උණුසුම් පුවත්කාලීනදේශපාලන

අධිකරණය පිළිබඳ විවාදයට රජයෙන් බාධා.

විපක්ෂයේ පක්ෂ නායකවරු හා මන්ත්‍රීවරු හදීසියේම රැස්වෙයි.

පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ ප්‍රධාන කුළුණු තුන (Tripartite System of Government) හා බලය බෙදාහැරීම (Separation of Powers) සහ සංවරණ හා තුලනය (Checks and Balances) යන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පදනම් කර ගනිමින් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට විපක්ෂය කළ ඉල්ලීමට රජයේ පාර්ශ්වය එකඟතාව පළ නොකර තිබේ.

ඒ අනුව, අධිකරණයට අදාළ කරුණු පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගැනීමට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් හදීසි රැස්වීමක් පැවැත්විණි.

මෙහිදී, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලන ක්‍රමයේ මූලික පදනම වන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර බලය බෙදාහැරීම සහ එකිනෙකා සංවරණය හා තුලනය කිරීමේ (Checks and Balances) වැදගත්කම අවධාරණය කරමින් අධිකරණයේ ස්වාධිනත්වයට බලපාන කරුණු විවෘත ව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට අවස්ථාව හිමි විය යුතු බවට මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු වී තිබේ.

අධිකරණයට අදාළ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට අවස්ථාව නොදීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන මූලධර්මයන්ට බලපාන කරුණක් බව මෙහි දී පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු පාර්ලිමේන්තු හා දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී.

මේ අවස්ථාව වෙනුවෙන් රෝහිනී විජේරත්න, චිත්‍රාල් ප්‍රනාන්දු, වී. රාධාක්‍රිෂ්ණන්, චමින්ද විජේසිරි, ගයන්ත කරුණාතිලක, ජේ. සී. අලවතුවල, සුජිත් සංජය පෙරේරා, කාවින්ද ජයවර්ධන, චතුර ගලප්පත්ති, කබීර් හෂීම්, රවී කරුණානායක, එම්. එස්. ඒ. වෂීඩ්, රෝහණ බණ්ඩාර, ඩබ්. එච්. එම්. ධර්මසේන, බී. ආරියවංශ, දයාසිරි ජයසේකර, අනුරාධ ජයරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, රාමනාතන් අර්චුනා, නිසාම් කාරියප්පර්, එම්. එස්. උතුමාලෙබ්බේ, චානක මාදුගොඩ, සුරංග රත්නායක, අදික්කලනාදන් යන මන්ත්‍රීවරුන් එක්විය.