කාලීන

එක් වෙමු අපි හැම!

sri lanka flag

හෙළදිව හෙවත් ශ්‍රී ලංකාද්වීපයේ උපත ලද හැම දෙනාගේ ම මාතෘ භූමිය මේ පින් බිමයි. එනිසා ම අප උපන් අපට ජීවය දෙන මේ උතුම් පුණ්‍ය භූමිය රැක ගැන්ම ලක් මවගේ හැම දූ පුතකුගේ ම වගකීම මෙන් ම යුතුකම ද වන්නේ ය. ඉදින් එහිලා අප කාට කාටත් කළ යුතුව ඇති කැපකිරීම් ද සුලුපටු නොවේ.

ශ්‍රී ලංකා වාසී හැම දනන්ට ම එළඹ ඇත්තේ ඉතා බරපතල ආර්ථික තත්ත්වයකට මුහුණ පෑමට ය. රාජ්‍ය පාලකයන් ගේ අදූරදර්ශී වැරදි ආර්ථික කළමනාකාරීත්වය හෙළදිව මේ හා අවාසනාවන්ත ස්වභාවයකට ඇද දමා වසර කීපයකි. මේ ඛේදනීය කනගාටුදායක අර්බුදකාරී තත්ත්වය කෙරෙහි සලකන විට හුදෙක් අපි අපේ කුඩුම්බ රක්ෂණයට නොහැකිව අන්ත අසරණ අවස්ථා රැසකට මුහුණ පා සිටින බව නොකිව මනා ය. මේ සියල්ලට මූලික හේතුව අමන දේශපාලන උත්තමයන් ගේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත් බව හැම දෙනා ම කියන්නා වූ කාරණාවෙකි. නිල් කොළ රතු දම් කහ මේ ආදී වශයෙන් වූ විවිධ දේශපාලන පක්ෂ ඍජුව හෝ වක්‍රව රටේ පාලනයට අඩු වැඩි වශයෙන් හවුල් වී ඇති වග නො කිවමනා ය. එ‌ෙහම නෙවේ යැ යි කියන්නෝ සිටික් නම් ඔවුන් පට්ටපල් බොරුකාරයන් බව නොකියා ම බැරි ය. මේ දේශපාලන මඩගොහොරුවල අප හැම දෙනා ම එරී ආතක් පාතක් නැතුව අනේ අපොයි කියමින් එක එකාට අවලාද නගමින් පසුවෙනවා හැර වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ එන්නට කල්පනාවක් කිසිවකු හෝ නොකරනා බව පෙනේ.  

අද අපි අලුත් වසකට පා ඔසවා හමාර ය. දෙපා ඔසවා තබන්නට සිදුව ඇත්තේ බෙල්ල දක්වා ම නේකාකාර බදු ගැහිලි විසින් හිර කර ගැට ටිකෙන් ටික පාලකයන් විසින් තද කරමින් සිටිද්දී ය. බඩකට පිරෙන්න අද කිසිදු පුරවැසියකුට අතේ මිටේ පිච්චියක් නැත.  පොඩි පැටවුන් ගේ සුදහගින්න සංසිඳවන්නට මඟක් නැතිව, අතමිට කාසි පණම් නැතිව සෝ සුසුම් හෙළන මා පියෝ බොහෝ ය.

කෙසේ වුවද තවත් වසරකට අප පා නඟා සිටින්නෙමු. එලඹි වසර කෙරෙහි යහපත් සිතිවිලිවලින්, හිත් හතන් පුරෝ ගෙන අලුත් අභියෝගවලට, මුහුණ දීමටත් ඒ සියල්ල ජය ගැනීමටත්, සියලු හෙළදිව් පුරවැසියනට ශක්තිය ධෛර්ය ලැබේවා යි හෙළදිව ඉත සිතින් පතන්නෙමු.