙසට කොපමණ දුරක් අයත් වේ ද යන  විස්තර ඉතා පැහැදිලිව  ප්‍රකාශයට පත්කර ඇත. මෙටට ප්‍රකාශයට පත්කර ඇති සියලුම මාදැල් වරායන්වල මුහුදෙන් අයත් දුර ප්‍රමාණය උපරිම නාවික සැතපුම් එක හමාරකි. මේ ප්‍රමාණය තුළ ඇතැම් මාදැල් වරායන් නාවික සැතපුම් එකයි කාලට සීමා කර ඇත. එක් එක් මාදැල් පාඩුවට වෙරළ දිගේ වෙන්කර ඇති දුර වෙනස් කම් පවතී. කෙසේ වුවද වැඩිම දුරක් වෙරළ දිගේ වෙන්කර ඇති මාදැල් පාඩුව වන්නේ මීටර් 2011 ක දුරක් වෙන්කොට දී ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ, හික්කඩුව දකුණ ධීවර පරීක්ෂක කොට්ඨාසයට අයත් රජ්ගම ගමේ, බණ්ඩාරවත්ත මාදැල් පාඩුව යි. අඩුම දුරවන මීටර් හැත්තෑපහක දුරක් වෙන්කර ඇති මා දැල් පාඩු කීපයක් ම නිරීක්ෂණය වේ. වෙරළ තීරයේ සිට ගොඩබිම දෙසටත්, යම් දුරක් මාදැල් පාඩුවලට  වෙන්කර ඇත. එම දුරත් අදාළ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් කම් පවතී. වෙරළේ ගොඩ බිම දෙසට මාදැල් පාඩුවට වෙන්කර ඇති භූමි ප්‍රමාණය, මීටර් හතරේ සිට හයසීයයත් ඉක්මවන අයුරිනි. එහෙත් මාදැල් පාඩුව  අනුව වෙනස් වී ඇත. මේ අනුව ප්‍රථමයෙන් ම තේරුම් ගත යුතුව ඇත්තේ රටවටේ මුහුද තිබුණාට, රටට කිලෝමීටර් 1600 කටත් වඩා දිග වෙරළක් තිබුණාට, ඒ හැම  තැනම මාදැල් ධීවර කර්මාන්තය කරන්නට නීතිමය ඉඩක් නැති බව ය. මේ වෙරළ තිරයේ ස්ථාන 899 ක් පමණක් මාදැල් ධීවර කර්මාන්තයට වෙන් කර ඇති බවත් තේරුම් ගත යුතු අතර, ඒ ස්ථාන වල ද මාදැලක් නීත්‍යානුකූලව එළිය හැක්කේ වෙරළේ සිට මුහුද දෙසට නාවික සැතපුම් එක හමාරක් පමණ උපරිම දුරකට පමණි. මා පෞද්ගලික ව දන්නා පරිදි අම්පාර දිස්ත්‍රික්කයේ කිලෝමිටර් 115 දිග වෙරළ තීරයෙන් මාදැල් පාඩු හැත්තෑ හයකට වෙන්ව ඇත්තේ කිලෝමීටර් 12.65 ක පමණ වෙරළ කොටසකි.

මාදැල් පාඩු/මාදැල් වරාය සීමාවන්වලට අතිරේකව මාදැල් ධීවර නියෝගවල සඳහන් අනෙකුත් ප්‍රමිතීන් ද රැසක් ඇත. ඒ අනුව මදැල් කර්මාන්තයේ දී යොදා ගත යුතු අනුමත ධීවර යාත්‍රා හා ධීවර ආම්පන්න ද, මේ නියෝගවල සඳහන්වෙයි. මාදැල් ධීවර කර්මාන්තයේ දී භාවිතා කළ හැකි ධීවර යාත්‍රා වර්ග තුනකි.

ඒ මාදැල් පාරුව,මාදැල් වල්ලම හා මාදැල් ඔරුවයි. මේ සියලුම යාත්‍රා වර්ග මිනිස් ශ්‍රමය යොදාගෙන යාත්‍රා කරන ඒවා මිස යාන්ත්‍රික ඒවා නොවේ. යාන්ත්‍රික යාත්‍රා මාදැල් වරාය තුළ භාවිතය තහනම්‍ වේ. ධීවර අම්පන්න ලෙස මාදැල් ධීවර කර්මාන්තයේ යොදා ගත හැක්කේ පහත සඳහන් ආම්පන්න පමණි.

මාදැල හෝ මහ දැල

⋆ හාල්මැස්සන් දැල

⋆ අඩසි දැල

⋆  සාල දැල

⋆ කරවලෙයි

තෝලි දැල

ඉහත පරිදි මාදැල් ධීවර නියෝග මගින් පාලනය වන මාදැල් වරායක/මාදැල් පාඩුවක දැල් දැමීමේ අයිතිය ලියාපදිංචි කිරීමට, ධීවර නියෝග නිකුත් වීමෙන් පසු මාස හයක කාලයක් ලබාදී ඇත. මෙසේ හඳුනා ගත් මාදැල් පාඩු සියල්ලම පාහේ  ධීවරයන් විසින් සාම්ප්‍රදායිකව මාදැල් කර්මාන්තයේ යොදා ගත් ස්ථාන නිසා ඒ ඒ මාදැල් පාඩුවට අනන්‍ය වූ පාරම්පරික මාදැල් කරුවන්ද සිටිති. මේ මාදැල් පාඩුවල ධීවර කර්මාන්‍තයේ යෙදෙන මාදැල් හිමියන් දකුණු, බටහිර, වයඹ, පළාත්වල මුහුද ප්‍රචණ්ඩ වන වාරකන් සමයේ දි සංසුන් මුහුදක් ඇති උතුරු නැගෙනහිර මුහුදු වෙරළට සංක්‍රමණය වී, ඒ ප්‍රදේශවල මාදැල් ධීවර කර්මාන්තයේ යෙදීම සාමාන්‍ය සිරිතයි. මේනිසා මේ මාදැල් පාඩුවල ලියාපදිංචි මාදැල් කරුවන්, බොහොමයක් වයඹ, බස්නාහිර, හා දකුණු පළාත්වල මෙන්ම  උතුරු නැගෙනහිර පළාත් වල ද මාදල් කර්මාන්තයේ නිරත වීමේ පාරම්පරික මෙන්ම ලියාපදිංචි අයිතිය ද ඇත.

මා රාජකාරි කළ අම්පාර දිස්ත්‍රික්කයේ අරුගම්බේ ප්‍රදේශයේ ඇති මාදැල් පාඩු තුනේ, දැල් දැමීමේ අයිතිය පිළිබඳව පසුගිය උතුරු - නැගෙනහිර යුධය පැවති සමයේ කිසියම් ආරවුලක් ඇතිවී තිබුණි. දකුණේ තංගල්ල ප්‍රදේශයේ පදිංචි සාම්ප්‍රදායික මාදැල් කරුවෙකුගේ, පාරම්පරික අයිතියේ මෙන්ම ලියාපදිංචි අයිතිය ද තිබුණු මේ මාදැල් පාඩු, ත්‍රස්තාවාදීන්ගේ බලය පැවති කාලයේ, ඔහුට පෞද්ගලිකව ක්‍රියාත්මක කිරීම කළ නොහැකි විය. ඒනිසා මාදැල පවත්වා ගෙනයාම නැගෙනහිර  පළාතේ  අයෙකුට නිල නොවන මට්ටමෙන්, බද්දකට ලබාදී තිබුණි. මාදැල බදුගත් අය වසර කීපයකට පසු ප්‍රදේශයේ නිලධාරින්ගේ ද සහයෙන්, මාදැල් පාඩුව ඔහුගේ අයිතියට පත්කර ගැනීමට උත්සාහ කළේ ය. පාරම්පරික හා ලියාපදිංචි අයිතිකරු ඊට එරෙහිව, අරුගම්බේ මාදැල් පාඩු තුනේ මාදැල් දැමීමේ තම අයිතියට, හබ කිරීමට එරෙහිව දිස්ත්‍රික් උසාවියේ නඩු පවරා, තම අයිතිය තහවුරු කර ගත්තේ ය. එයින් පැහැදිලි වන්නේ මාදැල් කර්මාන්තයේ කිසියම් මාදැල් පාඩුවක, දැල් දැමීමේ අයිතිය පාරම්පරිකව පවත්වාගෙන යා හැකි, සිවිල් අධිකරණය පිළිගන්නා  ශක්තිමත් අයිතිවාසිකමක් බවය.

මාදැල් ධීවර කර්මාන්තයේ යෙදෙන මාදැල් කරුවෙකු ලෙස ලියා පදිංචි වීමට, ශ්‍රී ලාංකීය පුරවැසියෙකු වීම අනිවාර්ය සුදුසු කමකි. ශ්‍රී ලාංකීකයෙකු වූ පමණින් මාදැල් කරුවකු විය නොහැක. ඒ සඳහා මාදැල් ධීවර කර්මාන්තයේ යොදා ගත යුතු ධීවර යාත්‍රා, ආම්පන්න අවම ප්‍රමාණය තීරණය කළ හැකිවන ලෙස, අවශ්‍ය මුදල් ද ශ්‍රමය ද සපයා ගත හැකි අයෙකු වීම ද අනිවාර්ය සුදුසු කමකි. එසේම මාදැල් පාඩුව අසල රජයේ ඉඩමේ පදිංචිවීමට, එනම් මාදැල් වාඩිය තැනීමට අවශ්‍ය බලපත්‍රය, ගත හැකි අයෙකුවීම ද අනිවාර්ය සුදුසු කමක් වෙයි. මෙයින් පෙනී යන්නේ සාම්ප්‍රදායිකව මාදැල් කර්මාන්තයේ යෙදුණු අයට, මාදැල් පාඩුවල ලියපදිංව්යට  වැඩි ඉඩක් ලැබුණු බවයි. ලියාපදිංචි මාදැල් කරුවෙකු මාදැල් කර්මාන්තයේ අදාළ මාදැල්පාඩුව තුළ ක්‍රියාත්මක කිරීමට වාර්ෂික අවසර පත්‍රයක් ද, දිස්ත්‍රික් ධීවර ව්‍යාප්ති නිලධාරියා වෙතින් ලබා ගතයුතු අතර, ඒ සඳහා ගාස්තු ගෙවීම ද අවශ්‍යවේ.
මෙසේ ලියාපදිංචි මාදැල් අයිති කරුවෙකුගේ අයිතිය අහිමිවීමට, බලපානා කරුණු කීපයක් ද මාදැල් නියෝගවල සඳහන්වේ. ඒවානම්

1) මාදැල් අයිතිකරුවෙකු සතු වියයුතු සුදුසුකම් නැතිවීම

2) පිටපිට වසර දෙකක් අවසර පත්‍ර නොගනීම

3) මාදැල් වාඩි අවසර පත්‍රය යම් හේතුවක් මත අහෝසි කිරීම.

4) තමා  වෙනුවෙන් ක්‍රියාකරන නාමිකයෙකු පත් නොකර (මාදැල් කරුවෙකුට අසනීප හෝ වෙනත් හේතුවක් මත තමා වෙනුවට ක්‍රියා කරන නාමිකයෙකු පත්කළ හැකිය) උරුමකරුවෙකු ද රහිතව මිය යාම 

5) මාදැල් පාඩුව කැමැත්තෙන්ම අත් හැරීම

6) මාදැල් හිමිකරු මියගොස් මාස හයක් යන තුරු උරුමකරුවන් අයිතිය ලියා පදිංචියට නොඉල්ලීම

යන කරුණු මත මාදැල් පාඩුව, පුරප්පාඩු වන බව මාදැල් නියෝගවල සඳහන්වේ. මේ කරුණු දෙස බැලීමේදී    මාදැල් පාඩුවක්, පුරප්පාඩු වීම යනු ඉතාමත් දුර්ලභව, සිදුවිය හැකි කරුණක් පමණක්  බව පැහැදිලි වනු ඇත.

දැනට වසර දහයකට පමණ ඉහත දී මාදැල් ධීවර කරුවන්ට තමන් කලක සිට  ක්‍රමයෙන් මුහුණ දෙමින් සිටි ගැටලුවක් උග්‍ර තත්වයට පත්විය. ඒ මාදැල් ඇදීම සඳහා අවශ්‍ය ශ්‍රමය හිඟතාවය යි. මාදැල් පාඩුවකට සාමාන්‍යයෙන් මිනිස් ශ්‍රමය සපයන මිනිසුන් පණහක් හැටක් අවශ්‍යවේ.

මාදැල් ධීවර නියෝග අනුව ද සෑම මාදැල් කරුවෙක් ම තමන්ගේ ශ්‍රමිකයින් පිළිබඳව නාම ලේඛනයක් පවත්වා ගෙන යායුතු ය. වෙරළබඩ ප්‍රදේශවල මාදැල් සඳහා සහය වන ශ්‍රමිකයින් හිඟවීම ඇරඹුණේ, ඊට වඩා පහසු ජීවන මාර්ග වලට, ශ්‍රමික පිරිස් ආකර්ෂණය වීම ය. ගැඹුරු මුහුදේ බහුදින යාත්‍රාවල මත්ස්‍ය කර්මාන්තය දියුණු වීමත් සමඟ වෙරළබඩ ශ්‍රමිකයින් ඒ කෙරෙහි වැඩි නැඹුරුවක් දැක් වීම, ත්‍රිරෝදරථ පැදවීම, සංචාරක කර්මාන්ත ශ්‍රමිකයින් ලෙස කටයුතු කිරීම, විදේශ රැකියා වලට ආකර්ෂණය වීම, සන්නද්ධ හමුදාවලට බැඳීම  වැනි,  විකල්ප බහුල වෙත්ම මාදැල සඳහාශ්‍රමිකයින් හිඟවිය.

වී ගොවිතැනට ද, වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය ද, යම් මට්ටමකට මේ ප්‍රශ්නයට මුහුණ දුන් අතර, එහිදී වී ගොවිතැන ඊට විසඳුම දුන්නේ බිම් සැකසීම හා  අස්වනු නෙලීම, යාන්ත්‍රීකරණයෙනි. මධ්‍යම ප්‍රමාණයේ වැවිලි බෝග වගාකරුවන්, අද ද කොපමණක් මේ ශ්‍රම හිඟයෙන් දැඩිසේ පීඩා විඳින්නේ ද. රබර් නිශ්පාදනය බොහෝ දුරට අත හර දැමූ තත්වයට පත් වීමට එක් ප්‍රධාන හේතුවක් ශ්‍රම හිඟය යි.

මෙසේ ශ්‍රම හිඟයට විකල්පය ලෙස මාදැල් ධීවර කර්මාන්තයට ට්‍රක්ටරයට සවිකළ  'වින්ච්' යොදා ගැනීම දේශීයව සොයා ගත් විසඳුමක් බව දැන ගන්නට ඇත. දැන ගන්නට ඇති පරිදි මීගමුව ප්‍රදේශයෙන් හඳුන්වා දුන් වින්ච් යන්ත්‍ර යොදා මාදැල් ඇදීම මාදැල්කරුවන් මුහුණ දුන් ශ්‍රම හිඟයට හොඳ විසඳුමක් විය. 2015 දී යුරෝපා මත්‍ස්‍ය අපනයන තහනම් වීමත් සමග දේශීය පාරිභෝගිකයින්ට මුහුණ දීමට සිදුවිය හැකි, මාළු හිඟයට විසඳුම ලෙස මාදැල් කරුවන්ගෙ ඉල්ලීම මත, වින්ච් යොදාගෙන දැල් ඇදීමට පර්යේෂණ මට්ටමෙන්, අවසරයක් ලබා දීමට ධීවර බලධාරින් කටයුතු කර තිබුණි. එදා සිට වර්තමාන ජාතික ජන බලවේග රජය වින්ච් යන්ත්‍ර යොදා මාදැල් ඇදීම තහනම් කරන තුරු ඒ සඳහා කිසි බාධාවක් නොවීය. මාදැල් කරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල සටන් බිමකට යොමුකරේ ඔන්න ඔය තහනම් නියෝගය යි.

මාදැල් කරුවන් සත්‍යග්‍රහයේ යෙදෙමින් ඉල්ලුවේ වින්ච්‍ යන්ත්‍රය තහනම් නොකරන ලෙසට ය. එසේ තහනම් කරන්නේ නම් සිය මාදැල් කර්මාන්තයට විකල්පයක් හඳුන්වා දෙන ලෙසටය.මීට පිලිතුරු දෙමින් ධීවර බලධාරින් ප්‍රකාශ කලේ වින්ච් යන්ත්‍රය යොදාගෙන දැල ඇදීමෙන්  බලවත් පරිසර හානියක් වන බවය. මිනිස් ශ්‍රමයෙන් දැල එලීමේදී එලන ප්‍රමාණය ඉක්මවමින් කිලෝමීටර් හතරක පමණ ඈතට දැල් දමා වින්ච් යන්ත්‍රයෙන් ඇදීම නිසා කොරල් පර කැඩී මත්ස්‍යයින් බෝවෙන ස්ථාන  විනාශ  වන බැවින් වින්ච් යොදා දැල් ඇදීමට ඉඩ දිය නොහැකි බව   ධීවර බලවතෙකු මාධ්‍යට කරනු මමද දුටුවෙමි. තවත් මුහුදු බලධාරියෙකු මේ සති අන්ත පුවත් පතකට ප්‍රකාශ කර තිබුනේ වෙරළේ වින්ච් සවිකල ට්‍රක්ටර් ගමන් කරවීම නිසා කැස්බෑවුන්ගේ බිත්තර විනාශ වී දැවැන්ත පරිසර හානියක් වන බවය.මේ තහනම සඳහා ධීවර ප්‍රජාවගේ යම් කොටසක  විරෝධයක් මේ වින්ච් යන්ත්‍රවලට ඇති බවද බලධාරින් පෙන්වාදෙති.

මේවා අසා සිටි  මට ධීවර කර්මාන්තය නියාමනය කරන බලධාරින්ගෙන් පැහැදිලි කර ගැනීමට කරුනු කීපයක්ම මතු කිරීමට සිතුනි.ඒමේවා ය.

1984 සිට මාදැල් ධීවර කර්මාන්තයට අදාලව ධීවර පණතයටතේ ඇමතිවරයා විසින් පනවා ඇති මාදැල් ධීවර නියෝග අංක 2 අනුව  මාදැල් ධීවර කර්මාන්තය ධීවර නියෝගවල සඳහන් මාදැල් ධීවර වරායක් තුළ පමණක් කළ යුතු කර්මාන්තයක් ලෙස ප්‍රකාශයට පත්කර එම වරාය සීමාවෙන් පිටත මාදැල් එළීම තහනම් කර තිබෙනවා නේද? ඒ අනුව වෙරළේ සිට නාවික සැතපුම් එක හමාරකින් (මීටර් 2785ක්) එපිට දැල් එළීම  නීතියෙන් තහනම්ව තිබියදී ඔබ මාධ්‍ය ඉදිරියේ ප්‍රකශ කළ මේ වින්ච් වලින් දැල් අදින මාදැල් කරුවන් කිලෝ මීටර් තුනක්, හතරක් ඈතට දැල් දමන බව ඇත්ත නම් මේ රටේ ධීවර පරීක්ෂකවරුන් ඒ පිළිබඳව රාජකාරි නොකිරීම ගැන ඔබලා ගත් පියවර කුමක් ද?

එසේම 1984 දී ධීවර ඇමතිවරයා විසින් නිතියට අනුව ප්‍රකාශයට පත් කළ මාදැල් වරායන් 899 ඇතුළත, මත්ස්‍යයින් බෝවෙන ස්ථාන කොරල් පර ආදිය තිබුණා නම් ඒ කාලයේ මිනිසුන්ගෙන් දැල් අදිනවිට ඒවා විනාශ නොවී තිබී දැන් වින්ච්‍ යොදා දැල්  අදින විට ඒවා විනාශ වන බවක් ඔබලා අදහස් කරන්නේ ද යන ප්‍රශ්නයත් ධීවර ලොක්කන්ගෙන් ඇසීමට ඇත.

ඊළඟට මාදැල් නියෝගවල කොතනකවත් මාදැල ඇදීම, සඳහා මිනිස් ශ්‍රමය පමණක් යොදාගත යුතු බවට නියෝගයක් නැති බවක් ඔබලා පිළිගන්නේ ද?

මාදැල් ධිවර, නියෝගවල මාදැල යන වචනයට  අර්ථ නිරූපණය ලෙස දැක්වෙන

"පැසි දැල හෙවත් බඩවත් එක් කෙලවරකින් අවුරන ලද්දා වූ ද ලොකු තටු දැල් දෙකකින් යුතු වූ ද අවසානයේ මසුන් අල්ලන මඩියක් පැසි දැලට අමුණන ලද්දා වූ ද වෙරළ දක්වා විහිදී යන පරිදි තටුදැල් දෙකේ අනික් කෙළවරට කොහු කඹ දෙකක් ගැටගසා ඇත්තාවූ ද එය මසුන් අර්ධ වශයෙන් වට කරමින් කායිකව පැදවෙන යත්‍රාවල ආධාරයෙන් වෙරළේ සිටින මිනිසුන් කණ්ඩායම් දෙකක් විසින් කායිකව ක්‍රමක්‍රමයෙන් වෙරළට අදිනු ලබන සාම්ප්‍රදායික දැල් වර්ගයක් අදහස්වේ."

යන්නෙහි පමණක් මාදැල මිනිසුන් විසින් අදින බව සඳහන්වන බවත් ඔබලා පිළිගන්නේද? යන ප්‍රශ්නයත් ධීවර ලොක්කන්ගෙන් ඇසිය යුතු ය.

 මාදැල් ධීවර කර්මාන්තයට වින්ච් යන්ත්‍ර හඳුන්වා දීම මගින් සිදුව ඇත්තේ මාදැල් ධීවර නියෝග උල්ලංඝණයක් නොව මාදැල යන්නෙහි අර්ථ නිරූපනයට අයත් නොවන දැලක් භාවිතයට ගැනීම  පමණක් බවත්, එයත් ධීවරයන් විසින් සිදු කර ඇත්තේ, ධීවර බලධාරීන්ගේ අනුමැතිය පරිදි  බවත්, මෙයින් පැහැදීලි වේ. දැන් සිදුව ඇත්තේ යම්කිසි පැහැදිලිව නොපෙනෙන හේතුවක් නිසා ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා මේ වින්ච් යන්ත්‍ර යොදා දැල් ඇදිම නතර කිරීමට තීරණය කිරීම බවත්, ධීවර අමාත්‍යංශයේත්, ධීවර දෙපාර්තමේන්තුවේත් ලොක්කන්ගේ, කොඳු නාරටි පමණක් නොව, අස්ථි පංජරයම  නියෝජ්‍ය ඇමතිවරයාගේ අවශ්‍යතාව සාධාරණීකරණය කිරීමට, උපරිම නම්‍යතාවයෙන් ක්‍රියාත්මක කිරීමත් බව පෙන්වා දිය හැකි ය. එසේම මාදැල් ඇදීමට වින්ච් සහිත ට්‍රක්ටර් යොදාගැනීමෙන්,  කැස්බෑවුන්ගේ බිත්තර වැනසෙන බවට, අපූරු සොයා ගැනීමක් කළ  සමුද්‍ර ලොක්කාට   රටේ කැස්බෑවුන් බිත්තර දාන්නේ, මාදැල්වාඩිය ඇති මිනිසුන් නිතර ගැවසෙන, මාදැල් වරායේ වෙරළේ නොව, මිනිසුන් ගැවසීම අඩු, පාළු වෙරළේ බව පෙන්වා දීමට ද කැමැත්තෙමි..

කෙලවල්ලන් අල්ලා යුරෝපයට පටවන, අපේ රටවැසියන්ට අන්තිමේ දී කෙලවල්ලන්‍ රටයවා, සාලයා, හාල්මැස්සා, කුම්බලාවා, හුරුල්ලා වැනි සාමාන්‍ය මිනිස්සුන් ගේ ප්‍රෝටින් අවශ්‍යතාව, සම්පූර්ණ කරන මාළු ඉන්දියාවෙන් ආනයනය කරන්නට, අවශ්‍ය වන තැනට මේ ධීවර ලොක්කන්, වැඩේ කිරීමට ඉඩ ඇති බවට අනතුරු ඇඟවීමට කැමැත්තෙමි.

- සුනිල් කන්නන්ගර -                                                                                                                කොළඹ, රත්නපුරය හා අම්පාර හිටපු මහ දිසාපති