උණුසුම් පුවත්කාලීනවිශේෂාංගසාහිත්‍යය හා කලාව ආදරේ සේ දුක් දෙනා 2026-01-280 චම්මිගෙ හිතිවිලි නැත ලොවේ අන් බන්ධනා.......... දවස් තුන හතරක් තරහ වෙච්චම නෝනගේ මූණ වගේ වෙච්චි ආකහේ, ගෙට බටහිර දිශාවෙන් ඒ කියන්නේ 'ජොහන්ස්විල් ' දිශාවෙන් පේන අපූරු නිල්වන් වෘක්ෂලතා පිරුණු කඳුයාය , නාටකයට පෙරින් වසා තිබූ වේදිකාවක සුදුපාට තිරයක් මතක් කළා පසුගිය කිප දොහම. ඊයේ උදේ එහි ඵලාගමනය. ඒ කියන්නේ සරත් සම නාටකයේ Conflict එක .හොඳටම වැටුණු වැස්ස. සරත් සමයේ එතෙක් දුටු අව්ව වෙනුවට දැන් ආයෙත් සීත සෘතුවේ Winter shadows වැටෙන්න අරන්. කාලය ගුණ දේශය වෙනස් වෙලා. "රාජා භවතු ධම්මිකෝ"නැතුව ඇති මෙහෙත්. ඒක අපි වාගේ ආසියාතික රටවලින් ලබන ආදුරුශ වෙන්නත් පුළුවන් . කොහොම උණත් අද ඔප දැමූ විසල් වීදුරුවක් වගේ වටපිටාව . සිහින් දුම් වළාවෙන් වැසී තිබුණ අසල්වාසී වාසභවන් තමන් ඉන්නා බව කියමින් . කඳුයාය වසා තිබූ ශ්වේත පටලය දිය පාරක් ඇල්ලූ වීදුරුවකින් සිහින්වට වතුර ගලා බසින්නැහේ හෙමින් හෙමින් රූරා වැටෙමින්. වැසී යන්නට තරම් කාලයක් නොගත් තිරකඩ සීඝ්‍රගාමී වේගයෙන් නැතිවෙලා ගිහින් . ඒ සීඝ්‍රගාමී සේකරයන්ගේ 'අබිලීනු මාමා'ගේ සියුම් වේගය නොවේ. ගුණසේකර බස් රියදුරන් ඩීසල්වලට පැට්රල් දමා දුවන වේගය වගේ. මීදුම වගේ අමාරුවෙන් ඇතිවේලා රිදවලා ඉක්මනින් හැංගෙන දේවල් තවත් මොනවද කියා මට මතක් උනේ සරච්චන්ද්‍රයන්ගේ , "විලාසිනියකගේ ප්‍රේමය " ගැන කියද්දී එතුමන් සිය හදවත ඒ තුළට දමා අපි නමින් තමන්ගේම අයට පෙන්නූ අයුරු සිහිවෙලා. හෙට අනිද්දා කවුරු හරි පාදඩ සිතුවිල්ලක් තියෙන තවත් කෙනෙක්, මාටින් වික්‍රමසිංහයන් ට කීවා සේ "සරච්චන්ද්‍ර කියන්නේ මොකෙක්ද " කියා නාසා ඊට වඩා වැඩි දෙයක් කියන්නත් බැරි නෑ. ඒත් ඒකත් මං දකින්නේ නිරංජලාගේ "අසුබ දිනක ආ සුබ පැතුමක්" නැත්නම් වෙස්වලා ගත් ආශිර්වාදයක් විදියට. ඒකෙන් කියන්නෙ ඒ අභද්රයා කියුවෙ සුභද්රයක් කියා නොවේ. එක් අයෙක් හරි එතුමන් ගැන දැන ගත්තා කියා. ආයෙත් මං යන්න ආ මාවතට ආවොත්, ආදරය ගැන සරච්චන්ද්‍රයන් තරම් අපේ හදවත දැනුම්වත් කළ දේ තවත් කෙනෙක් කියා, ලියා ඇතිද මට මතක නෑ. ආදරයෙන් ලියා ඇති. මා කීවේ ආදරේ ගැන. අර මීදුම වාගේ නැත්නම් මේ දවස්වල ඇමෙරිකාව වසා ගත්තු හිම වරුසා වාගේ ආදරය දිය කර හරින්න පුළුවන් ද.? ඒත් මා දන්නා තරමින් අද ආදරය ඒ වගේ අමාරුවෙන් හරි පාසුවෙන් හෝ ඇතිවෙලා අමාරුවෙන් තොරව අයිස් වගේ ලිස්සා යන දෙයක් වෙලා. සනත් අය්යා අපේ හදවත් වලට රිංගා ගැයූ "ආදර සැමරුම් මත නෙතු කඳුළින් ගංගා තීරවල ගොඬ නැඟූ" ප්‍රේම මාළිගාවනුත් වෙලාවකට සුණු විසුණු වෙලා. ඒවාට වැඩිය දේවතාවියන් පවා පළා යනව. සමහරු කාලි අම්මලා වෙනවා. සමහරු දන්ත වෛද්‍යවරුන් වෙනවා. එහෙම වෙන්නේ ඇයි?මට ඒ ගැටලුව මතුවෙන හැම වෙලාවකම සරච්චන්ද්‍රයන්ගේ ඒ කියමන් මතක් වෙලා ලියවිලා ඇත්තේත් යළි යළි ලියවෙන්නේත් ඒ නිසා. මේ වත්මන් සමාජය සාංස්කෘතික මිනිසකු වීම හෝ කියවා ගැනීම හෝ නොදැකීම නිසා නොවේද මෙවන් පාදඩ දේ දකින්නේ අසන්නේ අපි? එවන් විටක එවන් ආදරණීය කියවීම් සමාජ කියවීම් බවට පත් වීමෙන් කුමන හෝ සෙතක් ඇති නොවේද? "පේමතෝ ජායති සෝකෝ " හි එතුමා කියන මේ දේ ආදරය හඳුනා ගන්නට ආදරයට ආදරය කරන්නට අපිට කියා නොදේද? "'ඈත සිට පිරිනමන භක්තිය ගෙනත් පාමුල තබන බුහුමන ඒ එකක් වත් නොවේ සෙනෙහස දිවා රෑ දෙක නෙතු සමීපේ දෑස ( තැනක දෑස වෙනුවට 'හද'.කියනව) නොපියා බලා ඉන්නා දේකි සෙනහස" (ළඟින් ඉන්නා දේකි ආදරේ කියලත් තියෙනවා මට මතක ලෙසින්) ඒත් මේ අපභ්‍රංශ කාර්මික සමාජයේ සමාජ මාධ්‍ය සත්තු වෙලා ඉන්නා මොහොතක හැම දෙයක්ම ක්ෂණික (Instant ) වෙලා. ඒ නිසා ආදරය එක ඇමතුමකින් සයනාරූඩ වීමක් බවට පත් වෙලා. අද ආදරය දෙහදක බැඳී ගිය සොඳුරුතම ඒකාත්මික බන්ධනයක් නොව මුදල් දී හෝ නොදී ගන්නා පාරිභෝගික මෙවලමක් වෙලා. මේකට නිදසුන් ගන්න පුළුවන් වෙන්නේ, නාලන්දා විදුහලින් පමණක් නොවේ. පන්සල් පල්ලි රාජ්‍ය පෞද්ගලික වගේම පාර්ලිමේන්තුවත් ඒකට හසු වෙලා. ඒ නිසා අද කුඩු හා පාතාලය නැති කරන්නට මෙන්ම සමාජ විනයක් හදන්නට නීතියට භාර දීමට පෙරින් තම තමන් සංයමයක් ,විනයක් , ස්වයං විධානයක් තබාගත යුතුය. එසේ වූ විටයි , 'විලාසිනියකගෙ ප්‍රේමය' නම් චම්පු කාව්‍යය අවසන සරච්චන්ද්‍රයෝ පවසන මේ දෙය ආදරය නම් වූ ඒ අපිරිමිත බන්ධනය ජීවිතයම සාර කරන දිව ඔසුවක් වෙන්නේ. “ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ රිසි වූ කෙනෙකුට පූජා කරන්ට ලෝබ නැතුව......" මම පුදමි මගේ හද පුරා ලෝභයෙන් රැස් කළ ආදරය කිසිදු වු ලෝභයකින් තොරව. සුවපත් දොහක්! චම්මින්ද වෙලගෙදර . 28-01-2026. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ Next Article ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වලටත් නළදරු පරීක්ෂණ පහසුකම්!