උණුසුම් පුවත්කාලීනදේශපාලනසතියේ සටහන

ජගත් ගේ සතියේ සටහන – 07

මහ ඡන්දෙ ඉස්සර වේවි ද - ජනාධිපතිවරණය ද? දෙක ම එකට ද???

ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බලපෑම් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාකච්ඡා කරමින් සිටින බව නෙළුම් මාවතේ පොදුජන පෙරමුණු මූලස්ථාන ආරංචි මාර්ගපවසනවා.

බැසිල් අද ආවහම පොදුජන පෙරමුණේ තීන්දුව ගන්නව ලු

ඇමරිකාවේ සිට හෙට (5) ශ්‍රී ලංකාවට පැමිණෙන පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම බලපෑම් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට යි පොදුජන පෙරමුණේ නායක සාකච්ඡාවල දී තීරණය වී තිබෙන්නේ.

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම ආණ්ඩුවට වඩාත් වාසිදායක වනු ඇතැයි පොදුජන පෙරමුණේ නායකයන්ගේ අදහස වී තියෙනවා.

මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුව හොත් එහි ප්‍රතිඵල අනුව කිසිදු පක්ෂයකට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පක්ෂ කිහිපයක් එකතු වී සභාග ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් යැ යි මේ පිළිබඳව අප කළ විමසුමක දී පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු ප්‍රකාශ කළා.

පොදුජන පෙරමුණේ මෙම ඉල්ලීම පිළිගෙන ජනාධිපතිවරයාට අප්‍රේල් මාසයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් ජුනි මාසය වන විට මහ මැතිවරණයකට යාමට සිදුවන බව ද පැවසූ හෙතෙම එහිදී කිසිදු පක්ෂයකට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ආසන සංඛ්‍යාවක් නොලැබෙන බැවින් එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය හා පොදුජන පෙරමුණ එක්වී හවුල් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට හැකි බව ද සඳහන් කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා ගේ පස් අවුරුදු නිල කාලය මේ වසරේ නොවැම්බරයෙන් අවසන් වන නිසා අනිවාර්යවෙන් ම සැප්තැම්බර් හෝ ඔක්තෝම්බර් මාසය ඇතුළත ජනාධිපතිවරණය පැවැත්වීමට සිදු වෙනවා.

මේ තත්ත්වය යටතේ පාර්ලිමේන්තු මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය ද එකම දිනයක පැවැත්විය යුතු බවටපොදුජන පෙරමුණ පැත්තේ යෝජනාවක් ද ඉදිරිපත් වී තිබෙනවා.

මෙම මැතිවරණ දෙක ම එකම දිනයක දී පැවැත්වුව හොත් එකම ඡන්ද නිලධාරීන්, එකම ඡන්ද මධ්‍යස්ථාන යොදා ගත හැකි වන අතර ආරක්ෂාව සඳහා යන වියදම ද අඩුකර ගත හැකි බවයි මේ යෝජනාව ගෙන එන මන්ත්‍රීවරුන් පවසන්නේ.

කෙසේ වුවද මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුවයි.

මේ අතර නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග කරන බවක් නිල වශයෙන් ප්‍රකාශ කොට නැති නමුත් ඔහු දසබල සේනා නමින් දිස්ත්‍රික් හා ආසන මට්ටමින් රැස්වීම් පවත්වා ගෙන යනවා. පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයකු තවම නම් කොට නැහැ.

එහෙත් නාමල් රාජපක්ෂ මහතාට හිතවත් මන්ත්‍රීවරුන් පිරිසක් ද දසබල සේනා ව්‍යාපාරයට එක්වී සිටින අතර ඔවුන් ගේ අරමුණ වී ඇත්තේ නාමල්ට පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමයි.

පසුගිය සතියේ මාතලේ පැවති 'දසබල සේනා' රැස්වීමක දී මීළඟ ජනාධිපතිවරණයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් කළ යුතු බවට යෝජනාවක් සම්මත කරගෙන තියෙනවා.

මාතලේ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ නායකයා වන ජනක බණ්ඩාර තෙන්නකෝන් හා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන පිය පුතු දෙපොළ මේ සඳහා ආරාධනා කර නැති බව ද වාර්තා වෙනවා.

මේ අතර ප්‍රසන්න රණතුංග හා මහින්දානන්ද අලුත්ගමගේ ආදීන් පවසන්නේ ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන්නේ නම් පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දිය යුතු බවයි. පොදු ජන පෙරමුණෙන් දුර්වල අපේක්ෂකයකු ඉදිරිපත් කළොත් තමා ඔහුට සහාය නොදී රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ප්‍රසන්න රණතුංග මහතා පසුගිය සතියේ පවසා තිබුණා.

මේ අතර පොදුජන පෙරමුණේ තවත් පිරිසක් පවසන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එකඟ නොවන්නේ නම් පොදු පෙරමුණේ මන්ත්‍රීවරුන් විපක්ෂයට ගොස් අසුන්ගත යුතු බවයි. එවිට ආණ්ඩුවට පනත් හා යෝජනා සම්මත සම්මත කර ගන්නට අවශ්‍ය ඡන්ද නැතිව යනවා. එසේ වූ විට පාර්ලිමේන්තුව අනිවාර්යයෙන් ම විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇති බවයි. පොදුජන පෙරමුණේ ඉහළ නායකයින්ගේ මතය වී තිබෙන්නේ.

දේශපාලන පක්ෂවල පිල්මාරු ගැන පසුගිය කාලයේ කතාබහ පැවතුණත් ආණ්ඩුවේ හා විපක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන අන්දමට ලබන මාසයේ දී සෑම ප්‍රධාන පක්ෂයක ම පිල්මාරු සිදුවීමට නියමිත බව යි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයටත්, පොදුජන පෙරමුණේ පිරිසක් සමගි ජන බලවේගයටත් එක්වීමට නියමිත බවයි ආරංචි මාර්ග දක්වන්නේ. මේ පිළිබඳ රහසිගත සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන අතර එක්සත් ජාතික පක්ෂයට අනිත් පක්ෂවලින් එන මන්ත්‍රීවරුන් එක්කර ගැනීම එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති රවි කරුණානායක මහතාට පවරා ඇති බව යි දැනගන්නට තිබෙන්නේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මේ පිල්මාරු තවත් වේගවත් වන බව ද ආරංචි මාර්ග පවසනවා.

෴         ෴        ෴       ෴       ෴

හිටපු මුදල් ඇමතිවරයකු මෙන් ම කෘතහස්ථ දේශපාලනඥයකු වූ අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතාගේ අවමඟුල් උත්සවයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශක් කළා.

කපුකම රොනී ද මැල් විසින් 

ජනතා විමුක්ති පෙරමුණ 77 මහ ඡන්දෙ දි යූ. ඇන්. පි යට උදව් කළ අයුරු ජනපති රනිල් ගෙන් අනාවරණයක්

රොනී ද මැල් වැලිකඩ හිරගෙදරට ගිහින් රෝහණ විජේවීර හා සිරගතව එහි සිරබත් කෑ පිරිස නිදහස් කරන බවට පොරොන්දුවක් දුන්නා ලු

ඒ 1977 පැවති මහ මැතිවරණය ජයගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ලබාගත් අන්දම ගැන යි.

1977 මහ මැතිවරණයේ දී රටපුරා එක්සත් ජාතික පක්ෂයට රැල්ලක් තිබුණා. ඒත් ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා කිව්වා රැල්ල තිබුණට මදි, අපි දිනන්නත් ඕනෑ කියා. ඒ අවන්ථාවේ රොනී ද මැල් මැතිතුමා එතුමාට කිව්වා මම දකුණේ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද අරන් දෙන්නම් කියා. ඒ සඳහා හිරේ ඉන්න රෝහණ විජේවීර ඇතුළු පිරිස නිදහස් කරන්න ඕනෑ කියා. ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ඒකට එකඟ වුණා.

ඉන්පසු රොනී ද මැල් මැතිතුමා වැලිකඩ බන්ධනාගාරයට කිහිප වරක් ගොස් රෝහණ විජේවීර මහුවී සාකච්ඡා කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මැතිවරණයේ දී අපි විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයගෙන බලයට පැමිණියා.

ඒ අනුව ඉන්පසු ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව අහෝසි කොට රෝහණ විජේවීර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් නිදහස් කළා යැ යි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය කතාවේ දී ප්‍රකාශ කළා.

රොනී ද මැල් මහතාගේ මැදිහත් වීම මත ජේ. ආර්. ජයවර්ධන මහතා රෝහණ විජේවීර ඇතුළු පිරිස නිදහස් කළ බව එකල ප්‍රකට කතාවක් ව රට පුරා පැවතුණා.

එහෙත් 1977 මහ මැතිවරණයට පෙර රෝහණ විජේවීර ඇති වූ සාකච්ඡා ගැන ජේ. ආර්. ජයවර්ධන මහතා එම එකඟතාවයට අනුව විජේවීර ඇතුළු පිරිස නිදහස් කළ බවක් මෙතෙක් හෙළි වී තිබුණේ නැහැ.                                                                                               

෴         ෴        ෴       ෴       ෴

කථානායකට එරෙහි විශ්වාස භංගය අද භාර දෙනවා

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට විරුද්ධව විපක්ෂය ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාස භංග යෝජනාව මාර්තු 5 (හෙට) පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයි වෙත භාර දෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළා. ‍‍

පසුගිය ජනවාරි 24 වැනිදා පාර්ලිමේන්තුවේ දී "ඔන් ලයින්" පනත සම්මත කර ගැනීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබුණු නිර්දේශ කිහිපයක් එම පනතට ඇතුළත් කර නොතිබිය දී කථානායකවරයා පනතට අත්සන් තැබීමට එරෙහිවයි මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ.

සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ්‍ය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය ද මෙම විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙන බව දැනටමත් ප්‍රකාශ කොට තියෙනවා. එහෙත් පොදුජන පෙරමුණ පවසන්නේ විශ්වාස භංග යෝජනාව පරාජය කරනා බව යි.

2024. 03. 05.