ජගත් ගේ සතියේ සටහන - 127
ඔය කියන සංකල්ප පත්‍රිකාවක් ගැන මං නං දන්නේ නෑ - අධිකරණ ලේකම් අයේෂා ජිනසේන
ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට ආණ්ඩුව සූදානම්වමින් සිටින බවටත් ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට යන බවටත් සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය හා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු විවිධ සංවිධානවිසින් චෝදනා කරමින් එයට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කොට තිබෙනවා.
ජනපති ගෙන් සංකල්ප පත්‍රිකාවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ පිළිබඳව සංකල්ප පත්‍රිකාවක් පසුගිය සඳුදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කොට ඇති බවත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවසනවා.
වර්තමාන අග විනිසුරු ප්‍රීතිපද්මන් සුරසේන මහතාට තවත් වසර දෙකක සේවා දිගුවක් ලබාදීමේ අරමුණින් ආණ්ඩුව මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට යන බවයි විපක්ෂය හා නීතිඥ සංගමය පවසන්නේ.
අග විනිසුරුගේ සේවා කාලය වසර දෙකකින් දීර්ඝ කිරීමට යන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ලවා ආණ්ඩුවට අවශ්‍ය තීන්දු ලබා ගැනීමට බව විපක්ෂය නඟන ප්‍රධාන චෝදනාවක්.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවක් ඇති බව පවසමින් එයට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ හඬ නඟන සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්. පී. පෙරේරා මහතා පවසන්නේ විනිසුරුවරුන් විශ්‍රාම යාමේ වයස් සීමාව වැඩි කිරීම පිළිබඳ කාරණය පසුගිය ජනාධිපතිවරණයේ දී හෝ මහ මැතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල අන්තර්ගතව නොතිබුණු බවයි.
''ඒ වගේ ම අද වන තුරු ඒ ගැන පාර්ලිමේන්තුව තුළ විධිමත් ආකාරයකින් සාකච්ඡාවක් පවත්වල නැහැ. ශ්‍රී ලංකාවේ අලුත් නීති සම්පාදනය කිරීමේ දී රජයට යෝජනා කරන්න තියෙන ශ්‍රී ලංකා නීති කොමිසම කිසිම වෙලාවක මෙවැනි යෝජනාවක් සළකා බලා නැහැ. එසේම කිසිම විනිශ්චයකාරවරයෙක් පෞද්ගලිකව, කණ්ඩායමක් හෝ සංගමයක් හැටියට විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩි කළ යුතු බවට යෝජනා කරලත් නැහැ"
''එසේ තිබිය දී කිසිම සළකා බැලීමක් නැතිව සාධාරණ සාකච්ඡාවක් නැතිව දෙසැම්බර් මාසයේ මුල් සතියට කලින් විනිශ්චයකාරවරුන් ගේ සේවා කාලය දීර්ඝ කිරීම සඳහා වන යෝජනාවක් සම්මත කර ගැනීමේ උත්සාහයක් තිබෙන බවට අප තුළ බලවත් සැකයක් පවතිනවා" යැ යි ද අජිත්. පී. පෙරේරා මහතා ප්‍රකාශ කළා.
මෙම යෝජනාව සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කරන නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන මහතා ආණ්ඩුව විනිශ්චයකාරවරුන් ගේ සේවය දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙ එන්නේ නම් එය දෙසැම්බර් මාසයෙන් පසුව ගෙන එන ලෙස තමා ආණ්ඩුවට අභියෝග කරන බව පවසනවා.
මං නං දන්නෙ නෑ - අධිකරණ ලේකම් අයේෂා ජිනසේන කියයි
වර්තමාන අග විනිසුරුවරයා දෙසැම්බර් මාසයේ විශ්‍රාම යාමට නියමිත බවත් එබැවින් මෙම යෝජනාව ගැන හැම පැත්තෙන්ම අදහස් විමසා ජනවාරි මාසයේ ගෙන එන ලෙස තමා ඉල්ලා සිටින බවත්, ජනරංජන මහතා ප්‍රකාශ කළා.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ යෝජනාවක් ලැබී තිබෙන බවත්, ඇමති මණ්ඩලය විසින් එය අධිකරණ අමාත්‍යාංශයට යොමුකර ඇති බවත් ය.
මේ ගැන අදහස් දැක්වූ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනෙවිය,
''ඔය කියන විධියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සංකල්ප පත්‍රිකාවක් මෙතෙක් මම නම් ඇවිත් නැහැ. ඒ පිළිබඳව කරුණු වැඩිපුර කියන්න මම පෞද්ගලිකව දන්නෙ නැහැ. මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමෙන් සාකච්ඡාවක් තිබුණෙත් නැහැ. ඊට අදාළව කැබිනට් පත්‍රිකාවක් හදල මම නං ඇමතිතුමාට දුන්නේ නැහැ. නමුත් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විරුද්ධව ලිපි ඇවිත් තියෙනවා. ඒවා ඔක්කොම් මම ඇමතිතුමාට යොමු කළා" යැයි ප්‍රකාශ කළා.
මේ තත්වය යටතේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම පිළිබඳව කිසිදු ලියවිල්ලක් නිල වශයෙන් ප්‍රකාශයට පත්වී නැහැ.
මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ආණ්ඩුව යෝජනාවක් ගෙන එන්නේ නම් එය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ යුතු යි. ශ්‍රේෂ්ඨාධිකරණය එම සංශෝධනය පිළිගෙන එය පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට තීන්දු කළොත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ ඡන්ද 159 ක් තිබුණාට වැඩක් නොවනු ඇතැයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා.
ඒ කෙසේ වෙතත් විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව තවම නිල වශයෙන් ප්‍රකාශ වී නැතත් එය හේතුවක් කරගෙන විපක්ෂයේ එකමුතුවක් ඇති වී තිබෙනවා.
දහතුන් හවුරුද්දකට පසු රනිල් සජිත් එක මේසෙක
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනයෙන් විපක්ෂයේ පක්ෂ රැසක නායකයින් පසුගිය බ්‍රහස්පතින්දා විපක්ෂ නායක කාර්යාලයට රැස්වී අධිකරණයේ ස්වාධීනත්වය රැකගැනීම සඳහාත් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විරුද්ධවත් සාකච්ඡා පැවැත්වූවා.
මෙහි විශේෂත්වය වුණේ වසර 13 කට පසු සජිත් ප්‍රේමදාස මහතාත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් පළමු වරට එකම මේසයක සිට අදහස් පළ කිරීමයි.
ඔවුන් දෙදෙනාට අමතරව හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, සර්වජන බලයේ නායක දිලිත් ජයවීර, ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ජීවන් තොණ්ඩමන්, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ශානක්‍යයන් රාසමානික්කම්, කබීර් හෂීම්, පාඨලී චම්පික රණවක, දෙමළ කොන්ග්‍රසයේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, රවි කරුණානායක, දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, උදය ගම්මන්පිල, තිස්ස අත්තනායක, මනෝ ගනේෂන්, ජී. එල්. පීරිස්, පලනි දිගම්බරම්, අසංක නවරත්න, ටිරාන් අලස්, විමල් වීරවංශ හා මෛත්‍රී ගුණරත්න යන මහත්වරුන් ඇතුළු 40 ක පමණ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
රනිල්, සජිත්, නාමල් හා දිනේෂ් මුලසුනේ සිටි අතර මෙයට ආරාධනා ලැබ සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණ සිටියේ නැහැ.
සජිත්, රනිල්, සාගර කාරියවසම්, චම්පික රණවක, විමල් වීරවංශ ඇතුළු කිහිප දෙනකු මෙහිදී අදහස් දැක්වූ අතර විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ උත්සාහය පරාජය කිරීම සඳහා සියලු පක්ෂ ඒකාබද්ධව ක්‍රියාමාර්ග ගත යුතු බවත්, එයට සිවිල් සමාජය හා නීති වෘත්තිකයින් ද එක්කර ගැනීමට තීරණය වී තිබෙනවා.
එමෙන් ම මෙම කාරණය සඳහා පමණක් දේශපාලන මතිමතාන්තර පැත්තකින් තබා එකමුතුව වැඩ කිරීමට ද මෙයට සහභාගි වෟ සියලු පක්ෂ නායකයින් තීරණය කළ බව ද වාර්තා වෙනවා.
පැය දෙකක පමණ කාලයක් පැවති මෙම රැස්වීමෙන් පසු පිරිස විසිර ගොස් ඇත්තේ ආණ්ඩුවට එරෙහිව පොදු වෙඩි මුරයක් පත්තු කළ යුතු බවට ඇති කරගත් එකඟතාවයකින් පසුව බව එයට සහභාගි වූ නායකයෙක් අප හා ප්‍රකාශ කළා.
අනුර ආසනෙන් ආසනේට යයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ දිනවල ජාතික ජන බලවේගය ශක්තිමත් කිරීම පිණිස ආසනයෙන් ආසනයට යමින් ජාතික ජන බලවේගයේ සාමාජිකයින් හමුවීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කොට තිබෙන බව පැලවත්තේ පක්ෂ මූලස්ථානයෙන් වාර්තා වෙනවා.
මෙම රැස්වීම් ප්‍රසිද්ධ මහජන රැස්වීම් ලෙස නොව ජාතික ජන බලවේගයේ ඒ ඒ ආසනවල සාමාජිකයින්ගේ නිවෙස්වලට පාක්ෂිකයින් රැස්කර පවත්වන අතර මේ මාසයේ දී සාමාජිකයින් මතු කරන ප්‍රශ්න හා ආණ්ඩුවේ දේශපාලන ගමන් මඟ ගැන සාකච්ඡා කෙරෙන බව ද දැනගන්නට තිබෙනවා.
ආණ්ඩුවේ ඇමතිවරුන්ට පවා අධික කාර්ය බහුලත්වයක් නිසා නිතර දුරකථන ඇමතුම්වලට පිළිතුරු දෙන්නටත්, පාක්ෂිකයින් නිතර හමුවීමටත්, නොහැකි බව මේ රැස්වීම්වල දී පවසා ඇති ජනාධිපතිවරයා,
''අපි තමුන්නාන්සේලාට පොරොන්දු වූ වැඩ කොටස කරමින් ඉන්නවා. ජාතික ධනය කොල්ල කෑ අයට දඬුවම් දීමේ කටයුතු අධිකරණය මඟින් සිදුකෙරෙමින් පවතිනවා" යනුවෙන් ද සඳහන් කොට තිබුණා.
ජාජබ යෙන් 'වසම් සභා'
ජාතික ජන බලවේගයේ කටයුතු ශක්තිමත් ව හා වේගවත් ව කරගෙන යෑම සඳහා සෑම ආසනයකම ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙකකට එක් කොට්ඨාස සභාවක් බැගින් පිහිටුවා තිබු අතර දැන් ජනතාව වඩාත් පහසුවෙන් ප්‍රදේශයේ සංවර්ධන කටයුතුවලට සම්බන්ධ කර ගැනීමේ අරමුණින් එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයකට එක බැගින් 'වසම් සභා' නමින් සමිති පිහිටුවීමට ද ජාතික ජන බලවේගය පියවර ගෙන තිබෙනවා.
ඉදිරි මාස දෙක තුළ මෙම සභා පිහිටුවා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත්, ගම්මට්ටමේ සංවර්ධන කටයුතු පිළිබඳ යෝජනා ඉදිරිපත් කොට ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම මෙම වසම් සභාවලට පැවරෙන බවත්, පැලවත්ත ජවිපෙ මූලස්ථාන ආරංචි මාර්ග පවසනවා.
ලබන සැප්තැම්බර් මාසයට ජාතික ජන බලවේගය ආණ්ඩුවපිහිටුව වසර දෙකක් සම්පූර්ණ වන අතර ඒ නිමිත්තෙන් ඉදිරි කාලය තුළ වේගවත් සංවර්ධන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද ආණ්ඩුව සැලසුම් කොට තිබෙනවා.
සජබෙ නඟා සිටුවන්නට තිස්ස අත්තනායකගෙන් සැලැස්මක්
මේ අතර සමගි ජන බලවේගය ද පක්ෂය බිම් මට්ටමෙන් නගා සිටුවීම සඳහා පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා විසින් සකස් කොට ඇති සැලැස්මකට පසුගිය සතියේ පැවති සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලැබී ඇතැ යි ද වාර්තා වෙනවා.
සමගි ජන බලවේගයට සාමාජිකයින් දස ලක්ෂයක් බඳවා ගැනීම හා ගම් මට්ටමේ ඡන්දපොළ නියෝජිතයින් 12000 ක් යොදා ගෙන සැප්තැම්බර් මස 26 සහ 27 දිනවල ගෙයින් ගෙට ගොස් සාමාජිකයින් බඳවා ගැනීමට හා ඔවුන් දැනුවත් කිරීමට ද තිස්ස අත්තනායක මහතා ඉදිරිපත් කොට ඇති සැලැස්මට ඇතුළත් වෙනවා.
මෙයට අමතරව අගෝස්තු මාසයේ දින දෙකක් අනුරාධපුර දි
ස්ත්‍රික්කයේ ඡන්ද පොළ මට්ටමෙන් රැස්වීම් 600 ක් පැවැත්වීමට මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉදිරිපත් කළ යෝජනාවක් ද සජබ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී සම්මත වූ බව ද වාර්තා වෙනවා.

