උණුසුම් පුවත්

ඔය විප්ලවවාදීන් කාලයක් ත්‍රස්තවාදීන් වෙලා හිටියා ඒ නිසා 2019 වගේ වැරදි තීරණ මේ පාර නම් ගන්න එපා

සුහුරු රටක් හදනවා - සජිත් බුත්තල දී

මේ රටේ විප්ලවයක් කරන්න උත්සාහ කරනවා යැයි පවසන විප්ලවවාදීන්ගේ ත්‍රස්තවාදය නිසා බොහෝ ජීවිත අහිමි වීම් විශාල ප්‍රමාණයක් සිදු වූ බවත් උතුරේ මෙන්ම දකුණේ ද ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වූ බවත් නැවතත් මෙවැනි ඛේදවාචක් රට තුළ නිර්මාණය නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඇ. ඩොලර් බිලියන 90ක අප ණය වී ඇති බැවින් 2019 වූ ආකාරයේ වරදක් නැවත නොකරන ලෙසත් එම රජය ගත් අමනෝඥ තීන්දු තීරණ නිසා රට විනාශ වූ බවත් නැවත වරක් එවැනි දෙයක් වුවහොත් රටට වෙන දෙය සිතා ගත නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 119 වැනි අදියර යටතේ අද මොණරාගල බුත්තල ලුණුගල යෝධවැව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මීට අමතරව පාසලේ නර්තන ඇදුම් සහ සංගීත උපකරණ මිලදී ගන්න පාසල් සංවර්ධන සමිතිය වෙනුවෙන් තවත් රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කිරීමද සිදුවිය.

අධ්‍යාපනය වෙනුවෙන් රජයට නැති මුදල් අපිට තියෙනවා

රට බංකොලොත් වී ඇති අවස්ථාවක අධ්‍යාපනය සඳහා අමතර මුදල් වෙන් කරන්න නොහැකි බවට රජය පැවසුවත් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් මුදල් සෙවිය හැකි ක්‍රම රාශියක් පවතින බවත් ඒ ක්‍රම තුළින් පවතින අධ්‍යාපන ක්‍රමය වඩාත් හොඳ ගුණාත්මකභාවයෙන් යුක්තව ලබා දිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ රටේ සෑම පාසලකම අබලන් වූ අංග රාශියක් ඇති බවත් එම අබලන් ස්ථාන නඩත්තු කරන්න කිසිවකුත් නොමැති නිසා පාසල් ඉදි කරන්න පමණක් නොව නඩත්තු කටයුතු සඳහා ද වැඩසටහනක් අවශ්‍ය බවත් ඒ සඳහා ප්‍රාදේශීය ව්‍යාපාරිකයන් හා දානපතියන් උපයෝගී කර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නව අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍යයි

වත්මන් අධ්‍යාපන ක්‍රමය යුගයට, රටට මෙන්ම ජාත්‍යන්තර ඉල්ලුම හා සැපයුමට නොගැලපෙන නිසා සමගි ජන බලවේගයේ අරමුණ පවතින අධ්‍යාපන ක්‍රමවේදය වෙනුවට නව අධ්‍යාපන ක්‍රමවේදයක් රටට ඉදිරිපත් කිරිම බවත් මෙම සාධනීය පරිවර්තනය තුළ අපේ රටේ පාසල් දූදරුවන් සුහුරු පුරවැසියන් බවට පත්වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සුහුරු රටක් ගොඩ නැගීමේ මුල් පියවර සුහුරු සිසුවෙකු බිහි කිරිම බවත් සමගි ජන බලවේග අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට මුල්තැන ලබා දෙන බවත් 2024 මැතිවරණ වසරේ දී ජනතා ආශිර්වාදයෙන් රටේ වගකීම බාර දෙන්නේ නම් රටේම රජයේ පාසල් සියල්ල සුහුරු පාසල් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.