උණුසුම් පුවත්කව් මිණි වැල්

කව් මිණි වැල්

බුදු ගුණ අලංකාරය - නමවු මිනි සරණ

- 391 -

නික්මෙනු දැක                     එ  වර

හළ සඳ සුරන් පුර                   දොර

පසු පෙර දෙ                         අත්වර

සුරන් සැට සැට දහස්             පිරිවර

පදගතාර්ථය  -   නික්මෙනු දැක  ---  පිටත් වනු දැක  , එ වර  ---  එකල්හි  , සුරන්  --- දේවතාවන්  , පුර දොර  --- නගරයේ දොරටු  , හළ සඳ  --- විවෘත කළ කල්හි  , පසු  --- පසු පස ද  , පෙර  --- ඉදිරියෙහි ද  , දෙ අත්වර  ---  දෙ පස ද  , සැට සැට දහස් සුරන්  ---  සැට දහස සැට දහස බැගින් දේවතාවුුුන් ගේ  , පිරිවර  --- පිරිවර ඇති ව--

භාවය  -- ඒ තුමා පිටත් වනු දැක දේවතාවුන් නුවර දොරටු හැර, ඉදිරියෙහි ද පස පස හා දෙ පස දැ යි යනුවෙන් දෙවිවරුන් සැට දහස, සැට දහස පිරිවරා ගෙන---

- 392 -

දිගු බිත කර                                    පහන්

ගත් මිණි වැට දඬු                            පහන්

හිමි සිත තුටු                                   පහන්

ගෙවා තිස් යොදුන් ගොස්           නොපහන්

පදගතාර්ථය  ---  දිගු බිත  ---  දිශා නමැති බිත්ති  , පහන් කර  ---  ආලෝක කර  ,  මිණි වැ‌ෙ  ---  මැණික් පහන් හා  ,  දඬු පහන්  ---  දණ්ඩ දීපිකාවන්  , ගත්  ---   සැදුණු කල්හි  , හිමි  ---  එ තුමා  , තතුටු පහන් සිත  ---  සතුටු සිත් ඇ්තේ  ඥ  නොපහන්  ---  හිරු උදා වන්නට පෙර  ,  තිස් යොදුන් ගෙවා ගොස්  ---  යොදුන් තිහක්පසු කොට ගොස්--

භාවය  ---  දිශා නමැති බිත්ති ආලෝක කරමින් මැණික් පහන් හා පන්දම් දැල්වෙමින් තිබුණ විට එ තමා සතුටු සිතින් හිරු නැඟෙන්නට පෙර තිස් යොදුනක් දුර ගෙවා ගොස් ---

- 393 -

අරුණු පස් පතර                  ව

සහ තඹ සිළුන්              මතරව

රිවි එත රත තර                   ව

අනෝමා නම් ගඟින් එතර     ව

පදගතාර්ථය  ---  අරුණු රස්  --- උදා හිරු රැස්  , පතර ව  ---  පැතිර  , තඹ සිළුන්  ---  කුකුළන් ගේ  , මතරව සහ  ---  කොක් හඬ සමඟ  , රිවි  --- සූර්යයා  , රත තර ව  ---  තද රත් පැහැ ගැන්වෙමින්  , එත  --- එන කල්හි  , අනෝමා නම් ගඟින්  --- අනෝමා නම් ගංගාවෙන්  , එ තෙර ව  --- එ තෙර වී -

භාවය  ---  උදා හිරු රැස් පැතිර ගොස්, කුකුළන් ගේ නාදයත් සමඟ සූර්යයා රත් පැහැ නඟමින් උදා වත් ම අනෝමා ගං ‌තෙරින් එ තොරව ගොස්-

394  -

දස පැරුමන්                           බුහුටි

පිරුණෙන් සිතෙහි            නොකිලිටි

කෙළෙසුන් සහ                      දිගැටි

මඟුල් කඩුවෙන් කපා කෙස්        වැටි

පදගතාර්ථය  ---  බුහුටි  --- මැනවින් පුහුණු කොට පුරුදු  , දස පැරුමන්  --- දස පාරමී ධර්මයන්  ,  නොකිලිටි  ---  කිලුටක් නැති  , සිතෙහි පිරුණෙන්  --- සිතෙහි පිරී ගියෙන්  , කෙලෙසුන් සහ  --- සියලු ක්ලේශයන් සමඟ  : දිගැටි කෙස් වැටි  ---  දිගු කෙස් වැටිය ද , මඟුල් කඩුවෙන් කපා  --- සිය මඟුල් කඩුවෙන් කපා--

භාවය  --- හොඳින් පුරුදු කොට සිටි දස පාරමිතා ධර්මයන් නොකිලිටි සිතෙහි පිරී ගියෙන් සියලු කෙලෙස් සමඟ දිග කෙස් වැටිය ද මඟුල් කඩුවෙන් සිඳ දමා ---