- රජතුමාගෙන් දස්කොන්ට -

නෙක බරණ මිණි පට කසී සළු
සමඟ රැජිනක සේ එදා
රැක ගතිමි ඈ රජ මැදුර තුළ
කවුළු මුරකාවල් යොදා
දැක ඇගේ රුව උමතු වීලද
ගත්තෙ මරණය නුඹ බදා
දුක මටත් දැනෙනවා දස්කොන්,
කෙලෙස ගන්නද හිත හදා..
මන බදින රූ සුමුදු මුදු සුව
මතින් අම මී වැගිරෙනා
දෙන විටදි මට නෙක ලදුන් සුව
ඇගෙ පහස අමතක වුණා
රණතිසරු ඇගෙ මගේ පහසින්
පැන නුඹට අවනත වුණා
දැන නොදැන හෝ මමත් වැරදියි
රජ වුණත් මම පැරදුණා ..
මලුව සක්මන් කදුළු වගුරයි නුඹ නොමැති පාළුව දැනී
නෙළුව මල්පෙති සෙමින් පරවෙයි දේවි ප්‍රමිලා නොමදනී
කිව්ව ගී පද යළිත් නොඇසෙයි
මිතුර මගෙ හිතටත් තනී
නිව්ව පහනට තෙල් දමනු බැහැ
එවිට ලෝකය මට බනී..
කන්න දුන් අත සපාකෑවේ වැරදි මං හින්දාද හිතවත
දෙන්න බැහැ මට සමාවක් නම්
ලොවේ අවමන් නැගෙයි මා වෙත
සින්න වුණු ඇගෙ සිතේ අයිතිය
තබාගෙන නුඹෙ සොඳුරු හදමත
යන්න සැරසෙනු සුසානය වෙත
තබමි ගෙල මත - අසිපත…
- සංජීවනි පද්මසේන -
සමාවුව මැන පුතුණි,

සනාතන සෙනෙහසක ප්‍රාණ වායුව වෙලා
අනාගත සුපැතුමක සොඳුරු අර්ථය වෙලා
ජීවිතේ දාහයට සිසිල් පවනක් වෙලා
මා කුසේ ලැගුම් ගත් මගේ ආදර පුතා.....
පැතු පැතුම් මල් නටුව අගින් බිම
වැටෙන විට
තැනූ නෙක සිත් විමන් බොඳව ඇද හැලෙන විට
නැගූ නෙක සිනා මල් නෙත කඳුළු
නඟන විට
මගේ ළඟ නැති සතුට නුඹට මතු හිමිවේද?...
සදාචාරය සිරිත රකිනු මිස මනු කුලේ
සෙනේහය වියැකුණා නොවේ මව් හදවතේ
ඉක්මවා ගියද එය එඩිය සමඟින් සිතේ
මවක මිස පියකු නැත නුඹට මේ මිහිතලේ....
ගලන කඳුලට හැකිද මකන්නට දරු සෙනේ
නැගෙන සුසුමට හැකිද නිවන්නට
ගිනි සිතේ
කුරිරු වූ ලෝකයට බිහි නොකර
නුඹ නැසූ
අසරණ වූ අම්මාට ශාප නොකරන් පුතේ..
කෙතරම්ම කඳුළුවැල්
ගැලූවත්
නෙතු අගින්
රිදුම් දී හදවතම
දැවී යන මුත් නිතින්
සමා නොමදී, මිදී අපට දුක දුන් ලොවින්
සුජාත වූ පුතෙකු ලෙස යළිත් මා වෙත වරෙන්.......
- චම්පිකා මුතුකුඩ -
සිතක පැතුම්

මතක පොතේ පිටු අතරේ ලියැවුණු පදවැල්...
සිතක පැතුම් පොදි බැඳගෙන සිහින පොකුරු මල්...
නිසැක සතුට යථාර්ථයේ සැරිසරනා කල්...
හදක පැතුම බිදුණුදාට වදිනවා ගල් මුල්...
සඳ කොමලිට හොර රහසේ තරු මල් වැව් දිය සිඹිනවා...
මද පවනේ හිරු කිරනින් දේ දුන්නක් හිනැහෙනවා...
කද බැඳගෙන නෑ පිරිවර දූ බලන්න පිටවෙනවා...
ඇද හොයනා රිදි නැන්දා සුදු රෙද්දේ කිලි බලනවා...
තබන තබන හැම පියවර දිවියට සවි ගෙනේවා...
අතන මෙතන දුවන සිතට හරි මාවත පෙනේවා...
සිහින ලොවේ දකිනා දේ සරුවී නිති දිනේවා...
ජීවන ගමනට සවියක් මෙලොව සැමට ලැබේවා...
උස් මිටි භේද ගරු නිලතල තිබුණාට..
කිසිදා එපා ගරහණු මිනිසත් කමට...
දුක සැප දෙකේ ළඟ ඉන්නා මිතුරන්ට ...
බැති මල් මිටක් පුදදෙමු ළෙන්ගතු සැමට...
- ඇන්ජලා පැල්පොළ -
----------------------------------------------
අද පෑයු හිරු හෙටත් පායා නැගෙ ද
ආකාසෙ හැමදාම සිසී හිනැහේවී ද
රොන් ගන්න මලින් මල
බඹරු පියඹා එයි ද
හිතේ ඇති සංකාව
දුරලන්න හැකි වේ ද

