ජගත් ගේ සතියේ සටහන - 114

මේ රටේ විපක්ෂ කාර්යභාරය වී ඇත්තේ, ආණ්ඩුව පැත්තෙන් සතිපතා ලැබෙන මාතෘකාවලට මාධ්‍ය සාකච්ඡා සහ මාධ්‍යවලට 'වොයිෂ් කට්'දීම බව මෑත ඉතිහාසයේ විපක්ෂයේ ක්‍රියාකාරකම් දෙස බලන විට පැහැදිලි වෙනවා.
බාල ගල් අඟුරු ගෙන්වීම, ඩීසල් බැරලයක් සඳහා ඇමරිකානු ඩොලර් 286 ක් වැනි විශාල විශාල මුදලක් ගෙවීම යන මතෘකා යටතේ ආණ්ඩුව පතුරු ගැසීම විපක්ෂය විසින් සාර්ථකව සිදු කළා.
පසුගිය සතියේ සිට විපක්ෂයට ලැබී ඇත්තේ මහා භාණ්ඩාගාරය විසින් ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය ආයතනයකට ගෙවිය යුතු ණය වාරිකයක් වන ඇමරිකානු ඩොලර් මිලියන 2. 5 ක මුදලක් ඔන්ලයින් (Online) ක්‍රමයට යැවීමේ දී එම මුදල අදාළ ආයතනයට නොව පිටස්තර 'හැකරුන්' අතට පත් වීම යන මාතෘකාවයි.
'නිදහසේ නීතිඥවරු (Free Lawyers) සංවිධානයේ කැඳවුම්කරු වන ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මෙම සිද්ධිය මුලින් ම අනාවරණය කොට තිබුණා.
ඉන්පසු සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්වජන බලය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ හා මහජන සංවිධාන මේ පිළිබඳව ආණ්ඩුවට චෝදනා කරමින් ආණ්ඩුවට විරුද්ධව පුළුල් ව්‍යාපාරයක් අරඹා තිබෙනවා.
මේ ගැන ආණ්ඩුව පිළිතුරු දීමට පටන් ගත්තේ ඉන් පසුව යි. භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක ගිණුම් පසුගිය දෙසැම්බරයේ සිට 'හැකරුන්' ගේ ග්‍රහණයට හසුවී තිබූ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසා තිබුණා.
ඔහු ප්‍රකාශ කොට තිබු අන්දමට ණය වාරිකය ගෙවීම ගැන විමසා ඕස්ට්‍රේලියානු ආයතනයෙන් ඊමේල් පණිවිඩයක් ලැබී තිබෙනවා. එම ණය ගෙවිමට බැංකු ගිණුම් අංකයක් ද, එහි සඳහන් වී තිබී ඇති අතර භාණ්ඩාගාරයේ නිලධාරීන්, එම දුරකතන අංකයට කතා කොට ගිණුම් අංකය තහවුරු කර ගැනිමෙන් පසු ඇමරිකානු ඩොලර් මිලියන 2. 5 ක මුදල එම ගිණුමට බැරකොට තිබෙනවා.
එහෙත් පසුව කළ සොයා බැලීමේ දී මෙම මුදල අදාළ ආයතනයට යවා ඇත්තේ ඉකුත් පෙරවාරි මාසයේ දී ය. නමුත් ඒ මුදල අදාළ ආයතනයට ලැබී නොමැති බව ද අනාවරණය වුණා. එසේ වුවද මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය හෝ භාණ්ඩාගාරය මේ සිද්ධිය පිටතට හෙළි කොට තිබුණේ නෑ.
දැන් මේ ඇමරිකානු ඩොලර් මිලියන 2. 5 අස්ථානගත වීම මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් වී
තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන්, සුජීව සේනසිංහ, හර්ෂණ රාජකරුණා ආදී මන්ත්‍රීවරුන් ද, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ශිරාල් ලක්තිලක, රංජිත් කීර්ති තෙන්නකෝන් ආදීන් ද මෙම මුදල් අස්ථානගත වීම ගැන විවිධ හේතු ඉදිරිපත් කරනවා.

සමගි ජන බලවේගය පවසන්නේ මේ මුදල 'හැකරුන්' අතට නොව ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ගිණුමට බැර කරන්නට ඇති බව ය.
මෙම මුදල් වාරික ගෙවීමේ දී එය භාණ්ඩාගාරයේ, මුදල් අමාත්‍යාංශයේ හා මහ බැංකුවේ ඉහළ නිලධාරීන්ගේ අනුමැතියෙන් සිදුකළ යුතුව ඇති නමුත් මෙහිදී සිදුවී තිබෙන්නේ භාණ්ඩාගාරයේ විද්ශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සොයා නොබලා කටයුතු කිරීම බව බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පෙන්වා දෙනවා.
හර්ෂණ සූරියප්පෙරුම වහාම ඉවත් කරනු
මෙම ඩොලර් මිලියන 2. 5 හැකරුන් අතට පත්වී ඇතැ යි කියන සිද්ධිය ගැන පාර්ලිමේන්තුව මඟින් විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. එම තේරීම් කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂයට ලබාදිය අතර කාරක සභාවේ බහුතර සාමාජිකයින් ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් පත් කරන ලෙස ඔහු ආණ්ඩුවෙන් ඉල්ලනවා.
ආණ්ඩුව පවසන්නේ මෙම සිද්ධිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පරිගණක අපාරාධ විමර්ශන අංශය හා ඕස්ට්‍රේලියානු ආණ්ඩුව විසින් ද මේ ගැන පරීක්ෂණ සිදුකර ගෙන යන බව යි.
මීට පෙර විදේශ ණය වාරික ගෙවීමේ කාර්යය සිදු කළ විදේශ ණය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පැවති නමුත් දැනට මාස කිහිපයකට පෙර එය මහ බැංකුවෙන් ඉවත් කර භාණ්ඩාගාරය යටතට පත් කළ බවත් දැනගන්නට තිබෙනවා.
එසේම කලින් ඇමතිවරයකුව සිටි හර්ෂණ සූරියප්පෙරුම මහතා භාණ්ඩාගාරයේ ලේකම් හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කිරීම ද විපක්ෂයේ දැඩි විවේචනයට හේතු වී ඇති අතර විපක්ෂය දැන් ඉල්ලන්නේ හර්ෂණ සූරියප්පෙරුම මහතා එම තනතුරෙන් ඉවත් කරන ලෙස යි.
තවත් මාතෘකාවක් ලැබෙන තුරු විපක්ෂයටත් මාධ්‍යයටත් ඩොලර් මිලියන 2 . 5 රස කර කර කන්නට ඉඩ
තවත් සමහරුන් පවසන්නේ භාණ්ඩාගාරයේ විදේශ ණය අංශයේ සිටි දක්ෂ නිලධාරීන් මාරු කර යැවීමත්, පළපුරුදු දක්ෂ නිලධාරීන් එයට බඳවා නොගැනීමත්, මෙම විචාවලට ප්‍රධාන හේතුව බව යි.
කෙසේ වුව ද මෙම ඩොලර් මිලියන 2. 5 සිද්ධිය තවත් එවැනි ම මාතෘකාවක් එන තුරු විපක්ෂයට හා මාධ්‍යවලට හොඳ කෑමක් වනු ඇතැ යි දේශපාලන විචාරකයින් පවසනවා.
එකම මැයි පෙළපාලිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් පමණ යි.
පසළොස්වක පෝය මුවාවෙන් බොහෝ පක්ෂ මැයි පෙළපාලි අත්හැරලා?
මැයි 1 වනදාට යෙදී ඇති ලෝක කම්කරු දිනය හෙවත් මැයි දිනය දශක ගණනාවක සිට ශ්‍රී ලංකාවේ දී විවිධ දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති විසින් මහත් ඉහළින් සමරනු ලැබුවා.
1956 බණ්ඩාරනායක රජය යටතේ එවකට කම්කරු ඇමතිව සිටි ටී. බී. ඉලංගරත්න මහතා විසින් මැයි දිනය රජයේ නිවාඩු දිනයක් කළා. මෙතෙක් වෘත්තීය සමිති මට්ටමෙන් පැවැත්වූ මැයි පෙළපාලි හා රැලි දේශපාලන පක්ෂ විසින් පවත්වන්නට පටන් ගත්තේ ඉන්පසුව යි.
මහජන එක්සත් පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය ඇතුළු ප්‍රධාන පක්ෂ තම ශක්තිය පෙන්වීම සඳහා මැයි පෙළපාලි හා රැලි පැවැත්වූවා.
ධනපති පක්ෂයක් ලෙස නම් දරා සිටි එක්සත් ජාතික පක්ෂය 1964 දී වෘත්තීය සමිති පිහිටුවා මැයි රැලි හා පෙළපාලි පැවැත්වීම ආරම්භ කළා.
අසූව හා අනූව දශකවල මෙරටේ මැයි දිනය සංවිධානාත්මකව හා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමේ ගෞරවය හිමිවන්නේ ජනතා විමුක්ති පෙරමුණට යි. එම පක්ෂය ආචාර භට පෙළපාලි, සංදර්ශනයමේ ආදිය සමඟ දැවැන්ත ම මැයි පෙළපාලි පැවැත්වූයේ අන් කිසිදු පක්ෂයකට වඩා ඉහළින්.
එහෙත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබා ගැනීමත් සමඟ එම පක්ෂයේ මැයි දින පෙළපාලි නතරවී තිබෙනවා. මෙවර ද ජාතික ජන බලවේගය මැයි පෙළපාලි නොමැතිව දිවයිනේ ප්‍රදේශ 21 ක මැයි රැලි පමණක් පැවැත්වීමට යන බව වාර්තා වෙනවා.
රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙවර මැයි රැලි පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් දිවයිනේ ස්ථාන 21 ක දී පැවැත්වෙනවා. ඒ අතරින් බදුල්ල, නුවරඑළිය සහ මහරගම පැවැත්වෙන රැලි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ද, රත්නපුර රැලිය අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් ද පැවැත්වෙනු ඇති.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර, තංගල්ල රැගි පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ගම්පහ රැලිය ඇමති විජිත හේරත් මහතා ගේ ප්‍රධානත්වයෙන් ද යාපනයේ රැලිය බිමල් රත්නායක ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් ද පැවැත්වෙන බව වාර්තා වෙනවා.
මහනුවර, කෑගල්ල, කුරුණෑගල රැලි පැවැත්වෙන්නේ ඇමති ලාල් කාන්ත මහතා ගේ පුධානත්වයෙන්.
කළුතර දිස්ත්‍රික්කයේ මැයි රැලිය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව එම පක්ෂය නිවේදනය කොට තිබුණා.
මැයි 1 වනදාට පසළොස්වක පොහොය යෙදී තිබීඹ නිසා මැයි රැලි නොපැවැත්වීමට පොදුජන පෙරමුණ තීරණය කොට ඇති අතර ඒ වෙනුවට එදින රටපුරා බෝධිපූජා පැවැත්වෙන බව යි නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ.
සමගි ජන බලවේගය මාළිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේ දී එම පක්ෂයේ මැයි රැලිය පවත්වන අතර එයට විවිධ ප්‍රදේශවලින් විශාල සෙනඟක් ගෙන්වා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරගෙන යන බව දැනගන්නට තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැයි රැලිය කොළඹ බොරැල්ල කැම්බල්පිටියේ දී ද, කොමියුනිස්ට්, සමසමාජ හා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පිහිටුවා ගෙන තිබෙන සමාජවාදී එක්සත් පෙරමුණේ මැයි පෙළපාලිය රාජගිරියේ ආයුර්වේද රෝහල ඉදිරිපිට පිහිටි ඇන්. ඇම්. පෙරේරා මහතාගේ ප්‍රතිමාව අබියසින් ආරම්භ වී බොරැල්ල ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මූලස්ථානය වෙත පැමිණීමෙන් පසු එහිදී මැයි රැලිය පැවැත්වෙන බව කොමියුනිස්ට් පක්ෂයේ සංවිධායක ලේකම් ආර්. එල්. ස්ටීවන් මහතා ප්‍රකාශ කළා.
එක්සත් ජාතික පක්ෂය මැයි රැලියක් නොපවත්වන අතර එදින පක්ෂයේ ක්‍රියාකාරී වෘත්තීය සමිති නායකයින්ට උඵහාර දැක්වීමේ උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය පමණක් සුපුරුදු පරිදි සටන්පාඨ හඩ නඟමින් මැයි පෙළපාලියක් හා රැලියක් නුගේගොඩ දී පැවැත්වීම කටයුතු යොදා ඇති බව ද වාර්තා වෙනවා.
මෙවර මැයි දිනය පසළොස්වක පොහොය දිනයට යෙදී තිබීම නිසා ඒ පිට බොහෝ පක්ෂ මැයි පෙළපාලිවලින් කර හැර ඇතැ යි දේශපාලන නිරීක්ෂකයින් පවසනවා.
