උණුසුම් පුවත්

අනවසරයෙන් අපේ මූදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය යාත්‍රා 5 ක් නාවික හමුාවෙන් අල්ලා ගනී

ඩෙල්ෆ් දූපතට ඔබ්බේ දී ඉන්දීය ධිවරයින් 32 ක් බෝට්ටු 5 ක් එක්ක යි අතුඅඩංගුවට ගෙන ඇත්තේ

 ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 මාර්තු මස 20 වන දින රාත්‍රී කාලයේ තලෛයිමන්නාරමට හා ඩෙල්‍ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයන්හී සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය යාත්‍රා පහක් (05) සමඟ ඉන්දීය ධීවරයින් තිස් දෙදෙනෙකු (32) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

 

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, 2024 මාර්තු මස 20 වන දින රාත්‍රී කාලයේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු සහ උතුරු මැද නාවික විධාන මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුම්, එම විධානයන්ට අයත් වෙරළබඩ මුර යාත්‍රා සහ වේග ප්‍රහාරක යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදී, තලෛයිමන්නාරමට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු (07) සහ ඩෙල්‍ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා තුනක් (03) සමඟ ඉන්දීය ධීවරයින් විසිපස් දෙනෙකු (25) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුමේදී උතුරු මැද නාවික විධානය මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා  දෙක (02) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් හත් දෙනා (07) තලෛයිමන්නාරම ජැටිය වෙත සහ උතුරු නාවික විධානය මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා තුන (03) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් විසිපස් දෙනා (25) කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත සහ මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.

තවද, මෙම මෙහෙයුමත් සමඟ 2024 වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා විසි තුනක් (23) සහ ඉන්දීය ධීවරයින් එකසිය හැත්තෑ අට දෙනෙකු (178) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත.