ජගත් ගේ සතියේ සටහන - 118

රොකට්ටුවක වේගයෙන් ඉහළ යන ඇමරිකානු ඩොලරය.....!
පසුගිය බ්‍රහස්පතින්දා (21) වැනිදා ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 354. 03 ක් දක්වාත් ගැණුම් මිල රුපියල් 342. 65 දක්වාත්ඉහළ යෑම නිසා මෙරට ආර්ථික හා දේශපාලන අංශ බලවත් කැළඹීකට පත්වුණා.
ඊට කලින් දිනයේ (20) රුපියල් 342 ක් ව පැවති ඇමරිකානු ඩොලරය පැය 24 ක් ඇතුළත රුපියල් 12 කින් ඉහළ යාම බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබුණා.
ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු ඩොලරය මේ තරම් ඉහළ අගයකින් වැඩිවුණේ අවුරුදු තුනකින්. එනම් 2023 මාර්තු 2 වනදාට පසුව යි.
දැනට මාස කිහිපයකට පෙර රුපියල් 306 – 309 ක් වැනි අගයක්ව පැවති ඇමරිකානු ඩොලරය ඒ දිනවල ඉහළ පහළ ගියේ ශත ගණනින්. පසුව එය රුපියලකින් පමණ ඉහළ යමින් තිබු නමුත්ඉකුත් 21 වැනිදා රුපියල් 12 කින් ඉහළ යාම මුල්‍ය අංශවල හා ව්‍යාපාරික අංශවල දැඩි කතාබහකට ලක්වී තිබෙනවා.
පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමරිකාව හා ඊශ්‍රායලය ඉරානයට පහර දීමෙන් ඇරඹි මැදපෙරදිග යුද්ධයෙන් ලෝක ආර්ථිකය උඩුයටිකුරු වූ අතර එය ශ්‍රී ලංකාවට ද තදින් ම බලපෑවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙරට ඉන්ධන මිල වැඩිවීමත් ඒ හේතුවෙන් ප්‍රවාහන ගාස්තු ඇතුළු භාණ්ඩ මිල ඉහළ යාමෙන් ජන ජීවිතයට අහිතකර බලපෑම් ඇති කළා. එමෙන්ම ඉහළ මිල ගණන් වලට ඉන්ධන මිලදී ගැනිමට සිදුවීම නිසා මහ බැංකුව සතු විදේශ සංචිත ද පහත වැටුණා.
මේ තත්වය සමනය කිරීම සඳහා මහබැංකුව සතු ඩොලර් සංචිත වෙළඳ පොළට මුදා හැර රුපියල අවප්‍රමාණ වීම වළක්වා ගැනීමට දැඩි උත්සාහයක් ගත් නමුත් එය සාර්ථක වුණේ නැහැ. අන්තිමේ දී මහබැංකුව ඩොලර් සංචිත මුදා හැරීම අත්හිටවීම්ත් සමගයි මෙසේ ඇමරිකානු ඩොලරය එක්වරම විශාල ලෙස ඉහළ ගියේ.
මේ තත්වය සැලකිල්ලට ගත් විපක්ෂය පසුගිය බ්‍රහස්පතින්දා සවස සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ දී රැස්වී සාකච්ඡා කොට තිබෙනවා.
ආර්ථික අර්බුදය ගැන කතා කරන්න සර්ව පාක්ෂික සමුළුවක්
රටේ පවතින අාර්ථික අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලා සිටීමට තීරණය වූ බවයි වාර්තා වෙන්නේ.
ඒ හැර මෙම ආර්ථික අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටීමට ද මෙහිදී පක්ෂ නායකයින් තීරණය කොට තිබෙනවා.
මේ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිකුරාදා උදෑසන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දුරකථනය මඟින් සම්බන්ධ කර ගනිමින් ඉදිරි දින කිහිපය තුළ සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීඹට කටයුතු කරන ලෙස ඉල්ලා සිටි බවත්, එයට ජනාධිපතිවරයා සාධනීය ප්‍රතිචාරයක් දක්වා ඇති බවත්, සමගි ජන බලවේගයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. එහෙත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමා මඩකළපුවේ උත්සවයකට සහභාගි වී සිටින බවත්, කොළඹ පැමිණි පසු, මේ ගැන පිළිතුරක් දෙන බවත් යැ යි ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසනවා.
සර්ව පාක්ෂික සමුළුවක් පවත්වන ලෙද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය වූ විපක්ෂ නායක කාර්යාලයේ බ්‍රහස්පතින්දා සවස පැවති රැස්වීමට ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, රවි කරුණානායක, රංජිත් මද්දුම බණ්ඩාර, හර්ෂණ රාජකරුණා, එස්. එම්. මරික්කාර්, එම්. ඒ. සුමන්දිරන්, රාවුෆ් හකීම්, රෝහිත අබේගුණවර්ධන, අනුරාධ ජයරත්න, මුජිබර් රාහුමාන්, යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වී තිබෙනවා.
මේ අතර විපක්ෂයේ ඉල්ලීම පරිදි ආර්ථික අර්බුදය ගැන සාකච්ඡා කිරීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එකඟ වී ඇතැයි ඉරිදා ජාතික පුවත් පතක් සිය ප්‍රධාන පුවත ලෙස වාර්තා කොට තිබුණා.
විපක්ෂය රටේ ආර්ථික අර්බුදයක් ඇති බව ප්‍රකාශ කළ ද මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත මහතා සිකුරාදා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ රටේ ආර්ථික අර්බුදයක් නොමැති බව යි. ඩොලරය ඉහළ ගිය පමණින් එය ආර්ථික අර්බුදයක් ලෙස හැඳින්විය නොහැකි බව පැවසූ ඒ මහතා මේ වන විට ඉන්දීය රුපියල 6. 4% කින්, නේපාලය 6. 2% කින් ඉන්දුනිසියාව 5. 2% කින් අවප්‍රමාණය වී ඇතත් ශ්‍රී ලංකාවේ රුපියල අවප්‍රමාණය වී ඇත්තේ 4. 8% කින් බව ද පෙන්වා දුන්නා.
මෙහිදී තවදුරටත් කරුණු දැක්වූ ආචාර්ය අනිල් ජයන්ත මහතා, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව මැයි 27 දා රැස්වෙන බවත්, එහිදී ශ්‍රී ලංකාවට ලැබෙන 5 හා 6 වැනි ණය වාරික වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700 ක් ලැබෙනු ඇතැ යි ද ප්‍රකාශ කළා. ඒ හැර ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 750 ක් හා එයට අනුබද්ධ තවත් ආයතනයකින් ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් ලැබෙන බව ද නියෝජ්‍ය ඇමතිවරයා තවදුරටත් කියා සිටියා.
මෙම මුදල් ලැබුණු පසු රුපියල කඩා වැටීම නවතිනු ඇතැ යි ද ඔහු ප්‍රකාශ කළා.
එසේ වුවද යුද්ධය තවත අවසන් වී නොමැති නිසා ඉන්ධන මිල තවදුරටත් ඉහළ යාම, භාණ්ඩ ආනයනයේ දී නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු වැඩිවීම, සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම පහත වැටීම නිසා ඉදිරියේ දී තව දුරටත්, භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම නොවැළැක්විය හැකිවනු ඇතැ යි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.
මාස හතරකට වාහන 178000 ක් ගෙන්නලා වියදම ඩොලර් බිලියන 2 යි
මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසියක් අනුව පසුගිය ජනවාරි මාසයේ සිට මෙරටට රථ වාහන ආනයනය කිරීමත් සමඟ රජය අවසර දීමත් සමඟ වාහන විශාල වශයෙන් රට තුළට ගලා ඒමට පටන් ගත්තා. ඉකුත් ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ මෙසේ ගෙන්වන ලද වාහන සංඛ්‍යාව 178000 ක් බව මහ බැංකුවේ සංඛ්‍යා ලේඛනවල දැක්වෙනවා. මේවා ආනයනය කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන දෙකකට අධික මුදලක් වැයවී ඇතැ යි ද එම සංඛ්‍යා ලේඛනවල සඳහන් වෙනවා.
ඇමරිකානු ඩොලර් බිලියන 7 ක විනිමය සංචිතයක් තිබෙන ශ්‍රී ලංකාවෙන් බිලියන 2 ක මුදලක් පිටරටට ඇදීයාම බරපතල කරුණක්. රුපියල අවප්‍රමාණ වීමට ද එය යම් තරමකින් බලපෑවා.
මේ නිසා මුදල් අමාත්‍යාංශය මැයි 15 වැනි දා චක්‍රලේඛයක් නිකුත් කරමින් 2026 මැයි 15 වැනිදාට පසු වාහන ගෙන්වීම සඳහා ණයවර ලිපි නිකුත් කරන්නේ නම් 15% ක අධිභාරයක් මාස තුනක කාලයකට අයකරන බව ප්‍රකාශ කොට තිබුණා.
එහෙත් පසුගිය සතියේ විපක්ෂය ප්‍රකාශ කළේ එම අධිභාරය පි ළිබඳ චක්‍රලේඛය නිකුත් කෙරන බව කල්තියා දැනගත් ආණ්ඩුවේ ගජමිතුරු සමාගම් මැයි 15 වැනිදා වාහන ආනයනය සඳහා විශාල ලෙස ණයවර ලිපි නිකුත් කොට ඇති බව යි.
ආණ්ඩුවට හිතවත් බව කියන කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුත් හේලීස් සමාගම වාහන 800 ක් සඳහා මැයි15 වනදා ණයවර ලිපි විවෘත කොට ඇති බවත්, තවත් එවැනි සමාගමක් විසින් වාහන 4000 ක් ගෙන්වීමට ණයවර ලිපි නිකුත් කොට ඇති බවත් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
එහෙත් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමතිආචාර්ය අනිල් ජයන්ත මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ මැයි 15 වැනිදා ණයවර ලිපි විවෘත කර ඇත්තේ වාහන 1782 ක් සඳහා පමණක් බවයි. එම වාහන වලින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි හා ත්‍රීරෝද රථ බවත් ඔහු පැවසුවා.
නමුත් විපක්ෂය පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටත මාධ්‍ය හමුවලදීත් මෙම වාහන 4000 චෝදනාව දිගට ම කරගෙන ගියා.
මේ අතර මුදල් ඇමතිවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව මැයි 17 වැනිදා දාතමින් නිකුත් කොට ඇති රේගු නිවේදනයක දැක්වෙන්නේ 2026 මැයි 14 වනදා සහ 15 වනදා වාහන වල කාණ්ඩය හා විස්තර ඇතුළත් නොකොට තොග වශයෙන් විවෘත කොට ඇති ණයවර ලිපි මඟින් ගෙන්වනු ලබන වාහනවලට 50% ක අධිභාරය අදාළ බව යි.
ප්‍රධාන පෙළේ වාහන ආනයනයකරුවකු වන ජෝන් කීල්ස් හා ඔටෝමොබයිල් සමාගම ද මේ ගැන ඊයේ නිවේදනයක් නිකුත් කොට තිබුණා. එහි සඳහන් වුණේ තම සමාගම 2026 අප්‍රේල් මාසයෙන් පසු වාහන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කොට නොමැති බව යි.
මේ තත්වය යටතේ අධිභාරය පැනවීමෙන් පසු එහි අන්තිම දිනයේ ආණ්ඩුවට හිතවත් මහා පරිමාණ සමාගම් වාහන සඳහා ණයවර ලිපි 4000 ක් නිකුත් කොට ඇති බවට දේශපාලන වාසි සඳහා විපක්ෂය කළ ප්‍රකාශය බොරුවක් බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා.
මේ අතර ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුකොට ගෙන ලබන මාසයේ දී තවත් වරක් තෙල් මිල වැඩි කරනු ඇතැ යි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

