උණුසුම් පුවත්දේශපාලනසාහිත්‍යය හා කලාව

කාටුන් ශිල්පීන් දුටු ජනපති රනිල්

Press Vs. Prez හි කාටුන් ශිල්පීන් 40 ක ගේ නිර්මාණ කෘතිය වජිර අබේවර්ධන ගේ සම්පාදනයක්

මෙවන් නිර්මාණ ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක්

රටක් ලෙස අප ගත කරමින් සිටින්නේ අසීරු කාලයේ අවසන් කොටසයි

-  ජනපති පවසයි - 

පසුගිය අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ භූමිකාව මෙරට කාටුන් ශිල්පීන් දුටු අන්දම එක් කර පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් සම්පාදනය කළ  “Press Vs. Prez” කෘතිය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙවන් නිර්මාණ රටක ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක් බවත්, රට තුළ ස්ථාපිත වී ඇති නිදහස මෙමඟින් තහවුරු වන බවත්ය.

ඒකාධිපති රජ්‍යයක කිසිදු අවස්ථාවක මෙවන් නිර්මාණ බිහි නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සාපරාධී අපහාස නීතිය ඉවත් කිරීමට ලැබීම පිළිබඳව තමා නිහතමානීව ආඩම්බර වන බව ද සඳහන් කළේය.

පසුගිය කාලය තුළ රජය අසීරුවෙන් හෝ ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් අද රටේ ආර්ථිකය ධනාත්මක තත්ත්වයකට ගෙන ඒමට හැකි වී තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා අද අප රටක් ලෙස ගත කරමින් සිටින්නේ අසීරු කාලයේ අවසන් කොටස බව ද පැවසීය.

අසීරු සමයක, සිතට සතුටක් ගෙන එමින් මෙම සියලු විකට නිර්මාණ සිදු කළ නිර්මාණ ශිල්පීන්ට සිය ස්තූතිය පුද කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා 2021 ජූනි 23 වනදා 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන් දා සිට එතුමාගේ ගමන් මග පිළිබඳ 2023 මැයි මාසය දක්වා පුවත්පත්වල පළවු කාටූන් නිර්මාණ 618 ක් පමණ එක් කර මෙම කෘතිය සම්පාදනය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් මෙහිදී කෘතිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

කාටූන් ශිල්පීන් 40 දෙනෙකු සහ ජනමාධ්‍යවේදීන් 20 කට ආසන්න පිරිසක් විසින් මෙහි නිර්මාණ දායකත්වය ලබා දී තිබෙන අතර එම කාටුන් ශිල්පින් සහ   රූපවාහිනිය ඔස්සේ ඒවා ඉදිරිපත් කළ රූපවාහිනී නිවේදකයින් ද මෙහිදි ජනාධිපතිවරවයා අතින් ඇගයීමට ලක් විය.

කෘතිය එළිදැක්වීමේ අවස්ථාවේ  විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ඉන්දීය කාටූන් ශිල්පී නාලා පොන්නප්පා මහතා සහභාගී වූ අතර ඔහු විසින් විශේෂ දේශනයක් ද සිදු කරනු ලැබීය.

කෘතියේ විචාර දේශනය මහාචාර්ය රොහාන් නෙත්තසිංහ මහතා විසින් සිදු කරන ලදී.