උණුසුම් පුවත්කාලීනදේශපාලන

කඩුවෙල උසාවියෙන් විමල් ට ඇප!

යළි අගෝස්තු 25 වැනිදා අධිකරණය හමුවට

තලංගම පොලිසිය මඟින් අද (25) උදෑසන අත්අඩංගුවට ගත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇප මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේ ය.

ඒ පොලිස් අත්අඩංගුවට ගත්  ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව යි.

ඒ අනුව රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනෙකු මත ඔහුව නිදහස් කිරීමට නියෝග කෙරුණි.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරිවලට බාධා කරමින් තවත් පිරිසක් සමඟ නීතිවිරෝධී ජන රාශියක් ගොඩනැඟූ බවට හිටපු ඇමැතිවරයාට එරෙහිව චෝදනා එල්ල කර ඇත. ඉකුත් 18 වැනිදා සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි. ඒ ප්‍රකාශයක් ලබා ගැනීමට තලංගම පොලිසියෙන් කරන ලද කැඳවීඹකට අනුව වීරවංශ මහතා එහි ගිය පසුව ය.

මේ සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු  අගෝස්තු මස 25 වැනිදා  දක්වා කල් තැබීමට කඩුවෙල මහේස්ත්‍රාත් බුද්ධදාස මහතා නියෝග කළේ ය.