උණුසුම් පුවත්

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර ජනතා අයිතියට

ව්යාපෘතියෙන් කෘෂිකර්මාන්තයට හානියක් නැහැ රනිල් ගෙන් සහතිකයක්

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශයේ කෘෂිකර්ම කටයුතු සඳහා කිසිදු හානියක් සිදු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. එම ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශයේ කෘෂිකර්ම කටයුතු සඳහා මෙන්ම පානීය ජල අවශ්‍යතාවට ද විසඳුම් ලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ව්‍යාපෘතිය සම්බන්ධව ගොවි ජනතාව කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නැති බවද කියා සිටියේය.

දීර්ඝකාලීනව වකුගඩු රෝගයෙන් පීඩා විඳින මැදවච්චිය, පදවිය, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන සහ කහටගස්දිගිලිය  ප්‍රදේශවල ජනතාවගේ පිරිසුදු පානීය ජල අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) මූල්‍ය සහයෝගීතාව මත ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් රුපියල් මිලියන 11,515ක වියදමින් ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (15) පෙරවරුවේ එක් වෙමිනි.

මෙහි පළමු  අදියර අනුරාධපුර මහ කනදරාව වැව ප්‍රධාන ජල මූලාශ්‍රය කොටගෙන ක්‍රියාත්මක කර තිබෙන අතර ඒ යටතේ රඹෑව සහ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම සේවා වසම් 75ක පවුල් 25,000 ක පමණ පානීය ජල අවශ්‍යතාව සපුරාලයි.

මේ ප්‍රදේශවලට අවශ්‍ය පානීය ජලය සැපයීමේ විශාල කාර්යභාරය ජීවන් තොණ්ඩමන් ඇමතිතුමා භාරගෙන තිබෙනවා. තවමත් අපේ රටේ නිවාස වැඩි ප්‍රමාණයකට ජලය ලබාදීමට තිබෙනවා. ඒ වගේම කඳුකරයේ ජීවත්වන ද්‍රවිඩ ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් සපයා දිය යුතුව තිබෙනවා. අද මෙම ප්‍රදේශවල තිබෙන සංවර්ධනය කදුකර ප්‍රදේශවල දක්නට නැහැ. අප එම ගැටළුවලට කඩිනමින් විසඳුම් සෙවිය යුතුව තිබෙනවා. මෙම කාර්යයන් දෙකම අද ජීවන් තොණ්ඩමන් මැතිතුමා භාරගෙන ඉටුකරමින් සිටිනවා.

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය ආරම්භ කළේ 2013 වසරේදීයි. මෙම ප්‍රදේශවල ජනතාව පීඩාවිඳින වකුගඩු රෝගයට පිළියම් සොයමින් පිරිසුදු පානීය ජලය සපයා දිය යුතුව තිබෙනවා. අනිත් අතින් කෘෂිකර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය ජලය ද ලබාදිය යුතුයි.

2022 මම මේ ආණ්ඩුව භාර ගත්තේ ඒ සඳහා වෙන කිසිවෙකු ඉදිරිපත් නොවූ නිසා බව ඔබ දන්නවා. ඉන් පසුව විවිධ පක්ෂවල  සහාය ඇතිව අපි ආණ්ඩුවක් ඇතිකරගෙන රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ආවා. එවන් අසීරු තත්ත්වයකින් තමයි අප මෙය ආරම්භ කළේ.

රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් අප මේ වන විට බොහෝ වැඩකොටසක් සිදුකර තිබෙනවා. නමුත් අප තවම ණය බරින් නිදහස් වී නැහැ. ණය ගෙවීම  සඳහා සහනයක් ලෙස ණය ගෙවීමට තව වසර 20ක් ලැබෙයි. අපි කඩිනම් ආර්ථික පරිවර්තනයකට යොමු නොවුනහොත් ඒ ණය ගෙවන විට තව ණය ගැනීමට සිදුවෙනවා.

ඒ මූලික අවශ්‍යතා පිළිබඳ මට වඩා හොඳට 1917 රැසියානු විප්ලවයේ දී ලෙනින් මැතිතුමා ප්‍රකාශ කළා. එතුමා එම අවස්ථාවේ කොමියුනිට්ස්වාදය ගැන කතා කළේ නැහැ. Peace, Land, Bread යනුවෙන් පමණයි ප්‍රකාශ කළේ. වෙන මොකුත් කිව්වේ නැහැ. බලය ලබා ගැනීමෙන් පසු තමයි කොමියුනිට්ස්වාදය ඇති කළේ.

අපත් පළමුව කටයුතු කළේ  රට තුළ සාමය සහ ස්ථාවරභාවය ඇති කිරීමට. අද රට තුළ ස්ථාවරභාවයක් තිබෙනවා. ඒ වගේම නීතිය හා සාමය තිබෙනවා. ඕන කෙනෙක්ට ආණ්ඩුවට බනින්න පුළුවන්, පෙළපාළි යන්න පුළුවන්. එම ස්ථාවරභාවය අද ඇති කර තිබෙනවා.

.රට තුළ හොඳ ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි. ඒ වෙනුවෙන් කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සමඟ ජල කළමනාකරණය වඩා හොඳින් සිදු වෙනවා. ඒ වගේම නව බෝග හඳුන්වා දීම සිදු වෙනවා. රජ සමයේ වී වගා කළේ රටේ ජනතාවගේ ආහාර සඳහා පමණක් නොවෙයි. අප පෙරදිග ධාන්‍යාගාරයක් ලෙස සහල් අපනයනය කළා. අද අපට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ නොහැකි ඇයි. උතුරු මැදට ජලය ලබාදීමේ මෙම ව්‍යාපෘතිය ඉතා සුවිශේෂී කාර්යයක් බව කිවයුතුයි. ඒ වගේම මල්වතු ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා.

මෙම ජල ව්‍යාපෘති වගේම උතුරු මැද විදුලි බලාගාර ව්‍යාපෘති ඇති කිරීම පිළිබඳවත් අපේ අවධානය යොමුව තිබෙනවා.මෙම ප්‍රදේශයේ තාප බලය තිබෙනවා. ඒ වගේම උතුරේ සුළං බලය තිබෙනවා. එසේනම් අපට විශාල පුනර්ජනනීය විදුලි බලාගාරයක් බවට මෙම පළාත පත් කරන්න පුළුවන්. වැව්වල විදුලි බලාගාර ඇති කිරීම පිළිබඳ අප මේවන විට සාකච්ඡා කරමින් සිටිනවා. අපට මේ තුළින් විශාල ආර්ථික ශක්තියක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. රටේ නව ආර්ථිකයක් ඇති කර ජනතාවට හොද අනාගතයක් ගොඩනඟාදීම වෙනුවෙන් මම සියලුදෙනාගේ සහය ඉල්ලා සිටිනවා.

ජයිකා  සභාපති ටනකා අකිහිකෝ මහතාමෙම ජල ව්‍යාපෘතිය සඳහා යෙන් මිලියන 5,166 ක් ජපන් අරමුදල් සපයා තිබෙනවා.  ඒ වගේම මෙම ව්‍යාපෘතියෙන් රඹෑව සහ මැදවච්චිය ප්‍රදේශවල පවුල් 25,000 කට පමණ සෙත සැලසෙනවා.අද මෙම ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී විමට ලැබීම මට මහත් සතුටක්.

ඒ වගේම මෙම අනුරාපුර ඓතිහාසික පුරවරය දැක බලා ගැනීමට මට අද අවස්ථාව ලැබුණා. එය මම මහත් භාග්‍යයක් කොට සලකනවා. මෙම ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට කැපවීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයට මගේ ස්තුතිය පිරිනමනවා.

මේ උත්සවයේ දී ෂෙහාන් සේමසිංහ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජීව්න තොණ්ඩමන් යන රාජ්‍ය ඇමතිවරැ ද ජනතාව ඇමතූහ.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයකි, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්.චන්ද්‍රසේන, දුමින්ද දිසානායක,  ඉෂාක් රහුමාන්, එච්. නන්දසේන, උතුරු මැද පළාත් හිටපු මහා ඇමති එස්.එම්. රංජිත්, හිටපු අමාත්‍ය පී. හැරිසන්,ජපාන ජාත්‍යන්තර සහයෝගික ආයතනයේ   ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුයා, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග  යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.