පොත්පත් සහ අභ්‍යාස පොත් වැට් (VAT) බද්දෙන් සම්පූර්ණයෙන්ම නිදහස්
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජාතික ජන බලවෙිග ආණ්ඩුවේ තෙවන අයවැය ලේඛනයෙන් රටට, ජනතාවට සහන රැසක් ලැබෙන බව සඳහන් කෙරුණි.
ආර්ථික ස්ථායීකරණ අදියරේ සිට පරිවර්තනීය ආර්ථික වර්ධන යුගයක් කරා රට මෙහෙයවීම මූලික අරමුණ කර ගනිමින් ඉදිරිපත් කරන ලද 2027 අයවැය මඟින් රාජ්‍ය සේවක දීමනා ඉහළ නැංවීමත්, බදු ලිහිල් කිරීම්ත් හා සංවර්ධන ක්ෂේත්‍ර රැසක් උදෙසා ප්‍රතිපාදන වෙන් කර ඇත.
ප්‍රධාන බදු සංශෝධන
උපයන විට බදු නිදහස් සීමාව ඉහළට: මෙතෙක් පැවති මසකට රුපියල් 150,000 ක බදු නිදහස් සීමාව රුපියල් 162,500 දක්වා ඉහළ නංවා ඇත. ඒ අනුව මසකට රුපියල් 162,500 ක් දක්වා වැටුප් හා දීමනා ලබන්නන් ආදායම් බද්දෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කෙරෙමින්. උපරිම බදු අනුපාතය අදාළ වන සීමාව රු. 358,000 සිට රු. 433,000 දක්වා පුළුල් කර .තිබේ.
පොත්පත් සහ අභ්‍යාස පොත් වැට් (VAT) බද්දෙන් නිදහස් කොට අධ්‍යාපන ක්ෂේත්රය දිරිගන්වමින් පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමා චිත්‍ර කථා සහ අභ්‍යාස පොත් මත පනවා තිබූ එකතු කළ අගය මත බද්ද (VAT) සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබේ.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු පහළට: පාරිභෝගික ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරමින් ආනයනික හාල්මැස්සන් (කිලෝවකට රු. 10 කින්), උම්බලකඩ (කිලෝවකට රු. 10 කින) සහ වියළි මිරිස් (කිලෝවකට රු. 50 කින්) මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද (SCL) පහත හෙළා ඇත. දේශීය කර්මාන්තය සුරැකීමට ආනයනික සීනි මත පනවන ලද බද්ද කිලෝවකට රු. 10 කින් ඉහළ දමා තිබේ. මෙම බදු සංශෝධන 2026 නොවැම්බර් මස 13 වැනි දින (හෙට) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද හවස පාර්ලිමේන්තුව හමුවෙ ඉදිරිපත් කරන ලද සිය තෙවන අයවැය වාර්තාව සම්පූර්ණයෙන් පහත පළවේ.
81 වන අයවැය කථාව
2027
1. පූර්විකාව
ගරු කථානායකතුමනි,
පරම්පරා ගණනාවක් පුරා අත්විඳි දිදුලන රටක් බිහි කිරීමේ කතාව යථාර්ථයක් බවට පත් කර ගැනීමේ අවංක සහ නිර්ව්‍යාජ අධිෂ්ඨානය ඇතිව අපේ රජය තුන්වන අයවැය ඉදිරිපත් කරනවා. අප ඉදිරිපත් කරන ලද සෑම අයවැයක් තුළින්ම අපගේ සාමූහික ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ සාක්ෂිය හඬගා කියාපාන අතර, රටක් ලෙස අපි දරුණුතම අවපාතයෙන් ගොඩ එමින් සිටින බවටත්, නිවැරදි සහ සැලසුම් සහගත ගමනක යෙදෙන බවටත් ස්ථීර විශ්වාසයක් තහවුරු කොට තිබෙනවා.
අපගේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ හදවත් තුළ බලාපොරොත්තුවේ නොනිමෙන අරුණාලෝකය දල්වන්නට අප සමත් වුණා. මීට දෙවසරකට පෙර මේ රටේ සමස්ත ජනතාව අප වෙත තැබූ උදාර විශ්වාසයේ අපේක්ෂාවන් කොන්දේසි විරහිතව අප සඵල කරමින් සිටින බව සිහිපත් කරනවා.
දුප්පත්කම තුරන් කිරීම, සාධාරණ සමාජයක් ගොඩනැඟීම, අල්ලස හා දූෂණය මුලිනුපුටා දැමීම, ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම, ජනතාවගේ විශ්වාසය යළි තහවුරු කිරීම සහ සෑම පුරවැසියෙකුටම යහපත් ජීවිතයක් ගොඩනඟා ගැනීමට අවස්ථාව සැලසීම අපගේ මූලික අරමුණු අතර වෙනවා. එහෙත් ඒ සියල්ලටම පදනම විය යුත්තේ අධ්‍යාපනය තුළින් දැනුමෙන් සන්නද්ධ වූ, ගුණධර්මවලින් පිරිපුන්, විචාරශීලීව සිතන, නිර්මාණශීලීව කටයුතු කරන පුරවැසියන් සහ දූරදර්ශී නායකයන් බිහිකිරීමයි. අපට අවශ්‍ය වන්නේ දැනුමෙන් සහ බුද්ධියෙන් පොහොසත් වූ, නව අදහස් සහ නව නිර්මාණ තුළින් ලෝකයට දායක වන, ජාත්‍යන්තර තලයේ ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි ප්රබුද්ධ ශ්‍රී ලාංකික පරම්පරාවක් ගොඩනැඟීමයි. ලෝකයේ කොතැනකදී හෝ ශ්‍රී ලාංකිකයෙකු හඳුනාගන්නා විට, ඔහු හෝ ඇය දැනුමෙන්, බුද්ධියෙන්, නිර්මාණශීලීත්වයෙන් සහ යහපත් ගුණධර්මවලින් හෙබි පුද්ගලයෙකු ලෙස පිළිගැනෙන තත්ත්වයක් නිර්මාණය කිරීමයි.
ශ්‍රී ලාංකික අනන්‍යතාව යනු බුද්ධිමත්භාවයේත්, ගුණවත්භාවයේත්, විශිෂ්ටත්වයේත් සංකේතයක් බවට පත් කිරීමයි. ඒ සියල්ල තුළින් සැබෑ පුනරුදයක් නිර්මාණය කිරීම අපගේ අයවැයේ මූලික අරමුණයි. මන්ද, පුනරුද යුගයක් ඇති කිරීම යනු හුදු ආර්ථික දර්ශකවල හෝ සංඛ්‍යාලේඛනවල වෙනසක් පමණක් නොවෙයි. එය මිනිසාගේ චින්තනයේ, දැනුමේ, ආකල්පවල සහ හැසිරීමේ වෙනසක් ඇති කරන, රටේ සංස්කෘතික, බුද්ධිමය සහ කලාත්මක ජීවිතයට නව පණක් ලබාදෙන පුළුල් සමාජ පරිවර්තනයක්.
21 වන සියවසේ ශ්‍රී ලංකාව ලෙස අප අත්පත් කරගත යුතුව තිබූ සංවර්ධනය කරා, අප සැම එකතු වී සාමූහික ජනතා මැදිහත්වීමකින් මේ රට ඉදිරියට රැගෙන යා යුතුව තිබෙනවා.
මෙම ගමනේ දී අපට පළමුවෙන්ම කරන්නට සිදු වූයේ දේශපාලන සංස්කෘතියේ මූලික පරිවර්තනයක් ඇති කිරීමයි. නිදහසින් පසු ඉතිහාසයේ පළමු වතාවට, දූෂිත ප්‍රභූ පවුල් කීපයක් අත තිබූ රාජ්‍ය පාලනය වෙනුවට සැබෑ ජනතා පාලනයක් බිහි කිරීමට මෙරට ජනතාව අපට බලය ලබා දුන්නා.
අපට අවශ්‍ය වන්නේ හුදෙක් ආදායම් රැස්කරන රාජ්‍යයක්ම නොවෙයි. එකතු කරන සෑම බදු රුපියලකටම ජනතාවට වටිනාකමක් ලබාදෙන රාජ්‍යයක්. අපට අවශ්‍ය වන්නේ විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් නොවෙයි; කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත්, ජනතාවට වගකියන රාජ්‍ය යාන්ත්‍රණයක්.
ජනතාවගේ මුදල්වල සැබෑ අයිතිකරුවන් මේ රටේ පුරවැසියන් බව රාජ්‍ය පාලනයේ සෑම මට්ටමකදීම පිළිගැනීම අපේ ප්රතිපත්තියයි.
ගරු කථානායකතුමනි,
අපේ රටේ ආර්ථිකය පරිවර්තනීය යුගයකට ගෙන යාමට අවශ්‍ය විශ්වාසය, අත්දැකීම්, ආර්ථික පදනම සහ ස්ථාවරත්වය අද අපට තිබෙනවා. 2027 වර්ෂය සඳහා අප ඉදිරිපත් කරන අයවැය එම පදනම් මත ගොඩනැඟෙන ඉදිරි පියවරයි. ඒ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කරන, ආයෝජන සඳහා ඉඩ සලසන, ඩිජිටල් ආර්ථික කටයුතු මඟින් දැනුම හා තාක්ෂණය ආර්ථිකයට සම්බන්ධ කරන, පරිසරය ආරක්ෂා කරන සහ සමාජ සාධාරණත්වය තහවුරු කරන අයවැයක් බවට පත් කිරීම අපේ අපේක්ෂාවයි.
අප ඉදිරිපත් කරන සෑම අයවැය යෝජනාවක්ම එකිනෙකට සම්බන්ධ වූ පොදු අරමුණක් කරා ගමන් කරන අඛණ්ඩ වැඩපිළිවෙළක කොටස්. එමෙන්ම මේ අයවැය එක් පුද්ගලයෙකුගේ හෝ එක් පාර්ශ්වයක අදහස් මත පමණක් සකස් වූවක් නොවෙයි. එය විවිධ පාර්ශ්වයන්ගේ අදහස්, යෝජනා සහ අත්දැකීම් එක් කර ගනිමින්, සාමූහිකව සකස් කළ වැඩපිළිවෙළක්. අප වෙත ඉදිරිපත් වූ සෑම යෝජනාවක් කෙරෙහිම නිසි අවධානය යොමු කර තිබෙනවා. අපගේ ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා, පවතින සම්පත්, මූල්‍ය අවකාශය හා ක්‍රියාත්මක කිරීමේ හැකියාව මත පදනම්ව සකස් කර තිබෙනවා.
ගරු කථානායකතුමනි,
අප රටේ මේ ආර්ථික ස්ථාවරත්වය ගොඩනඟා ගනු ලැබුවේ වඩාත් අසීරුතම අවධියක දී බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. මැදපෙරදිග ඇවිළෙමින් පවතින යුද්ධය වෙන කවරදාකටත් වඩා දිග්ගැස්සෙමින් ලෝකයේ විශාල අවිනිශ්චිතතාවයක් නිර්මාණය කරමින් පවතිනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය වැසීම නිසා ලෝකය පුරා සිදුවන ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් 20% කට ආසන්න ප්‍රමාණයකට බලපෑම් සිදුව තිබෙනවා. ඒ අනුව ඉන්ධන මිල, ප්‍රිමියම් අගය සහ නැව් හා රක්ෂණ ගාස්තු ඉහළ යාම, අපගේ බලශක්ති වෙළෙඳපොළට ඉතාමත් අහිතකර බලපෑමක් ඇති කළා. එමඟින් අපේ ආර්ථිකයටත්, ජන ජීවිතයටත් ඇති වූ පීඩනයෙන් තවමත් අපට මිදීමට නොහැකි වී තිබෙනවා. මේ හේතුවෙන් ජනතාවට හා ආර්ථික ස්ථාවරභාවයට සිදුවන බලපෑම අවම කිරීමට රු. බිලියන 147 කට වැඩි මුදලක් වැය කළා.
එමෙන්ම, පශ්චාත් ආපදා අවශ්‍යතා තක්සේරු (PDNA) වාර්තාවට අනුව, දිට්වා සුළි කුණාටුවෙන් නිවාස, කර්මාන්ත, දුම්රිය මාර්ග පද්ධති, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය හා සෞඛ්‍ය පද්ධතියට වූ හානිය, ඩොලර් බිලියන 2 ක් සහ ආර්ථික අලාභය ඩොලර් බිලියන 1.4 ක් සමඟ එකතුව ඩොලර් බිලියන 3.4 ක් (රු. ට්‍රිලියන 1.022) පමණ බවට ඇස්තමේන්තු කර තිබෙනවා.
මේ සියලු අහිතකර තත්ත්වයන්ට මුහුණ දෙමින් ආර්ථික ස්ථාවරත්වය ගොඩනඟා ගැනීමට අපට හැකියාව ලැබී තිබෙනවා.
ගරු කථානායකතුමනි,
ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පුරෝකථනය කර ඇති පරිදි මේ වන විට ඇතිවී තිබෙන එල්නිනෝ කාලගුණික තත්ත්වය 2027 පෙබරවාරි මාසයේ දී උච්චතම තත්ත්වය දක්වා ළඟා වීමේ සම්භාවිතාව 100% ක් බව තහවුරු කොට තිබෙනවා. මේ එල්නිනෝ කාලගුණික තත්ත්වය කෘෂිකර්මාන්තයට, ආහාර මිල ගණන්වලට, ජල සම්පත්වලට සහ ජල විදුලියට අහිතකර බලපෑම් ඇති කිරීමේ අවදානමක් පවතිනවා. මෙවැනි, ගෝලීය මට්ටමින් මෙන්ම දේශීයව ඇති විය හැකි අවදානම් කල්තියා හඳුනාගෙන, ඒවාට මුහුණ දීමට සමත් ලෙස ආර්ථිකය තවදුරටත් ස්ථාවර කිරීම අපගේ ප්‍රමුඛතම වගකීමක් ලෙස සලකනවා.
අපගේ ඉලක්කය වන්නේ අද තිබෙන ආර්ථික අභියෝග කළමනාකරණය කිරීම මෙන්ම අනාගත පරම්පරාවට නැවතත් පෙර පැවැති ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු නොවන රටක් බවට පරිවර්තනය කිරීමයි. “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හරය වන්නේ ආර්ථික දර්ශකයන් හි කාර්යසාධනය ඉහළ නැංවිම පමණක් නොව ගෞරවයෙන් හා අභිමානයෙන් ජීවත්වීමට හැකි සමාජයක් හා අනාගතය පිළිබඳව විශ්වාසයකින් යුතු රටක් නිර්මාණය කිරීමයි.
මෙවර අයවැයේ මූලික අරමුණ වන්නේ ආර්ථික ස්ථාවරත්වයේ සිට පරිවර්තනය කරා යොමු කිරීමයි. ආයෝජන, අපනයන, ඵලදායී රැකියා, සමාජ සුභසාධනය සහ තිරසරත්වය යනාදී සෑම ක්ෂේත්රයකම ප්රගතිගාමී පරිවර්තනයක් අත්පත් කර ගැනීමයි.
ගරු කථානායකතුමනි,
පසුගිය දෙවසර තුළ සාර්ව ආර්ථිකයේ කැපී පෙනෙන ස්ථාවරත්වයක් අත්පත් කර ගැනීමට අපගේ රජය සමත්ව තිබෙනවා. ඒ අනුව;
- 2025 වසරේ දී ලබාගත් 5% ක ආර්ථික වර්ධන වේගය අඛණ්ඩව පවත්වා ගනිමින් දිට්වා සුළි කුණාටුවේ බලපෑම මධ්‍යයේ වුවත් 2026 පළමු කාර්තුවේ දී1% ක ආර්ථික වර්ධනයක් අත්පත් කර ගත්තා. දෙවන කාර්තුවේ දී, මැද පෙරදිග කලාපයේ යුද්ධමය තත්ත්වයේ වුවද 4.2% ක වර්ධනයක් ළඟා කරගත්තා.
- දීර්ඝ කාලයක් පුරා වාර්තා කළ ඍණ ප්‍රාථමික ශේෂය, 2025 වසරේ දී4% ක ඉතිහාසයේ ඉහළතම ධන ශේෂය වාර්තා කළා. 2026 අයවැයට අනුව වසර අවසානයේ දී රු. බිලියන 360 ක් ලෙස අපේක්ෂිත ධන ප්‍රාථමික ශේෂය, සැප්තැම්බර් මස අවසන් වන විට, රු. බිලියන 1,844 ක ධන ශේෂයක් වාර්තා කළා.
- 2025 වසරේ දී අයවැය හිඟය, 2.3% ක් ලෙස, වසර 68 කට පසු අඩුම අගය වාර්තා කළා.
- ඉතිහාසයේ අවම අගය වූ 2022 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයෙන්2% ක් වූ රජයේ ආදායම, 2025 වසරේ දී 16.6% ක් වූ අතර, එය වසර 23 කට පසු වාර්තා වූ ඉහළම රාජ්‍ය ආදායම වූවා. එය අපේක්ෂිත රාජ්‍ය ආදායම මෙන් 110% ක් පමණ වුණා.
- 2025 වසරේ දී ජංගම ගිණුම, ඩොලර් මිලියන 1,719 ක ඉතිහාසයේ ඉහළතම අතිරික්තයක් වාර්තා කිරීමට අපට හැකි වුණා.
- 2025 වසරේ දී විදෙස් ප්‍රේෂණ ලැබීම් ඩොලර් බිලියන1 ක් වූ ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කළා. එමෙන්ම, මෙම වසරේ ඔක්තෝබර් වන විට එය ඩොලර් බිලියන 7.6 ක් වුණා. ඒ අනුව මෙවර ඩොලර් බිලියන 9 ඉක්මවා යන විදෙස් ප්‍රේෂණ අපේක්ෂා කරනවා.
- 2022 වසර අවසානයේ දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 114% ක් වූ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය, 2025 වසර අවසානය වන විට රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තු වාර්තා අනුව 95% ක් දක්වා අඩු කර ගැනීමට හැකි වුණා.
- 2022 වසරේ දී රජයේ ආදායමෙන්1% ක් පොලී ගෙවීම සඳහා වැය වූ අතර 2025 වසර වන විට 45.9% ක් දක්වාත්, 2026 සැප්තැම්බර් වන විට 39.6% ක් දක්වාත්, තවදුරටත් අඩු වුණා.
- 2022 දී ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 52 ක් වාර්තා කළ රු. බිලියන6 ක සමස්ත බද්දට පෙර ශුද්ධ අලාභය, 2025 දී රු. බිලියන 444.4 ක ලාභයක් බවට පත් කළා. එයින් භාණ්ඩාගාරයට තිබූ පීඩනය අඩු කළා. අප අලාභ ලබන ආයතන ලාභ ලබන ආයතන බවට පත් කරා. 2026 අගෝස්තු මස අවසන් වන විට රු. බිලියන 367 ක බදු පෙර ලාභයක් වාර්තා කළා. ශ්‍රීලංකන් ගුවන් සමාගම 2008 වසරේ ආපසු පවරාගත් දින සිට 2025 දක්වා සමුච්චිත අලාභය රු. බිලියන 528 කි. ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සමාගම මහා භාණ්ඩාගාරයට බරක් වී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වන විසඳුම් සෙවීමට මේ වන විට අමාත්‍ය මණ්ඩලය විසින් විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා.
- ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුකොටගෙන 2025 වසරේ සමස්ත ඉන්ධන ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 4,042 වූ අගය 2026 සැප්තැම්බර් වන විට ඩොලර් මිලියන 4,487 ක් වැය වීම, වාහන ආනයන වෙළෙඳපොළ විවෘත කිරීම මධ්‍යයේ වුවද විදෙස් සංචිත 2026 ඔක්තෝබර් මස වන විට ඩොලර් බිලියන 7 ඉක්මවා වාර්තා කළා.
- එසේ වුව ද, 2025 දෙසැම්බර් මාසය වන විට1% ක් වාර්තා කළ වාර්ෂික උද්ධමනය, මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ ගිය ඉන්ධන මිල මෙන්ම ඒ හා බැඳුනු අනෙකුත් සාධක හේතුවෙන් 2026 ඔක්තෝබර් මාසය වන විට 8.3% කට වැඩි වුණා.
- පෞද්ගලික අංශයට වාණිජ බැංකු විසින් ලබාදුන් ණය 2024 වසරේ දී රු. බිලියන 8,156 ක් වූ ප්‍රමාණය 2025 වසරේ දී රු. බිලියන 10,212 දක්වා2% කින් ඉහළ ගියා.
ගරු කථානායකතුමනි,
පසුගිය වසර දෙක තුළ, ආර්ථික, සමාජයීය ආදී ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාවට ඉහළ ප්‍රගතියක් අත්පත් කර ගැනීමට හැකිවුණා.
- 2026 ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව, ‘CCC+’ ශ්‍රේණිගත කිරීමේ සිට ‘B-’ ශ්‍රේණිගත කිරීම දක්වා ඉහළ නංවා තිබෙනවා.
- ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්’ ආයතනය විසින් නිකුත් කරන ලද දූෂණ සංජානන දර්ශකය (Corruption perception Index 2025/2026) අනුව ගෝලීය ශ්‍රේණිගත කිරීම් ස්ථාන 14 කින් ඉදිරියට එමින් 107 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.
- ගෝලීය සාම දර්ශකය (2026) අනුව ශ්‍රී ලංකාව ස්ථාන 14 කින් ඉදිරියට පැමිණ ගෝලීය වශයෙන් 67 වන ස්ථානයට පත් වුණා.
- ග්ලෝබ් ට්‍රොටර් ඇන්ඩ් ෆ්ලෑෂ් පැක් (GlobeTrotter & Flash Pack) ආයතනයට අනුව 2025 වසරේ දී, තනිව සංචාර කරන්නන්ගේ වර්ගීකරණයට අනුව ලෝක දර්ශකයේ පළමුවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වුණා.
- ලෝක ආර්ථික සංසදය විසින් සංචාරක ආර්ථිකයන්ගෙන් වේගවත්ම දියුණුවක් පෙන්නුම් කළ රටවල් අතර ලෝකයේ 10 වන ස්ථානයට ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.
- Conde’Nast ජාත්‍යන්තර සඟරාව විසින් පවුලේ සැමට එකට සංචාරය කළ හැකි ලොව හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කරනු ලැබුවා.
- ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (Institute of International Finance – IIF) විසින් සිදු කරන ලද ඇගයීමට අනුව, නැඟී එන වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් 57 ක් අතරින්, ශ්‍රී ලංකාව ආයෝජක සබඳතා වැඩිදියුණු කිරීමේ ප්‍රගතිය සිව්වන ස්ථානයත්, රාජ්‍ය ණය පිළිබඳ විනිවිදභාවය වැඩිදියුණු කිරීමේ ප්‍රගතිය පස්වන ස්ථානයත් හිමිකර ගත්තා.
- ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව, 2020 වසරේ දී ඉහළ මැදි ආදායම් ලබන රටක තත්ත්වයේ සිට පහළ මැදි ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කරනු ලැබුවා. ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීම පිළිබිඹු කරමින්, 2026 වසරේ දී යළි ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය ඉහළ දැමුවා.
ගරු කථානායකතුමනි,
අපගේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ සාර්ථකත්වය මනින නිර්ණායකයන් ඉහත කරුණු පමණක් නොවේ. පීඩාවට පත් වූ දරුවන්, වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයන්, දිගු කාලීන රෝගාබාධයන්ට ගොදුරු වූ පිරිස්, අඩු ආදායම්ලාභී කුටුම්භ සහ ආපදාවලින් ජීවනෝපාය අහිමි වූ පවුල් වෙත රජය සහය දැක්වීම හා රැකබලා ගැනීම ඒ තරමටම වැදගත් වෙනවා.
2025 අයවැයෙන් අප ආර්ථික ස්ථාවරත්වය හා සමාජ සාධාරණත්වය සඳහා අඩිතාලමක් දමනු ලැබුවා. 2026 අයවැයෙන් නිෂ්පාදනය, ආයෝජනය, ඩිජිටල්කරණය හා ආයතනික ප්‍රතිසංස්කරණ සඳහා වැඩි අවධානයක් යොමු කළා. 2027 අයවැයෙන් අප යෝජනා කරන්නේ මෙතෙක් අප අත්පත් කරගෙන ඇති ආර්ථික ස්ථාවරභාවය මත පදනම්ව නිෂ්පාදනය ඉහළ නැංවීම, ආර්ථිකයේ කොටස්කරුවන් ලෙස ජනතාව සහභාගී කරවා ගැනීම, ආර්ථිකයේ අත්පත් කරගන්නා ජයග්‍රහණ ජනතාවට සාධාරණ ලෙස බෙදී යාම හා ජාතික ආර්ථිකයේ ස්වෛරීත්වය අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය නව ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් වූ, ප්‍රතිසංස්කරණ හා යෝජනා ක්‍රියාවට නැංවීමයි.
ආර්ථික පරිවර්තනය යනු තවත් වියදම් ලැයිස්තුවක් ඉදිරිපත් කිරීම නොවේ. රජය විසින් සිදුකරනු ලබන සියලු ආයෝජනයක්ම, ලබා දෙනු ලබන සෑම බදු සහනයක්ම, ලබා ගනු ලබන සෑම ණය ගැනීමක්ම සහ යෝජනා කරනු ලබන සියලු සමාජ ආරක්ෂණ වැඩසටහනක්ම, ඒ තුළින් ඇතිවන ආර්ථික හා සමාජ ප්රතිලාභ මත තක්සේරු කරනු ලැබීමයි.
ජනතාව ආර්ථික අර්බුද සමයේ දරාගත්, මේ මොහොතේ දී ත් දරාගනු ලබන සියලු කැපවීම්, සදාකාලික කැපවීම් බවට පත් කිරීම අපගේ අරමුණ නොවේ. ආර්ථික ස්ථාවරත්වය, වඩා හොඳ රැකියා, සාධාරණ ආදායම්, ගුණාත්මක රාජ්‍ය සේවාවක්, ආරක්ෂිත සමාජ පරිසරයක් සහ අනාගත පරම්පරාවට තිරසර අනාගතයක් ගොඩනැංවීම අපගේ යුතුකම වෙනවා.
2. 2027 අයවැයෙහි උපායමාර්ගික අරමුණු 7 ක්.
ගරු කථානායකතුමනි,
2026 වසර සඳහා වූ අයවැය මෙම ගරු සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී, අභ්‍යන්තර හා බාහිර අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යා හැකි ආර්ථිකයක් ගොඩනැඟීමේ අවශ්‍යතාවය අප අවධාරණය කළා. 2025 වසර අවසානයේ දිට්වා සුළි කුණාටුව අපගේ ජන ජීවිතයට, නිෂ්පාදන කටයුතුවලට සහ යටිතල පහසුකම්වලට දැඩි බලපෑමක් එල්ල කළා. 2026 වසරේ මුල් භාගයේ උත්සන්න වූ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් බලශක්ති මිල, ආනයන වියදම් සහ සැපයුම් දාම මත නව පීඩනයක් ඇති වුණා.
දිට්වා සුළි කුණාටුව වැනි ආපදාවකට මුහුණ දීමේ දී රජයකට වැදගත් වූයේ රාජ්‍ය මූල්‍ය අවකාශය අප කල්තියා ගොඩනඟා තිබීමයි. එමඟින්, ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමටත්, අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමටත්, ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ප්‍රමුඛතා අනුව සම්පත් යෙදවීමටත් අවශ්‍ය මූල්‍ය හැකියාව ශක්තිමත් කර ගැනීමට අපට හැකි වුණා.
ශ්‍රී ලංකාව දිගුකාලයක් තිස්සේ මුහුණ දුන් මූලික ව්‍යුහාත්මක සාර්ව ආර්ථික ගැටලුව වුයේ අයවැය හිඟය, ගෙවුම් ශේෂය හා ජංගම ගිණුම තුළ පැවැති හිඟයයි. නිවැරදි ආදායම් හා වියදම් ප්‍රතිපත්ති මඟින් අයවැය හිඟය සැලකිය යුතු ලෙස අඩු කරගැනීමට අපට හැකි වුණත්, විදේශීය අංශය තවමත්, අවශ්‍ය පරිදි ශක්තිමත් වී නැහැ. 2025 වසරේ පළමු මාස නවය තුළ ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,853 ක අතිරික්තයක් වාර්තා වූ නමුත්, 2026 වසරේ අදාළ කාලයේ දී ඩොලර් මිලියන 420 ක හිඟයක් වාර්තා වුණා. රාජ්‍ය මූල්‍ය අංශයේ අත් කරගත් ප්‍රගතිය, විදේශ අංශය ශක්තිමත් කරන ව්‍යුහාත්මක පරිවර්තනයකට පදනම කරගත යුතුයි.
වර්තමානයේ දී ලෝක ආර්ථිකය පවතින තත්ත්වය දෙස බැලීමේදී ද මේ අවශ්‍යතාවය තවදුරටත් පැහැදිලි වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් 2026 වසරේ ඔක්තෝබර් මාසයේ නිකුත් කළ ලෝක ආර්ථික ඉදිරි දැක්ම අනුව ගෝලීය ආර්ථික වර්ධනය 2026 වසරේ දී 3.1% ක් දක්වා මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කරනවා. යුධ ගැටුම් උත්සන්න වීම, බලශක්ති හා ආහාර මිල ඉහළ යාම සහ ජාත්‍යන්තර වෙළෙඳාමේ අවිනිශ්චිතතාව වැනි අවදානම් තවමත් පවතිනවා.
මෙම තත්ත්වයන්ට ඔරොත්තු දීමට සමත් දිගුකාලීන සැලැස්මක් අපට අවශ්‍යව තිබෙනවා.
2.1 සාර්ව ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම
සාර්ව ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කරමින්, ණය තිරසරභාවය තහවුරු කිරීම සහ අනාගත අභ්‍යන්තර හා බාහිර කම්පනවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීම අපගේ ප්‍රධාන අරමුණක්. ඒ සඳහා තිරසර රාජ්‍ය ආදායමක්, විචක්ෂණශීලී වියදම් කළමනාකරණයක්, සැලසුම් සහගත ණය ගෙවීම්, ප්‍රමාණවත් රාජ්‍ය මූල්‍ය අවකාශයක් සහ ශක්තිමත් විදේශ සංචිත අත්‍යවශ්‍ය වෙනවා. මිල ස්ථාවරත්වය ආරක්ෂා කිරීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නීතිමය වගකීම්වලට ගරු කරමින්, රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති අතර ප්‍රමාණවත් සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම ද වැදගත් වෙනවා.
මධ්‍යම රජයේ ණය, ආර්ථිකය අර්බුදයට ඇද දැමු 2022 වසරේ දී 114% ක් විය. ණය තිරසරභාවයේ දී සැලකිල්ලට භාජනය වනුයේ දළ දේශීය නිෂ්පාදිතයේ හා රජයේ ආදායම් ප්‍රමාණයට සාපේක්ෂව ණය ආපසු ගෙවීමට ඇති හැකියාව හා ආසන්නයේම ඇති ණය සේවා පියවීමට ප්‍රමාණවත් ද්‍රවශීලතාවයක් තිබේද යන්නයි.
රාජ්‍ය ණය 2032 වන විට 95% දක්වා මට්ටමට ළඟාකර ගැනීම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ඉලක්කයයි. රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ප්‍රගතියට අනුව මෙය 87% දක්වා අඩුවේ යැයි IMF 6 වන සමාලෝචනයෙන් පුරෝකථනය කර තිබෙනවා. රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ මූලිකත්වයෙන් ණය තිරසරභාවය පවත්වා ගැනීම සඳහා වාර්ෂික ණය ගැනීමේ සැලසුම් හා උපායමාර්ග ක්‍රියාත්මක කරමින් තිබෙනවා. 2025 වසරේ දී මධ්‍යම රජයේ ණය ප්‍රතිශතය 95% ට ළඟා වී තිබුණා. සමස්ත විදේශීය ණය සේවාකරණය 2025 වසරේ දී ඩොලර් මිලියන 3,707 ක් වූ අතර 2026 වසරේ දී ඩොලර් මිලියන 3,591 ක අගයක් විය. ඉදිරියේ දී 2027 වසරේ දී හා 2028 වසරේ දී පිළිවෙළින් ඩොලර් මිලියන 2,986 ක් සහ 3,574 ක් වේ. මෙම ණය සේවාකරණය සඳහා අවශ්‍ය ස්ථාවරත්වයක් අප සතුව පවතිනවා.
2.2 ආයෝජන, නිෂ්පාදනය සහ අපනයන මූලික කරගත් ආර්ථික වර්ධනය වේගවත් කිරීම
අපගේ ඉලක්කය වන්නේ ඉහළ ඵලදායීතාවකින් යුතු, අපනයන තරගකාරීත්වය සහිත නිෂ්පාදන ආර්ථිකයක් කරා ව්‍යුහාත්මක පරිවර්තනය වේගවත් කිරීමයි. දේශීය හා විදේශීය පෞද්ගලික ආයෝජන පුළුල් කිරීම, අපනයන භාණ්ඩ සහ වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීම, ජාත්‍යන්තර වශයෙන් අගය දාම සමඟ සම්බන්ධ වීම සහ වැඩි අගය එකතු කිරීමක් සහිත කර්මාන්ත හා සේවා ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අංශ වෙනවා.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීම, ආයෝජකයන්ට පැහැදිලි, විනිවිදභාවයෙන් යුතු ආයෝජන පරිසරයක් සැකසීම සඳහා අපි කටයුතු කරනවා.
2.3 තාක්ෂණය, නවෝත්පාදනය සහ මානව ප්රාග්ධනය තුළින් ඵලදායීතාව ඉහළ නැංවීම
අධ්‍යාපනය, නිපුණතා සංවර්ධනය, පර්යේෂණ, නවෝත්පාදනය සහ ඩිජිටල් පරිවර්තනය ශක්තිමත් කරමින් ජාතික ඵලදායීතාව ඉහළ නැංවීම, රාජ්‍ය සේවා නවීකරණය, ඩිජිටල් යටිතල පහසුකම් පුළුල් කිරීම, නව තාක්ෂණ භාවිතය දිරිගැන්වීම සහ අධ්‍යාපන ආයතන, පර්යේෂණ ආයතන සහ කර්මාන්ත අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා අප ප්‍රමුඛතාවය ලබා දෙනවා.
විශේෂයෙන් අපේ තරුණ පරපුරට වෙනස් වන දේශීය හා ගෝලීය රැකියා වෙළෙඳපොළට අවශ්‍ය නිපුණතා ලබාදීමත්, දැනුම හා නවෝත්පාදන, ආදායම් ජනිත කරන නව ව්‍යවසායකයන් බවට පරිවර්තනය කිරීමත් අත්‍යවශ්‍ය වෙනවා. තාක්ෂණික හැකියාවෙන් යුතු ශ්‍රම බලකායක් සහ වැඩි ඵලදායීතාවකින් යුතු භාණ්ඩ හා සේවා නිෂ්පාදනයත්, අපනයන තරගකාරීත්වය සහ විදේශ විනිමය ඉපැයීමේ ධාරිතාව ඉහළ නංවනවා.
2.4 ග්‍රාමීය ආර්ථිකය සවිබල ගැන්වීම සහ සැමට ප්රතිලාභ ලැබෙන වර්ධනයක් තහවුරු කිරීම
අපනයන හා ග්‍රාමීය ආදායම් වර්ධනය සඳහා කෘෂි ආහාර ක්ෂේත්රය සතු හැකියාව ඉතා ඉහළයි. ඵලදායීතාව ඉහළ නැංවීමට දායකත්වයක් නොදක්වන පුළුල් සහ ඉලක්කගත නොවූ සහනාධාර මත අධික ලෙස රඳාපැවතීම වෙනුවට, ඵලදායී නොවන ඉඩම් ඵලදායී වගාවන් සඳහා යොමු කිරීම, කෘෂිකාර්මික පර්යේෂණ, දේශගුණයට ගැළපෙන තාක්ෂණය, ජල කළමනාකරණය, ගබඩා හා ශීතාගාර පහසුකම්, නිෂ්පාදන තත්ත්ව සහතික සහ ඩිජිටල් පද්ධති සඳහා ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු වෙනවා. ඉඩම් භාවිතය, ග්‍රාමීය මූල්‍ය ප්‍රවේශය සහ නිෂ්පාදකයන් වෙළෙඳපොළට සම්බන්ධ කිරීම සඳහා පවතින බාධා නිසි අධ්‍යයනයකින් අනතුරුව විසදීමත් අත්‍යවශ්‍ය වෙනවා. එවිට ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය සවිබලගැන්වීම, ආහාර සුරක්ෂිතතාව සහ විදේශ විනිමය ඉපැයීම එකම සංවර්ධන ක්‍රියාවලියක ප්‍රතිඵල බවට පත් කිරීමට හැකි වෙනවා.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරි ගැන්වීම, ග්‍රාමීය ජනතාව වෙත නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම, නූතන රැකියා වෙළෙඳපොළට අවශ්‍ය තාක්ෂණික, වෘත්තීය හා භාෂා කුසලතා වර්ධනය කිරීම තුළින් ග්‍රාමීය මට්ටමින් නව ආර්ථික පරිවර්තනය ඇති කළ හැකිවෙනවා.
2.5 බලශක්ති වෙළෙඳපොළ ස්ථාවරත්වය හා අඛණ්ඩතාව
ජාත්‍යන්තර වශයෙන් ඉන්ධන මිල ගණන් ඉහළ යාම, සැපයුම් දාම බිඳ වැටීම, කාලගුණික විපර්යාසයන් අප රට තුළ බලශක්ති ක්ෂේත්රයේ අස්ථාවරත්වයේ පදනම වෙනවා. අපගේ අරමුණ බලශක්තිය කෙරෙහි අප මුහුණ දෙන මෙම පදනම් වෙනස් කිරීමයි. ඒ සඳහා පුනර්ජනනීය බලශක්තිය පුළුල් කිරීම, විදුලි සම්ප්‍රේෂණ ජාල, බලශක්ති ගබඩාකරණය සහ බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම ද අවශ්‍ය වෙනවා. විවිධ සැපයුම් මාර්ග හා බලශක්ති ප්‍රභව භාවිතයෙන් අත්‍යවශ්‍ය බලශක්ති සැපයුමේ අඛණ්ඩතාව ආරක්ෂා කරන අතරම, ආනයනික ඉන්ධන සඳහා වැයවන විදේශ විනිමය මත පවතින දිගුකාලීන පීඩනය අවම කිරීම අපගේ ඉලක්කයයි.
2.6 දේශගුණික විපත්වලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම
ඉදිරි ආපදාවලට ඔරොත්තු දිය හැකි ප්රමිතීන්, පූර්ව අනතුරු ඇඟවීම් සහ නිසි නඩත්තු සැලසුම් අනුගමනය කිරීම වැදගත් වෙනවා. ඒ සමඟ ආහාර සැපයුම් දාම, ගබඩාකරණය, පොදු ප්‍රවාහනය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ ක්‍රමවේදයන් ශක්තිමත් කළ යුතුයි. අත්‍යවශ්‍ය වූ සන්නිවේදන පහසුකම්, විදුලිය වැනි සේවාවන්හි අඛණ්ඩතාව තහවුරු කළ යුතුයි. අනාගතයේ දී ඇතිවිය හැකි ස්වභාවික විපත්වලින් සිදුවන අවදානම් සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැකි වුවත්, ඒවා හේතුවෙන් ආර්ථික ක්‍රියාකාරකම් අඩපණ වීමත් ජන ජීවිතයට එල්ල වන පීඩනයත් සැලකිය යුතු ලෙස අවම කිරීම අපගේ අරමුණයි.
2.7 රාජ්‍ය යාන්ත්‍රණය නවීකරණය කිරීම
ජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදෙන, ආයෝජන සහ නිෂ්පාදන කටයුතු පහසු කරන, නීතියට වගකියන සහ විනිවිදභාවයෙන් යුතු කාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක් ගොඩනැඟීම අත්‍යවශ්‍යය. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය ව්‍යවසාය හා වත්කම් කළමනාකරණය, බදු පරිපාලනය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නවීකරණය කිරීම මෙහි අත්‍යවශ්‍ය අංග වෙනවා. දූෂණය සහ අනවශ්‍ය පරිපාලන ප්‍රමාද අවම කරමින්, නීතියේ ආධිපත්‍ය හා වගවීම ශක්තිමත් කිරීම ජනතා විශ්වාසය ඉහළ නැංවීමටත්, රාජ්‍ය සම්පත් රැක ගැනීමටත් එක සේ වැදගත් වෙනවා.
3. මධ්‍යකාලීන සාර්ව ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය ඉදිරි ගමන් මඟ
ගරු කථානායකතුමනි,
අපගේ මධ්‍යකාලීන ආර්ථික ඉලක්කය වන්නේ 7% ක් හෝ ඊට ඉහළ තිරසර ආර්ථික වර්ධන වේගයක් කරා ගමන් කිරීමයි. අපේක්ෂා කරන ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ශක්තිමත් සහ විශ්වාසනීය රාජ්‍ය මූල්‍ය පදනමක් අත්‍යවශ්‍යයි. ඒ අනුව, “2027–2031 මධ්‍යකාලීන රාජ්‍ය මූල්‍ය රාමුව” සහ “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත” මඟින් ස්ථාපිත කර ඇති වගකීම් රාමුවට අනුකූලව රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා. දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% ක ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගැනීමත්, අයවැය හිඟය 5% ට අඩු මට්ටමක පවත්වා ගැනීමත්, රාජ්‍ය ණය තිරසර මාවතකට යොමු කිරීමත් අපගේ මූලික රාජ්‍ය මූල්‍ය ඉලක්ක වෙනවා.
මධ්‍යකාලීනව රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 16% කට නොඅඩු මට්ටමක පවත්වා ගනිමින්, දිගුකාලීනව 20% ක් පමණ දක්වා ක්‍රමානුකූලව ඉහළ නැංවීම අපගේ අරමුණයි. මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා බදු පදනම පුළුල් කිරීම, බදු නිදහස් කිරීම් සහ දිරිගැන්වීම් තාර්කික කිරීම, බදු පරිපාලනය ඩිජිටල්කරණය කිරීම සහ බදු අනුකූලතාව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත අනුව, ප්‍රාථමික වියදම් සීමාවට අනුකූලව මධ්‍යකාලීන වියදම් පවත්වා ගැනීමට අප කටයුතු කරනවා. කෙසේ වෙතත්, දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් යටිතල පහසුකම් සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන හේතුවෙන් 2027 වසරේ ප්‍රාථමික වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 13.6% ක් දක්වා තාවකාලිකව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා. මෙම විශේෂ වියදම් අවශ්‍යතා නීතිමය රාජ්‍ය මූල්‍ය රාමුව තුළ කළමනාකරණය කරමින්, 2028 වසරේ සිට ප්‍රාථමික වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 13% ක් දක්වා නැවත ගෙන ඒමටත් අපේක්ෂා කරනවා.
ගරු කථානායකතුමනි,
2027 වසරේ සිට රාජ්‍ය ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% ඉක්මවූ මට්ටමක පවත්වා ගැනීමට අප අපේක්ෂා කරනවා. 2027 වසරේ දී ප්‍රාග්ධන වියදම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස, අයවැය ලේඛණය තුළින් 4.48% ක් ද, දිට්වා සඳහා පරිපූරක ඇස්තමේන්තුවෙන් 0.64% ක් ද ලෙස සමස්ත රාජ්‍ය ආයෝජනය 5.12% ලෙස රු. බිලියන 2,000 ක්, වෙන් කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ එළඹුණු විස්තීරණ ණය පහසුකම් වැඩසටහන ලබන වසරේ මාර්තු මාසයේ දී අවසන් කිරීමට නියමිතයි. 17 වන IMF වැඩසටහන සාර්ථකව නිම කිරීමට අප බලාපොරොත්තු වෙනවා. දේශීය වශයෙන් ආර්ථිකය ස්ථායීකරණය කිරීමේ වැඩපිළිවෙළ සාර්ථකව සිදු වෙමින් පවතින අතරම වර්ධනය සඳහා ආර්ථික පරිවර්තනයකට සූදානම් වන අවස්ථාවේදී ගෝලීය සහ ස්වභාවික ආපදාවන්ගෙන් සිදුවන බලපෑම් පිළිබඳ පුරෝකථනය කිරීම අපහසුයි. එවැනි අවස්ථාවන්ට සාර්ථකව මුහුණ දීමට අපගේ සංචිත තවත් ශක්තිමත් විය යුතු යැයි අප විශ්වාස කරනවා.
එබැවින්, වත්මන් IMF වැඩසටහන සාර්ථකව අවසන් කළ පසු නැවත වැඩසටහනකට එළඹීමේ යෝග්‍යතාවයන් හා කුමන ආකාරයේ වැඩසටහනකට ද යන්න පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් නියෝජ්‍ය මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා.
සමාජ සාධාරණත්වය සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ආර්ථික හා ස්වාභාවික ආපදා හමුවේ වැඩිම අවදානමකට මුහුණ දෙන අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි කුටුම්භ ආරක්ෂා කිරීම සඳහා ඉලක්කගත සමාජ ආරක්ෂණ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කරනවා
ගරු කථානායකතුමනි,
අපගේ ජනතාව, මෙම ආර්ථික ස්ථායීකරණය වෙනුවෙන් සුවිශේෂී දරාගැනීම් සහ කැපකිරීම් සිදුකරනු ලැබූවා. අප සියලුදෙනාම ඔවුන් වෙනුවෙන් අපේ ගෞරවය පුදකළ යුතුයි. මෙම දරාගැනීම්වලට සාධාරණත්වය ඉටු කිරීම යනු ආර්ථික ස්ථායීකරණයේ සිට පරිවර්තනය කරා වේගවත් හැරවුමක් ලබාගැනීමයි. ඒ වෙනුවෙන් 2027 වර්ෂය සඳහා වූ අයවැය යෝජනා මෙම ගරු සභාව වෙත ඉදිරිපත් කරනවා.
ආර්ථික පරිවර්තනය සඳහා වූ අත්‍යවශ්‍ය පදනම් ගොඩනැංවීම
4. නීතිමය රාමුව ශක්තිමත් කිරීම
අපේක්ෂා කරනු ලබන ආර්ථික පරිවර්තනය ළඟාකර ගැනීම හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සදහා නව ශක්තිමත් නීති රාමුවක් හා ආයතන ව්‍යුහයක් අවශ්‍ය වෙනවා. අපේ සමහර නීති අවුරුදු 100 කට වඩා පැරැණියි. අපේ සමහර ආයතනවල කාර්යභාරය අවසන් වී තිබෙනවා. එම නීති හා ආයතන අපේක්ෂා කරන ආර්ථික පරිවර්තනයන් කරා ළඟාවීමට දෙපා බැඳ තබන විලංගු බවට පත්ව තිබෙනවා. එබැවින් නව ආර්ථික පරිවර්තනය ළඟාකර ගැනීම සඳහා පැරැණි, යල්පිනූ නීති හා ආයතනයන් වර්තමාන අභියෝගයන්ට මුහුණ දිය හැකි පරිදි යළි සකස් කිරීමත්, ඇති වී තිබෙන නව තත්ත්වයන්ට අනුරූප වන පරිදි නව නීති හා ආයතන ගොඩ නැංවීමත් අවශ්‍ය වෙනවා. මෙම විලංගු ඉවත් කිරීමකින් තොරව අපට ඉදිරියට යා නොහැකි වේ. ඒ වෙනුවෙන්;
- වසංගත, ස්වභාවික ආපදා, ත්‍රස්තවාදී ක්‍රියාවන් වැනි විවිධ අර්බුදයන් හේතුකොටගෙන කඩා වැටුණු ව්‍යාපාර නැවතත් ගොඩ නැංවීමට, ආර්ථිකයට දායකවීමට සහ ණය හිමියන්ගේ මුදල් ගෙවීමට අවස්ථාවක් උදා කර දීම සඳහා “2026 අංක 12 දරන බේරා ගැනීම්, පුනරුත්ථාපන සහ වස්තු භංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත” සම්මත කර තිබෙනවා.
- “2026 අංක 16 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත” තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම ශක්තිමත් කිරීම සඳහා අවශ්‍යවන නීති සම්මත කර තිබෙනවා.
- “2026 අංක 17 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත” මඟින් මූල්‍ය පද්ධතියට වාර්තා නොවීම නිසා තිබූ අවදානම අවම කිරීමට හා අනුගත නොවෙන්නන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන සලසා දී තිබෙනවා.
- “2026 අංක 18 දරන ත්රස්තවාදීන්ට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනතින්” මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම තුළින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන හා ශ්‍රී ලංකාව භාවිත කරමින් ගෝලීය ත්රස්තවාදයට මූල්‍යනය කිරීම වළක්වා තිබෙනවා.
- ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් බොහෝ පිරිස් මේ වන විටත් විශාල ණය උගුලක හිරවී ඇත. ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ වන විටත් “2026 අංක 9 දරන ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත” සම්මත කර තිබෙනවා. ඒ අනුව ‘ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය’ 2027 වසරේ පිහිටුවා, ව්‍යාපාර ගනුදෙනුකරුවන්ට ආරක්ෂාව සැලසීමට කටයුතු කරනවා.
- රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘති ආරම්භ කිරීම, සංවර්ධනය, කළමනාකරණය හා අධීක්ෂණය සඳහා මේ වන විටත් “රාජ්‍ය පෞද්ගලිකත්ව හවුල් ව්‍යාපාර (PPP) පනත” ගැසට් පත්‍රයේ පලකර තිබෙනවා. එය 2027 වසර මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා.
- රජයට කොටස් හිමි සමාගම් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා පරිපාලක සමාගමක් (holding company) සංස්ථාපනය කිරීමට “රජය සතු වාණිජ ව්‍යාපාර කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත” මේ වන විට නීතිපතිගේ නිශ්කාෂණය සඳහා යොමුකර තිබෙනවා. මේවන විටත් ඒ සඳහා රජය සතු සමාගම් 34 ක් හඳුනාගෙන තිබෙනවා.
- ආයෝජකයින්ට අයත් ආයෝජන, වත්කම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීමත්, සාධාරණ හා සමාන සැලකීමක් ලැබීම සහතික කිරීමටත්, වන්දි ගෙවීම, ආරවුල් විසඳීම සම්බන්ධයෙන් විධිවිධාන සැලසීමත් සඳහා “ආයෝජන ආරක්ෂණ පනත් කෙටුම්පත” මේ වන විටත් නීතිපතිගේ නිශ්කාෂණය සඳහා යොමුකර තිබෙනවා.
- කොළඹ වරාය නගරයට විදේශ ආයෝජන ආකර්ෂණය කිරීම හා ආයෝජකයින් හා එහි සේවයේ නියුතු වන්නන් සඳහා වැඩි පහසුකම් සැලසීම වෙනුවෙන් “කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත්” කෙටුම්පත නීතිපතිගේ නිශ්කාෂණය සඳහා යොමුකර තිබෙනවා.
- වෘත්තීය රක්ෂණවේදීන්ගේ ගුණාත්මකභාවය ඇති කිරීම හා වෘත්තීය පුහුණුව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් නව ආයතනයක් පිහිටුවීමට අවශ්‍ය “ශ්‍රී ලංකා වෘත්තීය රක්ෂණවේදීන්ගේ ආයතන පනත” කෙටුම්පත් කරමින් පවතිනවා.
- මෙම යුගයේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ දී වඩාත් වැදගත් වන්නේ දත්ත හා තොරතුරුයි. ශ්‍රී ලංකාවේ නිල සංඛ්‍යාලේඛන සකස් කිරීම, සම්බන්ධීකරණය සහ පාලනය සඳහා “ජාතික සංඛ්‍යාලේඛණ පනත” කෙටුම්පත් කරමින් තිබෙනවා.
- රේගු දෙපාර්තමේන්තුව වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුක්තව, ව්‍යාපාර සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් “රේගු ආඥා (සංශෝධන) පනත”, 2027 වසරේ මුල්භාගයේ දී සම්මත කිරීමට අපේක්ෂා කරනවා. මේ වසරේ ඔක්තෝබර් මස සිට රේගුව කඩදාසි රහිත (Paperless) වැඩසටහන ක්‍රියාත්මක කර, සියවසක් පමණ භාවිත කරන ලද, එහි එක් අංශයක් වන ‘රේගු දිගු කාමරය (Custom Long Room)’ ඩිජිටල් කර තිබෙනවා.
- ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්රමිතීන්, ශ්‍රී ලංකා විගණන ප්රමිතීන් සහ තත්ත්ව පාලනය පිළිබඳ නියාමන ප්රමිතීන් විධිමත් කිරීම සඳහා “මූල්‍ය වාර්තාකරණ නියාමන (සංශෝධන) පනත” සංශෝධනය කරනවා.
- “නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත” ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවී තිබෙන දීර්ඝකාලීන ගැටලු සඳහා විසඳුම් ලබා දීමට සංශෝධනය කරනවා.
- මූල්‍ය සමාගම් නියාමනය සහ අධීක්ෂණය ශක්තිමත් කිරීම, අනවසර මූල්‍ය ව්‍යාපාර විමර්ශනය කිරීම හා නඩු පැවරීම, ශක්‍යතාවය නොමැති මූල්‍ය ව්‍යාපාර වසා දැමීමේ අවශ්‍යතා බලගැන්වීමට, “මුදල් ව්‍යාපාර පනත” සංශෝධනය කරනවා.
- රාජ්‍ය වත්කම් කළමනාකරණයේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් “රාජ්‍ය දේපල කළමනාකරණ පනත” ගෙන එනවා.
- ඵලදායී හා කාර්යක්ෂම ලෙස ආයෝජන හා නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යාමට අවශ්‍ය යහපත් වැඩ පරිසරයක් නිර්මාණය කිරීම, වෘත්තීයමය වගකීම හා වගවීම නිශ්චිතව හඳුනා ගැනෙන සේව්‍ය-සේවක සබඳතා ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන දශක ගණනක් පුරා පැවති කම්කරු නීති වර්තමාන සමාජ හා ආර්ථික අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා. මෙම කමිටුව ජාතික කම්කරු උපදේශන සභාව ද ඇතුලත්ව අදාළ පාර්ශවයන්ගේ අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගනිමින් නිර්දේශ ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.
සිදුකළ යුතු අත්‍යවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම්
- ආයෝජකයන් වෙත, රජයේ ඉඩම් ලබාදීමේ දී සිදුවන ප්‍රමාදයන් අවම කිරීමට හා ව්‍යාපෘතියේ ජාතික වැදගත්කම, උත්පාදනය වන රැකියා ප්‍රමාණය හා ආයෝජනය සිදුකරනු ලබන ප්‍රදේශය අනුව ලබා දිය යුතු සහන සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය විසින් නිලධාරී කමිටුවක් පත්කර තිබෙනවා.
- ආයෝජන ප්‍රවර්ධනය සඳහා පෞද්ගලික අංශය සහ ජාත්‍යන්තර අත්දැකීම් ඇති වෘත්තිකයින්ගෙන් සමන්විත, 100% ක් භාණ්ඩාගාරය හිමිකම් දරන සමාගමක් පිහිටුවීමට අපේක්ෂා කරනවා. මෙම සමාගමට ද, Gov Tech ආයතන පිහිටුවීමේ දී සැලකිල්ලට භාජනය කරන ලද වෙළෙඳපොළට සරිලන වැටුප් හා දීමනා ලබාදීමට අපේක්ෂා කරනවා.
- වර්තමානය වන විට කැසිනෝ, ඔන්ලයින් සූදු ඇතුළු අනෙකුත් සූදු ගණයට ගැනෙන ක්‍රීඩා නියාමනය කිරීම සඳහා සූදු නියාමන අධිකාරිය මේ වන විටත් පිහිටුවා තිබෙනවා. විශේෂඥ සහාය සහිතව අවශ්‍ය නියාමන රෙගුලාසි මේ වන විටත් සකස් කර අවසන් කර තිබෙනවා.
- තෝරාගත් භාණ්ඩ අපනයන කිහිපයක් වෙනුවෙන් මේ මස පස්වෙනිදා සිට, නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර තිබෙන ජාතික තනි වෙළෙඳ කවුළුව (National Single Window for Trade) පළමු අදියර ලෙස අපනයන ව්‍යාපාරිකයන් 2027 මුල භාගයේ දී ත්, ආනයන ව්‍යාපාරිකයින් හා ප්‍රති-නැව්ගතකිරීම් 2027 අග භාගයේ දී ත් සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා රු. මිලියන 1,990 ක් වෙන් කර තිබෙනවා.
- ජාතික තනි ආයෝජන කවුළුව (National Single Window for Investment) නිර්මාණය කිරීම සඳහා උපදේශක සමාගමක් ලබා ගැනීම වෙනුවෙන් ලංසු කැඳවා, මේ වන විට එම ලංසු ඇගයීමට භාජනය කරමින් තිබෙනවා. එය ස්ථාපිත කිරීම වෙනුවෙන් රු. මිලියන 100 ක් වෙන් කර තිබෙනවා.
- ශ්‍රී ලංකා රේගුවේ දේශසීමා ආරක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ස්කෑනර් පද්ධතිය පුළුල් කිරීම සඳහා ශරීර ස්කෑන් කරන යන්ත්‍ර හා කන්ටේනර් ස්කෑන් කිරීමේ යන්ත්‍ර ලබා ගැනීම සඳහා රු. මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
- “වරායන් අතර වෙළෙඳ ගනුදෙනු” ක්‍රමවේද හඳුන්වා දීම, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අපනයනට යොමුකිරීම සඳහා දැනට පවතින "අපනයන සඳහා ආනයන කරනු ලබන භාණ්ඩ බදු සහන සහිතව නිශ්කාෂණය" ක්‍රියාවලිය (TIEP) නවීකරණය කිරීමට යෝජනා කරනවා.
5. නිදහස් වෙළෙඳ ගිවිසුම්
ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ ජාලයට සම්බන්ධ කිරීම සඳහා පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම් යාවත්කාලීන කිරීම සහ තවත් රාජ්‍යයන් සමඟ නව වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමට අප අපේක්ෂා කරනවා.
- ඉන්දියාව සමඟ පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම පුළුල් කිරීම සඳහා මේ වන විටත්, අමාත්‍ය මණ්ඩලය විසින් නිලධාරි කමිටුවක් පත්කර තිබෙනවා.
- චීනය සමඟ නව නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා
- කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්වයට (RCEP) ඇතුළත්වීම සඳහා ඉල්ලුම් කර තිබෙනවා.
- එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඕමානය සමඟ විස්තීර්ණ ආර්ථික හවුල්කාරී ගිවිසුම්වලට එළඹීමට බලාපොරොත්තු වෙනවා.
- අපනයන තරගකාරිත්වය, අපනයන විවිධාංගීකරණය සහ තිරසර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම උදෙසා, 2027-2030 කාලය තුළ රු. මිලියන 3,430 ක යුරෝපා සංගම් ප්‍රදාන යටතේ “ශ්‍රී ලංකා-යුරෝපා සංගම් තිරසර වෙළෙඳ හා ආර්ථික ඒකාබද්ධ ව්‍යාපෘතිය” ක්‍රියාත්මක කරනවා.
එමෙන්ම, ශක්‍යතා අධ්‍යයනයකින් පසු වෙනත් රටවල් සමඟ නව නිදහස් වෙළෙද ගිවිසුම්වලට එළඹීමට අප කටයුතු කරනවා.
ඉතිරි කොටසක් හෙට

