පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය (CLA) පෙන්වා දෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තෝරාගත් කොටසක් සංශෝධනය කිරීම එහි ගෞරවනීයත්වයට හානි කළ හැකි
ස්ථාවර නියෝග 27/ 2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගෙන් අද (18) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නවලට දෙන ලද පිළිතුරු පත්‍රය බෝ දිගු ය. ඒවා හෙළදිව පාඨකයින් වෙත අපි මෙසේ ළං කරන්නෙමු
''මුලින්ම කියන්න ඕන. මවන තරම් යකෙක් මෙතන නැහැ. තොරතුරු විකෘති කිරීමෙන්, තොරතුරු අඩුවෙන් ලබාදීමෙන් නොයෙකුත් සංවිධාන විසින් යම් අන්තර්ජාතික සහ දේශිය පාර්ශවකරුවන් නොමග යවා තිබෙනවා. ඒ නිසා තමයි මේ කියන තරම් යකෙක් නිර්මාණය කරන්නේ.
1. 2025.12.31 දිනට මෙරට අධිකරණයන්ගේ විනිශ්චය කිරීමට ඉතිරිව ඇති නඩු සංඛ්‍යාව අධිකරණ දුරාවලිය අනුව පිළිවෙලින් වෙන් වෙන් දක්වන්නේද?
31.12.2025 වන විට පවතින නඩු
අධිකරණවල පවතින නඩු
මහේස්ත්‍රාත් අධිකරණ
753,093
දිස්ත්‍රික් අධිකරණ
263,472
අපරාධ මහාධිකරණ
28,134
සිවිල් අභියාචනා මහාධිකරණ
6,763
වාණිජ මහාධිකරණ
4,302
අභියාචනාධිකරණ
5,038
ශ්‍රේෂ්ඨාධිකරණය
4,724
එකතුව
1,065,526
2. ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපතිතුමන් වෙත යොමු කළ ලිපියෙන් පෙන්වා දෙන්නේ, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ මහජන විශ්වාසය රඳා පවතින්නේ අධිකරණයේ සැබෑ ස්වාධීනත්වය මත පමණක් නොව, එය කිසිදු සැකයකින් තොරව මහජනතාව හමුවේ විද්‍යමාන වීම මත බවත්, විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහල නැංවීම මගින් එම ස්වාධීනත්වයම මුලිනුපුටා දැමීමට හේතුවිය හැකි බවත්ය. රජය මේ අදහසට එකඟ වන්නේද? එසේ නොවේනම්, ඒ මන්ද?
එකඟ නොවේ.
ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපතිතුමන් වෙත යොමු කරන ලද ලිපියේ අන්තර්ගතය මෙම අමාත්‍යාංශය වෙත ලබා දී නොමැත. ඒ අනුව එම ලිපියේ අන්තර්ගතයේ කුමක් පිලිබඳව සඳහන් වන්නේද යන්න සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කළ නොහැක.
කෙසේ වෙතත් 2026.08.03 වන දින මමත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමත් මහානායක හිමිවරුන් බැහැදැකීමට ගිය අවස්ථාවේ දී උන්වහන්‍සේලාගේ සාකච්ඡා වලින් පැහැදිලි වූයේ මෙම සංශෝධනයන් පිළිබඳව නිවැරදිම තොරතුරු උන්වහන්සේලා වෙත නොලැබී තිබුණු බවයි. එනම් උන්වහන්සේලා අදහස් කරගෙන සිටියේ මෙම සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් පමණක් අරමුණු කරගෙන කරන ලද සංශෝධනයක් ලෙසයි. මේ වයස වැඩිකිරීම සමස්ත අධිකරණ ප්‍රතිසංස්කරණවල කාර්යක්ෂම ක්‍රියාලියේ කොටසක් බවට හා මෙය සියලු විනිසුරුවරුන්ට කරන බවට උන් වහන්සේලාට අවබෝධයක් තිබුණේ නැහැ. උන් වහන්සේලාටත් කවුරු හරි භාගෙට තොරතුරු ලබා දුන්නා. ඒ නිසා උන් වහන්සේලාටත් මතයක් ගන්න වෙන්නේ වැරදි විදිහටයි. පසුව මෙය සමස්ත අධිකරණ ක්‍රියාවලියේම ප්‍රතිසංස්කරණවල කොටසක් බවත්, සියලුම විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස් සීමාවන් ඉහළ දමන බවත් හේතු කරුණු සහිතව පැහැදිලි කිරීමෙන් පසු උන්වහන්‍සේලා මා වෙත දන්වා සිටියේ රටේ ජනතාවට සුදුසු, අවශ්‍ය දෙයක් කිරීම සඳහා ඔවුන්ගේ විරෝධතාවයක් නොමැති බව යි.
තව ද, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම කිසිඳු ආකාරයකින් අධිකරණයේ ස්වාධීනත්වයට කිසිඳු බලපෑමක් නොවන අතර, මෙය හුදෙක් තෝරා ගත් විනිසුරුවරුන්ගේ වයස් සීමාව ඉහළ දැමීමක් නොවේ. මෙම සංශෝධනය මඟින් සියලු උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ මෙන්ම අනෙකුත් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමක් සිදුවේ.
3. එක්සත් ජාතීන්ගේ විනිසුරුවන්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ දූත නිලධාරියා පෙන්වා දෙන්නේ, මින් ප්‍රතිලාභ ලබන විනිසුරුවන් විසින්ම මෙම සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය 121 වගන්තිය යටතේ තීරණය කිරීමට සිදුවීමේදී ඒ තුළ බැඳියාවේ ගැටුමක් (conflict of interest) ඇතිවීමේ අවදානමක් මතුවන බවයි. රජය මේ අදහසට එකඟ වන්නේද? එසේ නොවේ නම්, ඒ මන්ද?
එකඟ නොවේ.
එක්සත් ජාතීන්ගේ විනිසුරුවරයන්ගේ හා නීතිඥවරුන්‍ගේ විශේෂ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ දූත නිලධාරියාගේ ලිපියක් මා වෙත ලැබී ඇති අතර එහි අන්තර්ගතය අනුව ද ඔවුන් සතුව වඩාත් නිවැරදි තොරතුරු පවතින්නේ දැයි ගැටළු සහගත තත්වයක් පවතී. ඔවුන්ටත් තොරතුරු ලබාදී තිබෙන්නේ ඉහළ අධිකරණවල විනිසුරුතුමන්ලාගේ වයස් සීමාව වැඩි කිරීම සම්බන්ධයෙනුයි.
මක්නිසාද ඔවුන් ද අදහස් කරන්නේ මෙම සංශෝධනයෙන් ඉහළ අධිකරණවල විනිසුරුවරුන්‍ගේ පමණක් විශ්‍රාම යාමේ වයස් සීමාවන් වැඩිවන බවයි. කෙසේ වෙතත් මේ වන විට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම විශේෂ දූත නිලධාරියා වෙත අදාල සියළුම කරුණු දැක්වීමට කටයුතු කරන අතර ඉදිරියේ දී එය එම නිලධාරියාට ලැබීමට සලස්වනු ඇත. එමෙන්ම මෙහි සඳහන් කර ඇති බැඳියාවේ ගැටුමක් නිර්මාණය වන බව ද පිළිගත නොහැකි කරුණකි. පනතක නීත්‍යානුකූලභාවය තීරණය කිරීමට ව්‍යවස්ථාවේ 121 සිට 125 දක්වා වගන්තිවලින් දී තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. ඒක මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පුද්ගලික නඩු කටයුත්තක් නොවෙයි. ලබැඳියාවන් අතර ගැටුම් සම්බන්ධයෙන් විනිශ්චිත නඩු තීන්දුවල පැහැදිලිව උදාහරණ ලෙස දී තිබෙනවා. ලබැඳියාවන් අතර ගැටුම් වෙන්නේ කුමන ආකාරයේ ඒවාද කියලා. යම් හෙයකින් සමස්ත අධිකරණයේ නොමැතිව පුද්ගලයෙක් තෝරා ගෙන කරනවා නම් ඔය කියන කථාව ඇත්ත වෙන්න පුළුවන්. ඒ නිසා ලබැඳියාවන් අතර ගැටුම කියන නීතිමය සංකල්පය පිළිබදව අවබෝධය තිබුණා නම් මෙතන එහෙම වෙන්නේ නැහැ. මීට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ශ්‍රේෂ්ඨාධිකරණයම ඇති තරම් අහලා තියෙනවා.
4. පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය (CLA) පෙන්වා දෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තෝරාගත් කොටසක් සංශෝධනය කිරීම එහි ගෞරවනීයත්වයට හානි කළ හැකි බවත්, එවැනි ප්‍රතිසංස්කරණයකට පෙර ප්‍රමාණවත් මහජන හා පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් අවශ්‍ය බවත්ය. රජය මේ අදහසට එකඟ වන්නේද? එසේ නොවේ නම්, ඒ මන්ද?
පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය අධිකරණ අමාත්‍යාංශ වෙත ලිපියක් යොමු කර නොමැති අතර ඒ අනුව එහි අන්තර්ගතයන් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට හැකියාවක් නොමැත. ව්‍යවස්ථාව යනු පූජනීය ලියවිල්ලක් වුවද, එය නීතියේ මුදුන් මල්කඩ වුව ද එය සමාජ අවශ්‍යතාවයන්, රටේ අවශ්‍යතාවයන් අනුව වෙනස් කළ හැකි ලේඛනයකි.
නමුත්, එය එසේ සිදු කිරීමේදී ව්‍යවස්ථාව වෙනස් කරන ක්‍රමය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන පවතින බැවින් ඊට අනුකූලව සංශෝධන ඉදිරිපත් කිරීම මඟින් ව්‍යවස්ථාවේ ගෞරවයට හානියක් වන බව පිළිගත නොහැක. එමෙන්ම මෙම සංශෝධනය ගෙන ඒම පිළිබඳව දිගු කාලයක සිට සාකච්ඡාවක් පැවැති බවත් මෙම සංශෝධනය ගෙන ඒම සඳහා අවශ්‍ය ප්‍රමාණයේ තොරතුරු කැබිනට් මණ්ඩලය සතුව පැවතුණු බවත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු වූ බවත් සඳහන් කරන අතර, මෙම ප්‍රතිපත්තිමය තීන්දු කැබිනට් මණ්ඩලය ගත යුතු බවත් ඊට අදාළ සියලුම කටයුතු ජනතා වරම අනුව සිදුවන බවත් වැඩිදුරටත් සඳහන් කරමි.
5. LAWASIA සංවිධානයට අනුව, මෙම යෝජනාව ප්‍රමාණවත් පූර්ව මහජන සාකච්ඡාවකින් හා උපදේශනයකින් තොරව ක්ෂණිකව ගෙන එනු ලබන පක්ෂග්‍රාහී ක්‍රියාමාර්ගයක් ලෙස පෙනී යාමේ අවදානම ඇති බවත්, එය අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය බිඳ දැමිය හැකි බවත්ය. රජය මේ අදහසට එකඟ වන්නේද? එසේ නොවේ නම්, ඒ මන්ද? එකඟ නොවේ.
Law Asia සංවිධානය විසින් අප අමාත්‍යාංශයට ලිපියක් යොමු කර නොමැත.
මෙය 2016, 2017 යන කාලයේ සිට නීතිඥ ක්ෂේත්‍රය තුළ සාකච්ඡාවට බදුන් වූ කරුණකි. කිසිසේත්ම ක්ෂණිකව ගෙනෙන ලද සංශෝධනයක් නොවේ. තව ද, මෙය කිසිදු ආකාරයක පක්ෂග්‍රාහී ක්‍රියාමාර්ගයක් ලෙස නිර්වචනය කළ නොහැක. මක්නිසා ද, මෙමඟින් තෝරා ගත් විනිසුරුවරයකුගේ හෝ විනිසුරුවරුන් කණ්ඩායමකගේ විශ්‍රාම වයස වැඩි නොකරයි. මෙමඟින් අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය බිඳ දැමීමක් සිදු නොවන අතර මෙම විශ්‍රාම වයස සංශෝධනය කිරීම අධිකරණ ප්‍රතිසංස්කරණය කිරීම එනම් නඩු ඇසීම කාර්යක්ෂම කිරීම සඳහා ගෙන එන්නා වූ පුළුල් වැඩ පිළිවලේ එක් කොටසක් වන බැවින් මෙය කෙරෙහි ජනතා විශ්වාසය වැඩි වනු ඇත.
6. ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පෙන්වා දෙන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම 2022 SC SD 64/71-2022 විශේෂ තීරණයේ දී, දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමට අදාළ ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අධිකරණ ස්වාධීනත්වයට බලපාන අතර, ජනතාවගේ ජනමත විචාරණයක් අවශ්‍ය බව නියම කරන 3 වැනි ව්‍යවස්ථාව උල්ලංඝනය කරනු ඇති බවත්ය. රජය මේ අදහසට එකඟ වන්නේද? එසේ නොවේ නම් ඒ මන්ද?
රජය විසින් මෙම පනත ගෙන ඒමේ කිසිදු හදිස්සියකින් තොරව ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව සිදු කර ඇත .සියල්ල අප ව්‍යවස්ථානුකූලව සිදු කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාමට තීරණය කරන්නේ නම් අප ජනමත විචාරණයකට යෑමට සූදානම්. ජනමත විචාරණයක් පවත් වන්නේද යන කාරණාව 83 වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ක්‍රියා කිරීමට රජය හා සියලු දෙනා බැදී සිටිනවා.
7. ප්‍රංශයේ ජාතික නීතිඥ කවුන්සිලය (CNB) විසින් 2026 ජූලි 3 දින සම්මත කළ යෝජනාව මගින්, ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර නීතිය හා අධිකරණ ක්ෂේත්‍රයේ වර්ධනය වෙමින් පවතින ද්විපාර්ශ්වික වෘත්තීය සහයෝගිත්වයන්ට, විශේෂයෙන් නීතිඥ සංගම් අතර යෝජිත අවබෝධතා ගිවිසුම් වැනි වැඩසටහන්වලට ද බලපෑම් ඇති කළ හැකි බව පෙන්වා දී තිබේ. රජය මෙම තත්ත්වය පිළිබඳ එකග වන්නේද?නොඑසේනම්, ඒ මන්ද? එකඟ නොවේ.
ප්‍රංශයේ ජාතික නීතිඥ කවුන්සලය විසින් අධිකරණ අමාත්‍යංශ වෙත ලිපියක් ඉදිරිපත් කර නොමැත. ඒ අනුව එහි අන්තර්ගතය පිළිබද කරුණු දැක්වීමට හැකියාවක් නොමැත. කෙසේ වෙතත් නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් රටේ ව්‍යවස්ථාවට යටත්ව සියළුම නීත්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුකූලව රටක නීතියක් හෝ නව නීතියක් ගෙන ඒම එම රාජ්‍යයේ සෛවරී අයිතියයි. එය මහජනතාවගේ අභිලාෂයයි. නීත්‍යානුකූලව මහජන අභිලාෂ මෙහෙයවන රජයකට ඔබගේ ප්‍රශ්නයේ සඳහන් කරන ආකාරයේ ද්විපාර්ශ්වික වෘත්තිය සහයෝගීතාවයන්ට අගතියක් වේ යැයි සිතිය නොහැක.
8. මෙරට අධිකරණ විනිශ්චයකරුවන්ගේ වයස දීර්ඝ කිරීම මගින් නඩු කටයුතු ඉක්මන් කිරීම සිදුවේ යන්න රජයේ ස්ථාවරයද? නැතහොත් ඒ සම්බන්ධයෙන් රජයේ ඇගයීම කෙබඳුද?
විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමෙන් ම පමණක් අධිකරණ පද්ධතියේ නඩු ඇසීම කාර්යක්ෂම වේ යැයි යන්න රජයේ ස්ථාවරය නොවේ. එය කිසිසේත්ම අපි මුල සිට ප්‍රකාශ කර නැහැ. අපි කියන්නේ පුර්ණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් යටතේ එය සිදු වන බවටයි. පරිණත අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරුන් තබා ගැනීම අනෙකුත් ප්‍රතිසංස්කරණ කටයුතු සමග සම්බන්ධව වු විට අධිකරණයේ කාර්යක්ෂමතාවය තවත් වැඩි වෙනවා. උදාහරණයක් ලෙස මේ වන විට කොළඹ නව අධිකරණ 07 ක් හා කොළඹින් බැහැරව නව අධිකරණ ගණනාවක් පිහිටුවා තිබෙනවා. මේ වන විට පුරප්පාඩු 2647 ක් බඳවා ගැනීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර ගෙන යනවා. තවත් දහසක් එක් දහස් දෙසීයක් අතර සංඛ්‍යාවක් බදවා ගැනීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරමින් ඉන්නවා. ඒ මෑත ඉතිහාසයේ අධිකරණවලට බඳවා ගන්නා වැඩිම සංඛ්‍යාවයි. මේ දේවල් කරන්නේ නඩු කල්යාම වළක්වා ගැනීමටයි. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට 70 කට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගෙන තිබෙනවා. නව යන්ත්‍ර සුත්‍ර ගේනවා. ඒ වගේම e court ව්‍යාපෘතිය අභියාචනාධිකරණයේ ආරම්භ කළා. එය දැන් පහළ උසාවිවලටත් යනවා. රස පරික්ෂක වාර්තා හත් දහසක් පමණ මසකට නිකුත් කිරීම ඉලක්කයයි.
රජයේ ස්ථාවරය වන්නේ පූර්ණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ගොඩ නැගීමයි. එනම් නව උසාවි පිහිටුවීම, එම උසාවිවලට අළුත් විනිශ්චයකාරවරුන් බඳවා ගැනීම, එමෙන්ම එම උසාවි වලට අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගැනීම සිදු කිරීම, රස පරීක්ෂණ වාර්තා ප්‍රමාදයට පියවර ගැනීම, E-Court ව්‍යාපෘතියට අනුව අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ කාර්යක්ෂම කිරීමයි.
තව ද, E-Court ව්‍යාපෘතිය අනෙකුත් අධිකරණ වලට ව්‍යාප්ත කර එම අධිකරණ කාර්යක්ෂම කිරීමත්, නීතිපති දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමත් යනාදී සියලුම කරුණු සහ අප විසින් ගෙන එන ලද නව පනත් හා සංශෝධිත පනත් විශේෂයෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහයට ගෙන එන ලද සංශෝධනයක් වන මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සාක්ෂි දීම දැක්විය හැකියි. නඩු කටයුතු ඉක්මන් කිරීම යනු සමස්ත අධිකරණ පද්ධතියේම සිදුකරන්නා වූ ප්‍රතිසංස්කරණයකි. එම ප්‍රතිසංස්කරණයේ එක් කොටසක් වනුයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමයි. සමස්ත අධිකරණ ප්‍රතිසංස්කරණය කිරීමට අත්දැකීම් බහුල, පරිණත විනිසුරුවරුන් සිටිය යුතු වේ. එසේ හෙයින් විශ්‍රාම වයස දීර්ඝ කරනු ලබයි. අපේ රජය බලයට ඒමේ මහජන අභිලාෂයක් තිබුණා. උසාවිවල ජනතාව රස්තියාදු වෙන්න බැහැ. දුෂිතයින්ට වංචනිකයින්ට දඬුවම් ලබා දිය යුතුයි. ජනතාව නඩුවලදී අධිකරණවල අවුරුදු දහය පහළොව රස්තියාදු වෙනවා. අපි මේ ආණ්ඩුව පටන් ගත් දා සිටම බඳවා ගැනීම් ආරම්භ කළා. ඒ නිසා ඔය මවන යක්කු මේකේ නැහැ. නීතිය විනාශ කරන්නේ නැතිව තමන්ගේ දේශපාලනය වෙනම කරන්න.
විපක්ෂ නායකවරයා විසින් අසන ලද අතුරු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙන ලදී.
ප්‍රශ්නය -
මහානායක ස්වාමීන් වහන්සේලා විසින් ඔබතුමන්ලා කළා යැයි කියන පැහැදිලි කිරීම කළා නම් උන් වහන්සේලා තමන් විසින් එවන ලද ලිපිය ඉල්ලා අස් කර ගන්න ඕන එහෙම කළේ නැහැ. ඒ වගේම රස පරීක්ෂක වාර්තා ලබාදීමේ විධිමත් ක්‍රමවේදයක් ගැන පිළිතුරක් ඔබතුමා ලබා දුන්නේ නැහැ. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අධිකරණ විනිසුරුතුමන්ලාගේ විශ්‍රාමයාමේ වයස වැඩි කිරීම ක්‍රියාත්මක කරනවා . ඒ තුළින් මේ අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කරනවා කියලා ඒ ප්‍රතිපත්ති මාලාමේ කොයි පිටුවේද සඳහන් කර තිබෙන්නේ .
පිළිතුර -
අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පඩි වැඩි කරනවා කියලත් නැහැ. නමුත් අපි පඩි වැඩි කළා. අධිකරණය කාර්යක්ෂම කිරීමට ගන්න ඕන පියවර සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපි ආරම්භයේම ලියනවා. නමුත් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එකින් එක ලියන්නේ නැහැ. මේ හැමෝගෙම විශ්‍රාම යාමේ වයස වැඩි කරන්නේ පරිණතභාවය තබා ගන්නයි. ව්‍යවස්ථාව අනුව පනතක ව්‍යවස්ථානුකූල භාවය බලන්න පුළුවන් කාටද ඒක ඔබතුමාටත් බැහැ . මටත් බැහැ. ඒක බලන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. ඒක තමයි ව්‍යවස්ථාවේ තියෙන්නේ. ඒ වගේම මේ වයස වැඩි කිරීම එක නඩුකාරතුමෙක් මුලික කරගෙන හෝ එක කොටසකට කරනවා නම් ඔය කියන විවේචනය සමහරවිට සාධාරණ වෙන්න පුළුවන්. නමුත් මේ කරන්නේ සමස්ත අධිකරණ පද්ධතියේමයි. නඩුකාරතුමන්ලාට අගතියක් වු නඩු අහන්නේත් උසාවියේම තමයි. ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් මේක අභියෝග කරන්න. සියලු දෙනාටම අයිතිය තිබෙනවා .

