ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා 10 ක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් ලක්ෂ 20 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධියක සැකකරුවන් හා සාක්ෂි කරුවන් සොයා අල්ලස් කොමිසමේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ජූලි 20 වැනිදා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇත.
මෙම අල්ලස් මුදල ප්‍රේෂණය වූ බව කියන බැංකු ගිණුමේ හිමිකරු නිමල් පෙරේරා නමැත්තා ඕස්ට්‍රේලියාවේ පදිංච්ව සිටින බව කොමිසම අනාවරණය කරගැනීමෙන් පසු මෙසේ නිලධාරීන් පිරිසක් යවන ලද බව ආරංචි මාර්ග කියයි.
මෙම අල්ලස් සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ පසුගියදා ජීවිතක්ෂයට පත්වුණු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ගේ බිරිඳ වන ප්‍රියංකාන සෝමාල් විජේනායක ද රැඳී සිටින්නේ ඕස්ට්‍රේලියාවේ ය. ඇගේ හා නිමල් පෙරේරා ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට නියෝග ලබාගෙන ඇතැයි එම ආරංචි මාර්ග තව දුරටත් සඳහන් කළේ ය.
හිටපු ඇමතිවරයකු වන චමල් රාජපක්ෂ මහතා ගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ ද මෙහි තවත් සැකකරුවකු වන්නේ ය. ඔහු ද විදේශ ගතව සිටින්නේ ය. කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කොට තිබේ.
මෙම අල්ලස් සිද්ධිය ගැන අල්ලස් කොමිසම ෙකාළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පසුගියදා නඩු පවරා ඇත.

