දේශපාලන

අපේ අම්මලාගේ, ගැහැණුන්ගේ ගින්දර පාලකයින්ට දශමයකින්වත් දැනෙන්නේ නැහැ – සමන්මලී ගුණසිංහ

පේ දරුවන්ට, ගැබිණි මව්වරුන්ට සහ රටේ සියළුම ජනතාවට පටි තද කර ගන්න කියන පාලකයින් භුක්ති විඳින සුඛ විහරණ දශමයකින් හෝ අඩු කර නැති බවත්, අපේ පවුල්වල ගින්දර පාලකයින්ට නොදැනෙන බවත් ජාතික ජන බලවේගයේ කාන්තාවෝ සංවිධානය චෝදනා කරයි.

බත්තමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේදී අද (05) පෙරවරුවේ පවත්වන ලද මාධ්‍ය හමුවකදී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ මෙම චෝදනාව නැගීය.

එහිදී වැඩි දුරටත් ඇය පළ කළ අදහස් මෙසේය.

මේ වෙනකොට අපේ රටේ ජනතාවට තිබෙන ප්‍රධානම ප්‍රශ්නය දරාගත නොහැකි අන්දමේ බඩු මිල වැඩිවීමයි. පවුලේ ගෘහණියට, අපේ අම්මලාට බඩු මිල වැඩිවීමේ පීඩාව වැඩියෙන්ම දැනෙනවා. මුළු රටේම ඉන්න කාන්තාවන් මුහුණ දෙන පවුලේ ගින්දර පාලකයින්ට දශමයකින්වත් දැනේන්නේ නැහැ. 2024 අවුරුද්ද ලබද්දී සෑම කෙනෙකුටම දැනුනේ මහ භයානක ආර්ථික කඩාවැටීමක සේයාවක්. හෙට දවසේ ජීවත් වෙන්නේ කොහොමද, වැට් බදු බරට ඔරොත්තු දෙන්නේ කොහොමද කියන මහා කම්පනයක් සියලු දෙනාටම තිබුණේ. පත්තරේ එක පැත්තක අවුරුදු සුබ පැතුම් පළකර තිබුණත් අනෙක් පැත්තේ ජනවාරි පළමුවැනිදාම වැට් වදින හැටිත් තිබුණා. “භාණ්ඩ වර්ග 97කට අලුතින් වැට් ගහනවා, ඩීසල්, පෙට්්‍රල්, ගෑස්වලටත් වැට් වදිනවා. මේ නිසා උද්ධමනය වැඩිවෙනවා.” වැනි විවිධ මාතෘකාවලින් ප්‍රවෘත්ති පළවෙලා තිබුණා. අම්මලා නිරාහාරව සිටිමින් දරුවන්ට එක වේලක් හැර එක වේලක් හෝ කන්න දෙන්න පෙළඹේන්න තරම් පීඩාකාරී උද්ධමනයක් තිබෙන්නේ. දරුවන්ගේ දුක, කාන්තාවනගේ දුක, ජීවන බර, ආණ්ඩුවට, ඇමතිවරුන්ට තේරෙන්නේ නැහැ.

මිනිසුන්ගේ ආදායම රුපියලකින්වත් වැඩිවෙලා නැහැ. රජයේ සේවකයින්ගේ වැටුප රුපියල් 10000/-කින් වැඩිකරන බව කීවත් අනෙක් සියලු ජනතාව මත පටවන වැට්බදු බර දරාගන්නේ කොහොමද? 2024 අයවැය සම්මත කර ගන්න ඡන්දය දුන් මන්ත්‍රීවරුන් ගෙම්බන් වගේ පනින්න පටනගෙන තිබෙනවා. නමුත් ඔවුන් සම්මත කර දුන් අයවැය අනුව භාණ්ඩ හා සේවා මත මේ වර්ෂයේදී රුපියල් බිලියන 2235ක් අයකර ගන්න සූදානම් වෙනවා. මේ දක්වා 15%ක් වූ වැට් බද්ද 18% දක්වා වැඩිකර තවත් භාණ්ඩ හා සේවා 97ක් අලුතින්ම එකතු කර එක්වරම 18%ක බද්දක් ගැහීමෙන් මේ රුපියල් බිලියන 2235 එකතු කර ගන්න බලාපොරොත්තු වෙනවා. මේ බදු ගහන්නේ රටේ සංවර්ධනයට නොවෙයි.

ජනවාරි මාසයේ සිට එක පුද්ගලයෙකුට මාසයකට රුපියල් 38000ක ණය පොලී ගෙවීමට සිදුවී ඇති බව පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකොරාල පෙන්වා දී තිබෙනවා. අපි ගෙවන බදුවලින් මේ තරම් විශාල ණය පොලියක් ගෙවිමට සිදුවි තිබෙන්නේ සංවර්ධනයේ මුවාවෙන් ණය අරගෙන කොල්ලකෑම කළ නිසයි. රාජ්‍ය ආදායමෙන් 93%ක් බදු මගින් ලබාගන්න ආණ්ඩුව ක්‍රියාකර තිබෙනවා.

මේ විදිහට ආහාර ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මත බදු පනවමින් ජනතාවට කියන්නේ තණකොළ කන්නද? අපේ රටේ ජනතාව මත බදු ගහලා හෙම්බත් කරලා, පීඩාවට පත්කර, නිහඬකර තබන්න ආණ්ඩුව සූදානම් වුවත් ජනතාව ඊට සූදානම් නැහැ. ජාතික ජන බලවේගයේ කාන්තාවන් හැටියට ගම්නියම්ගම් කරා ගිහින් ආර්ථික ඝාතකයන් කවුද කියන එක ජනතාවට පැහැදිලි කරනවා. මේ බදු එකතු වුණාම අපේ රටේ මන්දපෝෂණයට, ගැබිණි මව්වරුන්ගේ නීරක්තියට මොකද වෙන්නේ? දරුවන්ගේ අනාගතය අනාරක්ෂිතයි. අපේ අම්මලාට පටිතදකර ගන්න කියන පාලකයන් සියලු සුඛ විහරණයන් බුක්ති විඳිනවා. දැන් අපිට කාලය ඇවිත් තිබෙන්නේ මේ ක්‍රමය වෙනස් කර, ආර්ථික ඝාතකයින්ට දඬුවම් දෙන්න. ආර්ථික ඝාතකයින් පිල් මාරුකර, ඇඳුම් මාරුකර බලයට එන්න සූදානම් වෙනවා. ඒ තත්වය වෙනස් කරන්න ගැහැණුන් ළඟ ඉතිරි වී තිබෙන්නේ ධෛර්යය විතරයි. මෙ ධෛර්යයෙන් අලුත් රටක ගොඩනඟන්න ජාතික ජන බලවේගය සමග එක්වන්න කියලා අපි ජනතාවට ආරාධනා කරනවා.