කොඳ මල හා සඳ

දැන් වෙලාව හරි කෝ පෙට්ටිය වහන්න
බලුප් වැල් අමතක වෙයි ඒක සුරේට දෙන්න
යටින් හිටිය ජිමී ඌ පෑගෙයි ටිකක් බලන්න
දැන් ඇති ඇඬුව හාමුදුරුවන්ට වඳින්න
එම්බාම් එක කරද්දි තුවාල පාරවල් ටික වැහුවා
හොඳට ගුටි කාල කීප සැරයක් ඇහුණ ඌ කිව්වා
බඩේ නම් බත් ඇටයක් නෑ ඌට ඕන නැති එව්වා
සුද්දයියෙ මං නෑහුණා වගේම ඔහේ හිටියා කිව්වා
සල්ලි දෙයි සමිතියෙන් පෙට්ටියට ගෙවන්න
නෙස්කැපේ අනම් මනම් එපා පහුවදාම වලලන්න
ගෙයි පඩිය යට හාරලා අරුංගල් දෙක ගොඩ ගන්න
හත්දවස පන්සලට දීලා ඒකෙන් ණය ටික ගෙවා ගන්න
සිල්පද තියෙන්නෙ රකින්න වගේම බිඳලත් දාන්න
ඒත් මට ඕන වුණේ තුන් වෙනි පදේ දහමෙන් මකලම දාන්න
කිරි සුවඳ නාදුන්න උන්ට ඇති හයිය පෙන්නල නටන්න
හැදුව උබට බෑ දැන් අඬල පව් සමා කර දමන්න
මං මැරුණේ නෑ සත්තයි පොඩි එකී හුස්ම ගන්න කම්
තාමත් ආදරෙයි ඒත් අහඹුවක වත් එපා උඹේ ආදරේ නම්
රිදෙන තැන් හාර හාර තනේ කඩලා පොළවෙ ගැහුව නම්
නිවන් සුව උඹටයි ...හිතේ සුව මටයි හුස්ම ගන්න කම්
ඉතින් පෙට්ටිය වහන්න එපා ඔහොම මට වඳින්න
ඒත් ආයෙ එන්නෙ නෑ දැන් ඇති තරම් බලන්න
හිතේ දුකක් නෑ එකම එක දෙයක් ගැන ඇරෙන්න
අම්මපයි බැරි වුණා පළමු සිල් පදේ උඹට කලින් මට බිඳින්න

--------------- --------------- ---------------


කපුටු පැලේ බිජු ලෑ උගේ ගුණ ගයලා
අවුරුදු පණිවිඩය ගෙන එන බව කියලා
අවිත්තියාගෙත් නඩුවට තිත තියලා
ස්කන්ධ කුමර වාහනේ නිදහස් කරලා
සුදු රෙදි හොරා කියලා හංවඩු ගහලා
සිවුරු හොරා යන නාමය පට බැඳලා
ගින්දර හොරා කියලා පාටට බැනලා
අවමන් කළේ දෑහින් දැකලද ඔහෙලා
ඇන්ජලා පැල්පොළ -
එදා තිබූ කෙළිලොල් ගති මෙදා තිබුණේ නැති වුණාට
සදා සොඳුරු මතක ගොඩක් අළුත් වුණා හැම දෙනාට
උදා ගිරෙන් නඟිනා හිරු අවරගිරෙන් බැස ගියාට
යොදා ගනිමු අලුත් දිනක් මතු දවසක එකතු වෙන්ට
උක් දඬු දුනු ඊතල සැර වැදිලා පහලට
සක් හඬ නඟලා සැනසෙන මිනිසුන් දුටු විට
රුක් මුදුනක හුදකලාවේ පිපිලා දිළුනට
දුක් දොම්නස් හැම මොහොතෙම දැනුණා මහදට
------------- ------------- -----------------

සඳේ උවනත පුරා පීදුණ
මගේ කොපුලත දකින්න
නුරා සීතල ළයේ ගැස්මක
රැඳෙන හැටි මට කියන්න
සරා ඇස් අග පිරූ ප්‍රේමය
හදේ ගැඹුරෙ ම තියන්න
සදාකල් හි ම නුඹේ තුරුළත
සොරා ගමි මම - නිවෙන්න
හදේ කොතැනක සොයා බැලුවද
නුඹේ සලකුණු පිපෙන්න
හේතු කුමටද කාලයක් හිත
නිධන් වූ බව දැනෙන්න
හැඟුම් උතුරා ගලන්න …
අහම්බෙන් වට සහස් පිණි පොද
උණුහුමින් මා තෙමන්න
හුස්ම නිවෙනා දා ක නුදුරින්
මතක රොනවුළු ඉසින්න

සෙත් කවක් වී ගැයෙන්න
---------------------

කොඳ මල හා සඳ
සඳකැන් වැටිලා දිය මත
තරු කැටත් කිමිදෙයි හෙමිහිට
කොඳ මල් සඳ හා මුමුණයි
නුඹ තනිවම ද කියා මේ රෑ
සඳ පිළිතුරු දෙයි රහසින්
නෑ මට තනියක් කෙදිනෙක වත්
තරු රෑන ඇවිත් මා වටකර
මට ගයනවා ගීත සහසක්....
ඉඟි බිඟි ද නුරා රස මායම්
නිවි නිවී දිළිහෙමින් නිල් වන්
ප්‍රේමයෙන් උමතු පෙම්වතියන්
රෑ අහස් ගැබේ හරි කෝළම්.....
හැමදාම රෑට සඳ එළියේ
මම පිපෙයි නිබඳ විල් දියේ
රෑ අහසෙ මැවෙන පෙම් රසේ
මම දුටුවෙ නෑ තවම සඳේ


