උණුසුම් පුවත්සෞඛ්‍යය

අවිස්සාවේල්ල ඉස්පිරිතාලෙට නව ශල්‍ය වාට්ටු සංකීර්ණයක්

ශ්රී ලංකාවට ඉදිරි මූල්ය සහයෝගය ලබාදීමට ජාත්යන්තර මූල්ය අරමුදලේ එකඟතාව ගැන අගමැති කියයි

 

• ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි පියවරට සුදුසුකම් ලැබීම ජයග්‍රහණයක්...-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාපාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතාගේ යෝජනාවක් අනුව ඉදි කෙරෙන අවිස්සාවේල්ල මූලික රෝහලේ නව ශල්‍ය වාට්ටු සංකීර්ණය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට අද (2024.03.22) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඉදිකිරීම් අවසන් වන විට මෙම සය මහල් නව ශල්‍ය වාට්ටු සංකීර්ණය ඇඳන් 600 කින් සමන්විත වන අතර නවීන ශල්‍යාගාර 8 කින් සමන්විත වෙයි. කොළඹ, රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්ක වලට සෘජුව සෞඛ්‍ය සේවා සපයන අවිස්සාවේල්ල රෝහල ගඟෙන් එගොඩ සහ මෙගොඩ ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කළුතර දිස්ත්‍රීක්ක වල ජනතාවටත් උසස් සෞඛ්‍යය සේවයක් සපයනු ලබයි.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -
රෝග වැළැක්වීම හා නිවාරණයට සහ මුළු මහත් සමාජයට දායාද කරන ගමනකට මහා ජයග්‍රාහී පියවරක් ලෙස මෙම නව රෝහල් සංකීර්ණය ඉදිකිරීමෙන් සිදුවෙනවා.
පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ නියෝජිතයින් හමුවුණා. ශ්‍රී ලංකාව දැන් දියුණුවට ගමන් කිරීමේ යම් ස්ථාවර මාර්ගයකට පැමිණ තිබෙන බැවින් ඔවුන් සතුට ප්‍රකාශ කළා. ඒ අනුව ඉදිරි මූල්‍ය සහයෝගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නිකුත් කරන්න එකඟයි කියලා ඔවුන් කිව්වා. ඉදිරි විධායක සභාවෙදී අපි හොඳින් හැසිරී තිබෙන බව ප්‍රකාශ කරයි. අමාරුකම තියෙන්නේ අපිටයි. ඒ අමාරුකම නිසාම අපි හොඳින් හැසිරුණු රටක්. බොහොම ගැඹුරින් අපේ කටයුතු කළමනාකරණය කළා. ඒ නිසා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබනවා ඒ ඉදිරි පියවරට යන්නට. එය මුළු මහත් රටටම ජයග්‍රහණයක්. අප විවෘත කරන ගනුදෙනු පත්‍ර වලංගු නැහැ කියලා ප්‍රකාශ කළා. බොහොම අමාරුම තත්ත්වයක්. පළමුව අපි එයින් ගොඩ එමට හැකි විශ්වාසය ඇති කළා. එයින් පසු අද වනවිට ක්‍රමානුකූල ප්‍රගතියකට පත්වෙලා තිබෙනවා.
මේ අවුරුදු දෙක තුළ මූල්‍ය අර්බුදයකට ලක්වූ රට යළි යථා තත්ත්වයට ගෙන ඒමට රජයට හැකි වුණා. ප්‍රගතියේ බලාපොරොත්තු සෑම සමාජයක් තුළම තිබෙනවා. කිසිම සමාජයක් කවදාවත් සතුටු වෙන්නෙ නැහැ. සතුට අනාගතයයි. ඒ සඳහා අප වැඩ කරන්න ඕනේ. එය ලෝකයේ සෑම රටකම තිබෙන බලාපොරොත්තුවක්. අපේ රට මේ අමාරු තත්ත්වයෙන් ගොඩගෙන අද ආර්ථික වර්ධන වේගයකට ගෙනවිත් තිබෙනවා. ඒ නිසා ඉදිකිරිම් පටන්ගත් රෝහල් ගොඩනැගිලි නිම කිරීමේ අවස්ථාවට දැන් පැමිණ තිබෙනවා. විවිධ සේවාවන් සඳහා පැවැති අඩුපාඩුකම් සඳහා අයවැය ලේඛනයේ මූල්‍ය ප්‍රතිපාදන වැඩිකර තිබෙනවා. ඒ අතර අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය අති සුවිශේෂයි. අවිස්සාවේල්ල රෝහල අනිවාර්යයෙන් දියුණු විය යුතු රෝහලක් හැටියට ලකුණු කරලා අවුරුදු ගණනාවක් ගත වෙනවා.
මගේ ආදරණීය මව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් හැටියට නමසිය පනස් දෙකේ මේ රෝහල ලබා ගැනීමේ ආරම්භක පියවරට හවුල් වුණ බව සිහිපත් කරනවා.මගේ ආදරණීය පියා කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් මෙම රෝහල සංකීර්ණය නිම කිරීමට එදා සෞඛ්‍ය ඇමතිතුමා සමග එක්ව කටයුතු ආරම්භ කළ හැටි මෙතන ඉන්න සියලු දෙනා දන්නවා.
දැනුත් මේ රෝහලේ විශාල තදබදයක් තිබෙනවා. ඒ වගේම අඩුපාඩුකම් තිබෙනවා. ඒවා සම්පූර්ණ කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සමග කළ විශේෂ සාකච්ඡාවේදී එකඟතාවය පළ කළා. මම සහ යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීතුමා අපේ විමධ්‍යගත අරමුදලින් රෝහලේ තවත් නවීන ප්‍රතිකාර යන්ත්‍රයක් ලබාදීමට නිර්දේශ කර තිබෙනවා. ඉදිරි මාසය හෝ දෙක ඇතුළත එය ලබා දෙන්න පුළුවන්. අනෙකුත් ප්‍රදේශවල පවතින කුඩා රෝහල්වලටත් උපරිම ප්‍රයෝජනය ගත හැකි පරිදි අවිස්සාවේල්ල රෝහල දියුණු කිරීමට අපි සියලු දෙනා එකතු වී වැඩ කළ යුතුයි. රෝහල අයිති සෞඛ්‍ය අමාත්‍යාංශයට කියලා අහක බලා ගන්නේ නැතුව නගර සභාව රෝහල ආවට සම්පූර්ණ පවිත්‍රතාවය වෙනුවෙන් සහයෝගය ලබාදෙන්න.
සීතාවක නගර මධ්‍යය දියුණු තත්ත්වයකට පත් කරන්න ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළා. එහි වැඩ කටයුතු ඉතාම ඉක්මනින් ආරම්භ කරනවා. සීතාවක නගරය අපේ රටේ තවත් කේන්ද්‍ර නගරයක් ලෙස දියුණු කිරීමේ සඳහා වූ ගමනට ඒ ශක්තිය එකතු වෙනවා ඇති. රජයේ දෙපාර්තමේන්තු පමණක් නොව සීතාවක පුරවැසි පුද්ගලික අංශයටත් ඒ අවස්ථාවන්ට සහභාගී වන්නට පුළුවන්.
අද වෙනදට වඩා තොරතුරු තාක්ෂණය දියුණුයි. තොරතුරු තාක්ෂණය සම්පූර්ණයෙන් භාවිතා කරමින් ලෝකයේ අනිත් රටවල සෑම ක්ෂේත්‍රයක්ම දියුණු කරමින් තිබෙනවා. වෛද්‍ය හා ශල්‍ය ක්ෂේත්‍රය තොරතුරු තාක්ෂණයත් සමඟ ඒකාබද්ධ වී විශාල දියුණුවක් ලබා තිබෙනවා.
අදියරෙන් අදියර නිමවෙන අවිස්සාවේල්ල රෝහල අපේ පළාතට, අපේ දිස්ත්‍රික්කයට, රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්ක වලට සහ ගඟෙන් එගොඩ සිට සමහර අවස්ථා වලට පැමිණෙන ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවටත් උසස් සෞඛ්‍යය සේවයක් ලබා ගැනීම සඳහා තවත් ජයග්‍රහණයක් බවට පත්වෙනවා.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජී. විජේසිරි, අවිස්සාවේල්ල දිස්ත්‍රීක් රොහල් අධ්‍යක්ෂ ඔසඳ වෙල්ලාල ඇතුළු රෝහල් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ මහජනතාව මෙම අවස්ථාවට සහභාගී වූහ.