උණුසුම් පුවත්කාලීනවිශේෂාංගසාහිත්‍යය හා කලාවහෙළදිව කෙටිකතා

හෙළදිව කෙටිකතාව

අද කෙටිකතාව "භාරකරු" ය.
භාරකරු ලියන්නේ ලයනල් වික්‍රම ආරච්චි වෛද්‍යවරයාණන් ය. 
ඔහු ගේ කෙටිකතා කුළුඳුල් කෙටිකතා සංග්‍රහය අනිද්දා (12) කුරුණෑගල දී ජනගත කෙරේ. ඒ කුරුණෑගල පිහිටි බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේ දී ය. ලයනල් ගේ කෙටිකතා සංග්‍රහය ''ඒකී හඳ එළියට හිනාවුණා" ය.
ඒකී හඳ ඒළියට හිනා වෙද්දී ''කුරුලු සුන්දර මතක ඇහිඳිමි" නම් කාව්‍ය සංග්‍රහයක් ද දොරට වඩින්නේ ද එතැනදී ම, ඒ වෙලාවට ම ය. පැදි ගොනුව නිර්මාණය කර ඇත්තේ ලයනල් වික්‍රම ආරච්චි වෙදැදුරාණන් ගේ ආදරණීය බිරිය යි. ඈ නමින් කුමුදුනී මෙන්ඩිස් ය. කුමුදුනී ද ඉසිවරියකි. මේ ඉසිවර යුවළට හෙළදිව උණුසුම් සුබ පැතුම් පිරිනමන්නේ තව තවත් මේ යුවළට නිර්මාණකරණයේ නියැළී ලාංකේය ජන හදවත් සනහන්නට පෙති, කරල්, ගුළි, කල්ක, චූර්ණ, කසාය, අරිෂ්ට ඈ සුවහසක් ඖෂධ වෙනුවට දයාව මෛත්‍රිය කැටිකරගත් සෙනෙහස බෙදා දෙන්නට ශක්තිය ලැබේවා යන උදාර හැඟීමෙනි. 

 ---------------------

වේලාව සවස හතර වී ඇත. මම වාහනයෙන් බැස රෝහල දෙසට යන්නට සැරසුණෙමි. මේ රාත්‍රී සේවා මුරය ආරම්භයයි..

''තුනේ වාට්ටුවේ  ඩෙත්  එකක් තිබුණා අයියා...වෙන මොනවත් විශේෂ දෙයක් නෑ"

සවස හතර දක්වා වගකීම් දැරූ වෛද්‍ය සොයුරිය වාහනයට නැග රෝහලින් පිටව ගියා ය.

රෝහලක සිදුවන බොහොමයක් මරණ වෛද්‍යවරයෙකුට තිගැස්මක් ඇති කරන්නක් නොවේ. ඒ රෝහල ඉදිරිපිට මල්ශාලාවක් තිබෙන නිසා නම් නොවේ. සාමාන්‍යයෙන් බොහෝ මිනිසුන් ගේ ජීවිතයේ අවසානය රෝහල් ඇඳක් මත සිදුවීම හා ඉන් වැඩි ප්‍රමාණයක් ස්වභාවික මරණ වීම එයට හේතුවයි.

අත තිබූ බෑගය  හා වතුර බෝතලය ඉහළ මාලේ කාමරය තුළ තැබූ මා පහළට විත් සෙමෙන් සෙමෙන් කොරිඩෝව දිගේ රෝහල තුළට පියවර තැබුවෙමි.

හීන් සිරි පොද වැස්සක් වැටෙයි. වැහි අන්ධකාරය තරමක් කලින් ම රාත්‍රිය කැන්දාගෙන එන සෙයක් පෙනේ.. රෝහලට මහා වදයක් ව ඇති, කොරිඩෝව දිගේ තැනින් තැන වැටී නිදන දඩාවතේ යන බල්ලන් අතරින් පරිස්සමින් මම  ඉදිරියට පියවර නැගුවෙමි. ගැබිණියක වූ සෞඛ්‍ය සේවිකාවක් ඉදිරි පසින් ඇදගෙන එන, සේවක මහතෙකු පසු පසින් තල්ලු කරන ට්‍රොලියක්….. ට්‍රොලිය මත වැතිර ගත් රෝගියා හිස සිට පාදය තෙක් සම්පූර්ණයෙන් රෙද්දකින් වසා දමා ඇත. කම්මැලි කමින් සෙමෙන් සෙමෙන් ඇදෙන ට්‍රොලිය මත ඇත්තේ මළ මිනියකි.

"කවුද මේ නැති වුණේ..?"

"අර සයිමන් පෙරේරා සීයා සර්.. දන්නෙ ම නැතුව ඇඳ උඩ මැරිලා."

''කවුරුවත් ගෙවල් වලින් ඇවිත් නැද්ද?"

''ඔහේ නෑ.. ''

''දැන් මැරිලා ගොඩ වෙලාවක්.''

''ටිකට් එකේ භාරකාරයා ගේ නම තිබ්බා. නෝනා වෙන්න ඇති මයේ හිතේ. ටෙලිෆෝන් නම්බර් එක නෑ. පොලිස් ඉන්ෆෝම් කළා. දැන් නම් ගෙදරට පණිවිඩේ කියලා ඇති''

මෝචරිය වල් බිහිවී  ගොස් ය. මරණයක් තැන්පත් කර තබන්නට තරම් සුදුසු තැනක් දැන් මේ රෝහල් පරිශ්‍රය තුළ නොමැත. මරණය සිදු වී පැයක් දෙකක් ගතවන තෙක් හෝ මරණකරු ගේ භාරකරුවකු පැමිණෙන තෙක් වාට්ටුවක අගු පිලක ට්‍රොලියක් මත මරණය වසා දමා තබනු ඇත.

සයිමන් පෙරේරා.... මේ මනුස්සයා මා හට හොඳට මතක ය. රෝහලේ සියලු දෙනාට ම එය එසේ යැයි මම සිතමි. මා මේ රෝහලට පැමිණි මාස කිහිපය තුළ ඔහුගේ ඇඳ ඉහපත කිහිප විටක් මවිසින් ම ලියා ඇති බව මගේ මතකයේ ඇත. රෝහලේ අයට අනුව ඔහු මෙහි ඉන්වෙන්ට්‍රියකි”. වසර ගණනාවක් ගම්බද රෝහල්වල සේවය කර ඇති මා හට මෙවැනි ඉන්වෙන්ට්‍රිරෝගීන් ගැන බොහෝ අත්දැකීම් ඇත.

මේ බොහොමයක් රෝගීන්ට කිසිවෙකුටවත් නොකියූ වේදනාවෙන් සඟවා ගත් අතීත කතාවක් ඇත. ඒ සියල්ල ඔවුන් සමග දිනෙක මහ පොළොවේ වැළලී යනු ඇත.

සයිමන් පෙරේරා ගේ ජීවිතයේ ද එවැනි නොකියූ කතාවක් ඇතැයි මම සිතමි. ජීවත් ව සිටින මිනිසෙකු ට වඩා ඔහු හෝ ඇය හෝ මිය ගිය පසු ඒ ජීවිත ගැන උනන්දු වීම අප සමාජයේ සාමාන්‍ය ස්වභාවයකි. ජීවත් ව සිටින තාක් ඔහු හෝ ඇය හෝ තවත් සාමාන්‍ය මනුෂ්‍යයෙකි. කිසියම් ලාභ ප්‍රයෝජනයක් තකා ව්‍යාජ ලෙඩ රෝග කිහිපයක් සමග, මොවුන් රෝහල් ගතවනු ඇතැයි රෝහල් සේවකයින් සිතනු ඇත. මිනිසුන් ගේ සියලු වටිනාකම් විනාශ කර දමා, මහා වැරැද්දක  ගැටගසා ඇති මේ සමාජය තුළ, සිදුවන  එවැනි සාපේක්ෂ තක්සේරුවකට කිසිවෙකුට වත්, දොස් පැවරීමෙන් පලක් නැතැයි මම සිතමි.

සිහින් හිරිපොද වැස්ස ක්‍රමයෙන් මහා වැස්සක් බවට පත් ව ඇත.  වහලයේ ලී දිරා ගොස් උළු කැට ඈත්වී, කොරිඩෝවේ තැනින් තැන වැසි දිය බේරෙයි.

මම තුනේ වාට්ටුව ට ඇතුළු වී එහි ඇති කාමරයේ පුටුව මත වාඩි වුණෙමි. දීප්තියෙන් අඩු දුබල බල්බය ඔහේ ඇවිලෙයි. මේ දුබල ආලෝකය අඩු එළියටවඩා තවත් බොහෝ දේවල් අපට කියා දෙනවා නොවේදැයි මට සිතේ. කාමරයේ ගාල් වී ඇති මදුරුවන් පලවා හැරීමට, මා සිවිලිමේ ඇති විදුලි පංකාවේ ස්වීචය කැරකුවෙමි. චරස්යන අමිහිරි හඬකින් කරකැවුණු ස්විචය විදුලි පංකාව පණ ගැන්වීය.. විදුලි පංකාව හිස මත කඩා වැටේ දෝයි බිය ගන්වන සුලු දඩ දඩශබ්දයක් ඉන් නිකුත් වන්නට විය.

මම තාමත් සයිමන් පෙරේරා ගැන සිතමින් සිටිමි.

වේලාව සවස හත පසු වෙමින් ඇත. වාට්ටු රෝගීන් පරීක්ෂා කර අවසාන ය. සමාජයට මහා විනාශයක් කළ නාලිකාවක් වාට්ටුවේ සවිකර ඇති, රූපවාහිනී තිරය මත ප්‍රවෘත්තියක් දිග හරී. මාධ්‍ය‍ය හරහා සිදුවෙන වැරදි ප්‍රචාරයන් විසින්, මිනිසුන් ගේ මනස තුළ පරාවර්තනයන් ඇති කරන බවත්, මේවා මහා විනාශකාරී ප්‍රතිඵල ගෙන දෙනු ඇති බවත්, විටෙක පිදෙල් කැස්ත්‍රෝ සහෝදරයා ප්‍රකාශ කර ඇත. මිනිසුන් ගේ කායික රෝගවලට පමණක් ප්‍රතිකාර කිරීමෙන්, කිසිදු සමාජයක් සුවපත් නොවනු ඇතැයි මම හොඳින් දනිමි. රූපවාහිනී තිරය සමබර නාලිකාවක්  වෙත ගෙන යන්නයි මම සාත්තු සේවක මහතාට දැනුම් දුන්නෙමි. ඉතා අකමැත්තෙන් ඔහු මගේ යෝජනාව, ක්‍රියාත්මක කරන අයුරු  මම බලා සිටියෙමි.

අභිනව ජනාධිපති සහෝදරයා ජනතාව අමතමින් සිටී. රෝගීන් කිහිප දෙනෙකු ගේ අවධානය එයට යොමු වන්නට විය. වාට්ටුවේ කොනක ඇඳක් මත සිටි, සයිමන් පෙරේරා ද  සෙමෙන් සෙමෙන් රූපවාහිනිය අසලට එනු මම දුටුවෙමි. සාත්තු සේවක මහතා චැනලය මාරු කර දමයි දෝ, සැක සිතුනු නිසාවෙන් ම මම මදක් නැවතී, සිදුවීම් නිරීක්ෂණය කළෙමි. එදා සයිමන් පෙරේරා ඒ කතාව ඉතා ඕනෑකමින් අසා සිටි අයුරු මට මතක ය. සතුටින් පිරී ගොස් තිබූ ඔහුගේ මුහුණට, නව ආලෝකයක්  එක්වී ඇති අයුරු මම දිටිමි. පසු ව හෝ ඔහු සමග කතා කළ යුතු යැයි මම සිතුවෙමි.

සයිමන් පෙරේරාට තමාගේ කළමනා ඔබාගත් පරණ බෑගයක් තිබිණි. ඔප දමා නිමවා ගත් බස්තමක් තිබිණි. එය කුරුඳු ලීයකින් තනා ගත් එකක් යැයි මම සිතමි. අකුරු කියවන්නට ගන්නා කණ්ණාඩි කුට්ටමක් තිබිණි. සමහර විටක අප ඇඳ අසලට යනෙන විට, හදිසියේ ම වසා දමා දෑතින් ම ගෙන බෑගයට ඔබා ගන්නා, පරණ දිනපොතක් හා පෑනක් ද  ඔහු සතුව තිබිණි.

මා දුටු දා සිට ඔහුගේ දකුණු කකුලේ, කිසිදා හොඳ නොවූ තුවාලයක් තිබිණි. ඔහු බලන්නට රෝහලට එන කිසිවෙකුත් මා කිසි දින දැක නැත. ක්ෂණික මරණයක් ගෙන ආව ද, ඔහු බරපතල ලෙස රෝගාතුර වී සිටිනු මා දැක නැත.

මා ප්‍රමාද වූවා යැයි කිසියම් පසුතැවිල්ලක් මා තුළ නලියන්නට විය.  විදුලි පංකාවේ ශබ්දය මට මහත් වදයකි. මම එය නිවා දැමුවෙමි.

වැස්ස තාමත් සම්පූර්ණයෙන් නැවතී නැත. ඕනෑවට එපාවට මෙන් විටින් විට වසී. සුළඟ, සීතල හිරිපොද, අඳුර මැදින් රෝහල් ගතවන රෝගියකු, රෝද පුටුවක හෝ ට්‍රොලියක හදිසි ප්‍රතිකාර ඒකකය වෙත රැගෙන එනු ලබයි.

''ඩොක්ටර්….හවස ට්‍රාන්සර් ලියපු ලෙඩෙක් ඉන්නවා හතරෙ වාට්ටුවේ.. තාම එම්බියුලන්ස් එකක් හොයාගන්න බැරි වුණා…..අද අපේ ඩ්‍රයිවර් නිවාඩු"

''හතර වටේටම කතා කළා….අනේ මන්ද මොනව කරන්නද කියල ලෙඩාගේ අයිතිකාරයෝ හරි කේන්තියෙන් ඉන්නේ"

හතරෙ වාට්ටුව භාර මිස් මේ ඉදිරිපත් කරන්නේ අපි මුහුණ දෙන  තවත් එක් දුක් ගැනවිල්ලක්

මම මිස් ගේ මුහුණ දෙස මොහොතක් බලා සිටියෙමි. එහෙත් කිසිවක් නොකීවෙමි.. මේ අක්‍රමවත් භාවය පිළිබඳව කියන්නට මට බොහෝ දේ ඇත. මේ අහිංසක මිනිසුන් ඉදිරියේ, මේවා කීමෙන් කිසිදු පලක් නැත……

අපේ රට තුළ ඉහළ සිට පහළට විහිදුණු ඉතාමත් දියුණු සෞඛ්‍ය සැලැස්මක් ඇත. එහෙත් ඒ සැලැස්ම කොතරම් දුරට ක්‍රියාත්මක වෙනවාදැයි ප්‍රශ්න සහගතය. අනෙක් අතට අපේ සෞඛ්‍ය වැඩ පිළිවෙල හා ජන සමාජය අතර ඇත්තේ, සැලකිය යුතු තරම් දුරස්ථ බවකි. මහ පොළොවේ මේ දුරස්ථ භාවය, එසේත් නැතිනම් අවිඥානික භාවය හේතුවෙන්, පොදු ජනයා සේවා සපයන්නන් ඉදිරියේ කෙතරම් පීඩාවට, සූරා කෑමට ලක්වනවාද……

 ඈත ගම් දනව්වක හදිසි රෝගාබාධයක ට හෝ, අනතුරකට ලක්වන රෝගියෙකු මෙවැනි කුඩා පර්යන්ත රෝහලක සිට.. කෙටි වේලාවකින් ද්විතීක හෝ තෘතීයික ප්‍රතිකාරක ඒකකයක් කරා, යොමු කරන්නට තරම් දියුණු නිශ්චිත ක්‍රමවත්, වැඩ පිළිවෙලක් තාමත් අපට නැත. දැනටමත් අප සතුව ඇති ගිලන් රථ ප්‍රමාණය නිසි ලෙස කළමනාකරණය කර ගන්නේ නම්, අපට මේ මොහොතේ සෑහීමකට පත්විය හැකි සේවාවක් ලබා දිය හැකිය. එහෙත් තවමත් අප මේ බිම් මට්ටමේ ක්‍රියාවලියට අත තබා නැත. අපි තාමත් ප්‍රශස්ති ගී, පෙරහැරවල්, නර්තන මැද විවෘත කිරීම්, පිළිගැනීම් නරඹමින් සිටිමු .

අපි වැරැද්ද දැක වේදනාවෙන් කෑ ගැසුවෙමු….. සිහින දැක්කෙමු…. සිහින පැල කරන්නට ප්‍රයත්න දැරුවෙමු තවමත් නිවැරදි ආරම්භය පෙනෙන  මානයේවත් නැත…..

මම හදිසි ප්‍රතිකාර ඒකකයේ බිත්තිය මත එල්ලා ඇති, ඔරලෝසුව දෙස බැලුවෙමි. රාත්‍රී නවය ද පසුවෙමින් ඇත.

සයිමන් පෙරේරා ගේ මළකඳ, කොරිඩෝවේ කොනක ට්‍රොලිය මත තැබූ ලෙස ම ය. භාරකරුවෙකු තබා වසා දැමූ රෙදිපට උස්සා එක වරක් හෝ මළකඳ දැක ගන්නට කිසිවෙකුත් මෙතෙක් පැමිණ නැත.

සාමාන්‍යයෙන් මරණය ක් සිදුවූ විට දකින සුලභ දසුනක් අද මෙහි දකින්නට නැත. විටින් විට මරණය දකින්නට අවසර ඉල්ලා පැමිණෙන මිනිසුන්... ඉකිබිඳුම්.. සෝ සුසුම්.. රෝහලේ රාජකාරී වලට පවා මහත් බාධා ගෙන දෙමින්, කොරිඩෝව දිගේ ඇදෙන පිරිස්... මේ කිසිවක් අද මෙහි නැත.

 සයිමන් පෙරේරා ගේ නිවසට ඔහු මිය ගිය ආරංචිය නොලැබුණා වත් දැයි මට සිතේ. රෝහල තුළ කිසියම් උගත් හැසිරීමක් පෙන්වූ මොහුට, සමාජය තුළ මොනයම් හෝ සම්බන්ධතාවයක් නොතිබීමේ හැකියාවක් නැත. මේ මිනිසා මුළු ලෝකයට ම එපා වූ  මිනිසෙක්ද....? එය එසේ විය නොහැක.  තවත් සුළු මොහොතකින් ඔහු ගේ බිරිඳ පොලිසිය සමග මෙහි එනු ඇත....

මම ඉහළ මාලයේ වෛද්‍ය විවේකාගාරය ට ගියෙමි. හිත එකලස් කර පොතක් හෝ කියවන්නට තරම් සන්සුන් කමක් නැත. මට සයිමන් පෙරේරා ගේ මුහුණ මැවී පෙනෙයි. මිය යන්නට පෙර ඔහු ගේ ජීවිතය පිළිබඳ ව ඔහු සමග කතා නොකිරීම මා කළ වරදකි.

දුරකථනය නාද විය... පැමිණ ඇත්තේ රෝගියෙක් ද ..? ඉක්මනින් පහළට බැසගත් මා හදිසි ප්‍රතිකාර ඒකකය දෙසට පියවර තැබුවෙමි. මැදිවිය පසු කළ කාන්තාවක් මේසය අසල පුටුවෙහි වාඩි වී සිටිනු, දුර සිට ම මම දිටිමි.  ඕ අත්ල මත හිස තබා බිමට නැඹුරු වී සිටී. මේ ඇය විය යුතුය.. ඇය හඬනවා වන්නට ඇත...

ඇය අවුරුදු හැටපහක කාන්තාවකි. දරුවන් හතර දෙනකු මෙලොවට බිහි කළ මවකි. වම් ඇස ඉහළින් විශාල තැලුම් පහරකි. තොල පැලී ගලා ගිය රුධිරය ඇඳ සිටි සුදු පැහැවන් උඩුකය ඇඳුමෙහි තැන තැන විසිරී ඇත. බීමත් ව පැමිණි ඇගේ සැමියා ඇයට හොඳ හැටි පහර දී ඇත. මෙය මේ සමාජය තුළ වූ තවත් ඛේදවාචකයකි. මේ රාත්‍රිය පහන් වන තෙක් ඇය ඇගේ සැමියාට එරෙහි ව, නීතිය ක්‍රියාත්මක කරන්න ට සැලසුම් කරන්නී ය. හෙට උදේ හිරු නැගෙනවාත් සමගම  සැමියා නිදොස් කොට නිදහස් කරඇය රෝහලින් පිටව ගෙදර යනු ඇත.

මා හදිසි ප්‍රතිකාර කාමරයෙන් පිටව යන්නට නැගී සිටියා පමණි. දොරකඩ පෙනී සිටින පොලිස් නිලධාරීන් දෙපළකි.

ආ..එන්න...."

''ගුඩ් ඊව්නින්.. සර්"

''ගුඩ් ඊවිනින්...''

''සර් අර ඩෙත් එකක් සම්බන්ධයෙන් පැමිණිල්ල ට ආවේ.. අපි ඒ භාරකාරයා හොයාගෙන ගියා.. දීලා තියෙන ලිපිනේ එහෙම නමක් තියෙන කාන්තාව ක් නෑ... අපි කීප තැනකින් ම හෝදිසි කරලා බැලුවා.

මම කිසිවක් නොකියා අසා සිටියෙමි.

''ග්‍රාම නිලධාරි මහත්තයා කන්ටැක්ට් කර ගන්න බැරි උණා. අපි හෙට ග්‍රාම නිලධාරි හමුවෙලා බලමු. සමහරවිට හොයාගන්න පුළුවන් වෙයි..."

පොලිස් නිලධාරීන් දෙදෙනා පිටව ගොස් ය. මම තාමත් පුටුව මත  වාඩිවී සිටිමි.

සයිමන් පෙරේරා ගේ බිරිඳ ඉන්නේ කොහෙද...?

මෝචරිය කුත් නොමැති මේ රෝහල තුළ ඈ එනතෙක් ඇගේ සැමියා ගේ මිනිය තබා ගන්නේ කෙසේද...? තව දවසකින් එය කුණු වී දුගඳ හමන්නට පටන් ගනු ඇත.

සවස හයට හෝ හතට සේවයට වාර්තා කළ, සේවක කාර්ය මණ්ඩලය ට හෝ හෙද කාර්ය මණ්ඩලයට, මෙය එතරම් ප්‍රශ්නයක් වී නැත. මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම යන්න ඔවුන් ගේ සීමාවේ නැත. මා මේ වෙහෙසෙමින් සොයන්නේ ද  වෙනත් දෙයකි.

මම කොරිඩෝව ට පිවිසුණෙමි. මඳ අඳුර මැද නිහඬ කොරිඩෝව සයිමන් පෙරේරා ගේ මරණය ආරක්ෂා කරයි. මම සෙමෙන් සෙමෙන් ඒ අසලට පිය නැගුවෙමි.

සේවක මහත්මයකු ට කතා කොට සයිමන් පෙරේරා ගේ බෑගය පරීක්ෂා කිරීමට මට සිතුණි.

අප වාට්ටුවේ ඇඳ අසලට යන විට, දෑතින් ම අල්ලා බෑගය ට ඔබාගන්නා පරණ දිනපොත එහි විය.

එය වසර ගණනාවක් ඈත වසරකට අයත් දිනපොත කි. එහි පිළිවෙලට යමක් ලියා තිබුණේ නැත. ඔහු විසින් තබන ලද දිනයක යටින්, ලියවුණු වසර ගණනාවකට අයත් සටහන් ගොන්නක් එහි විය.

රාත්‍රී සේවා මුරය පාන්දර තුනද පසු කර යමින් ඇත. මම තාමත් සයිමන් පෙරේරා ගේ දිනපොත කියවමින් සිටිමි. රාත්‍රිය පුරා රෝහල්ගත වූ රෝගීන් මට මහත් වදයක් විය. සියලු රාජකාරි හමුවේ මම දිගට ම දින පොතේ සටහන් කියවීමි.

සයිමන් පෙරේරා යනු මේ රටට වැඩ කළ, ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරෙකි. වාමාංශික දේශපාලන ව්‍යාපාරයක වෘත්තීය සමිති ව්‍යාපාරයේ, වෘත්තීය සමිතිය නියෝජනය කළ ඔහු ඒ නිසාවෙන් ම බොරු චෝදනාවක් මත, සේවයෙන් දොට්ට දමා ඇත. එතැන් පටන් සිය ජීවිතයේ මහා ජීවන අරගලයක, බොහෝ සංවේදී සටහන් පෙළක් ඔහු ලියූ සටහන් අතර ඇත.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සිය එක ම පුතු, කන්දකාඩුව පුනරුත්ථාපන කඳවුරේදී උණ රෝගයක් වැළදී, මිය ගිය බවත්..., තම එක ම දුවණිය, බිරිඳ විදේශ ගතව සිටින පිරිමියෙකු සමග අනියම් සබඳතාවය ක් ඇතිකරගෙන ඔහු සමග පැනගිය බවත්, පසුව ඔහු ගේ මාර්ගයෙන් විදේශ ගත වූ බවත්, දරුවන් සමග ගොඩනැගූ සුන්දර ලෝකය, එසේ ඉතාමත් ඛේදනීය ලෙස නිමා වූ බව ත් ඔහු ලියා තිබිණ...

ඔහු ගේ රෝගය පිළිබඳව හා විටින් විට රෝහල් ගතවීමේදී සිදු වූ, කටුක අත්දැකීම් ගැන ද එහි සටහන් තිබිණි.

දියවැඩියාව නිසා කකුලේ ඇතිවූ තුවාලය, යළිත් කිසිදු දිනෙක සුව නොවනු ඇතැයි ඔහු සිතූ බව පෙනේ..

කකුලේ තුවාලය මට මහත් වදයකි. විටෙක එය වේදනා ගෙන දෙයි.. විටෙක ඉන් අප්‍රසන්න සිනි කුයිලක් හමයි... මෙය හොඳ වීමට ගතවන කාලය හා මා තවදුරටත් ජීවත් වේ යැයි සිතිය හැකි කාලය සැලකිල්ලට ගැනීමේ දී, ඒ කාලය බොහෝ දිගු යැයි මම සිතමි. තුවාලය ගැන කරදර වීම වැදගැම්මකට නැති දෙයකි.... මේ ඔහුගේ එක් සටහනකි.

තුවාලයට බෙහෙත් ගැනීමට තමා ගේ පෞද්ගලික බෙහෙත් ශාලාවට, නොපැමිණීම සම්බන්ධ ව උරණ  වූ රෝහලේ වෛද්‍යවරයෙකු, අනෙකුත් රෝගීන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉදිරියේ, තමාට ඉතා පහත් ලෙස බැණ වැදුණු බවත්, තමා කෙරෙහි ඇති වූ ආත්ම අනුකම්පාව නිසාවෙන් ම, කාරුණික හෙද නිලධාරිනිය ක් ඉදිරියේ තමා පොඩි එකෙකු සේ, හඬා වැටුණු බවත් ඒ සටහන් අතර ලියා තිබිණි..

මේ රාත්‍රියේ මා ඉතාමත් අපහසුතාවයට පත් කළ සංවේදී ම සටහන නම්, ඔහු ගේ පවුලේ වූ අවසාන සාමාජිකයා ඔහු හැරයාමේ සිදුවීමයි. මම එය කිහිප විටක් කියවීමි...

තම පුතු ගේ වියෝවින් පසු ඔවුනට ඉතිරි වූ අවසාන බලාපොරොත්තුව.. සුරතලෙන් හැදූ දුවණිය... මේ  පව්කාර සමාජය, රකුසකු ලෙසින් විත් ගිල දැමූ පසු, ගේදොර විකුණා දමා මෙම ප්‍රදේශයේ ඇති වත්තක වූ මුරගෙදරක ට පැමිණීම ට ඔවුන් තීරණය කර ඇත.

ගෙවී ගොස් ඇත්තේ ඉතා කෙටි කාලයකි. දැඩි මානසික පීඩනයකින් බොහෝ දේවල් දරාගෙන සිටි, සිය ආදරණීය බිරිඳ... කුසුමාවතීඑක්තරා අවාසනාවන්ත රාත්‍රියක හෘදයාබාධය ක් සෑදී මිය ගොස් ඇත.

මේ කුසුමාවතී යනු සයිමන් පෙරේරා ගේ ඇඳ ඉහ පතෙහි සඳහන් භාරකාරිනිය යි.

හදිසියේ රෝගාතුර වූ තම ආදරණීය බිරිඳ, මියෙන්නට පෙර රෝහල් ගත කිරීමට අපොහොසත් වීම හේතුවෙන්, ඔහු තුළ ඇති වූ පසුතැවිල්ල..  නිරන්තරයෙන් මහා ගිනි ගොඩක දමා පුළුස්සා දමන තරම්, වේදනාවක් ඔහුට ගෙන දෙන බව ඔහු ලියා තිබිණි.

කුසුමාවති ගේ මරණින් පසු සයිමන් පෙරේරා, නිශ්චිත තැනක පදිංචිව සිට නැත.

දැන් මට ඉන්න ස්ථිර තැනක් නෑ... ඒත් ඔයාලා තුන්දෙනා ම මාත් එක්ක ඉන්නවා....

දිනපොත තුළ ඡායාරූප තුනක් විය. ඒ ඔහු ගේ පුතා, දුව, සහ බිරිඳයි... සයිමන් පෙරේරා මේ පොත සැම විට ම දෑතින්  ම අල්ලා, පරිස්සමෙන් බෑගය තුළ දමා ගත් රහස දැන් මට වැටහේ..... ඒ ඔහු මියයන තෙක් ආරක්ෂා කළ, ඔහු ඉතා ආදරයෙන් ගොඩනැගූ ඔහු ගේ පවුලයි.

''ඉස්පිරිතාලෙ දි භාරකාරයා ගේ නම කියන්න කියලා කියන, හැමවෙලාවක දි ම මම කිව්වේ ඔයා ගේ නම  කුසුමාවති......'' මේ ඔහුගේ සටහනකි.

මේ නිදි වර්ජිත රාත්‍රියේදී මා හැඬ වූ සයිමන් පෙරේරා නම්, අවාසනාවන්ත මිනිසා ගේ දිනසටහන් පොත මම වසා තැබුවෙමි. පාන්දර හතරට ඇත්තේ තවත් විනාඩි කිහිපයකි. දිනපොත ඉතා පරිස්සමින් ඔහුගේ බෑගය තුළ තැන්පත් කළෙමි.

කාමරයෙන් එළියට පැමිණි මම, කොරිඩෝව දිගේ සෙමෙන් සෙමෙන් රෝහල තුළට නැවතත් පියවර තැබුවෙමි. කවුරුන් හෝ මුළු රෝහල ම නිශ්ශබ්ද කර තබා ඇති වා සේ ය. වැස්ස පායා පැහැදිලි වූ අහස  තරු එළිය පොළොව මත විසිරෙන්නට ඉඩ දී  ඇත. සයිමන් පෙරේරා තාමත් නිසොල්මන්ව ට්‍රොලිය මත වැතිර හිඳී. වසා ඇති රෙදි පට මෑත් කර මා සයිමන් පෙරේරා ගේ මුහුණ දෙස බැලීමි. මේ සමාජය ඔහු ට කළ මහා අසාධාරණය කෑ ගසා කියාවිදෝයි බියෙන් මෙන් ඔහු ගේ මුව ඇරෙන්නට නොදී රෙදි පටයකින් තදින් බැද තබා ඇතැයි මට සිතුණි...

පොලිසිය ට හෝ ග්‍රාම නිලධාරී ට හෙට දිනයේදී ත් කුසුමාවති හමු නොවන බව මම දැන් හොඳාකාර ව ම දනිමි.

සයිමන් පෙරේරා ගේ මළකඳ ට කුමක් සිදුවේදැයි සිතීම වැදගැම්මකට නැති දෙයකි..

අප කෙතරම් ප්‍රමාද ද...?

මා කිසිවක් කිසිවෙකුටත් නොකියා සිටීමට තීරණය කළෙමි.