(කාටූනය උපුටා ගැනීම The Island පුවත්පතෙනි)
අනුර ගේ ජනාධිපති දෙවර්ෂ පූර්ණය 21 දා
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා 2024 සැප්තැම්බර් 21 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් ජයගෙන ජනාධිපති පදවියට පත්වී සැප්තැම්බර් 21 වැනිදාට වසර දෙකක් සම්පූර්ණ වෙනවා.
ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වීමත් සමඟ අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපතිවරයා ඇතුළ ජාතික ජන බලවේගය තීරණය කොට ඇතැ යි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
පැලවත්තේ දී ඉහළ පෙළේ සාකච්ඡාවක දී යෝජනා වෙලා?
ලබන නොවැම්බරයේ ඉදිරිපත් කෙරෙන රජයේ අයවැය සකස් කිරීම සඳහා පසුගිය දිනවල ජනාධිපතිවරයා එක් එක් අමාත්‍යාංශවල ඇමතිවරුන් ඇතුළු නිලධාරීන් ගෙන්වා සාකච්ඡා පැවැත්වුවා.
එක් එක් අමාත්‍යාංශ පසුගිය දෙවසර තුළ කටයුතු කොට ඇති ආකාරය හා ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා නිරීක්ෂණ කොට තිබෙනවා. ඒ අනුව අඩු ප්‍රගතියක් දක්වා ඇති අමාත්‍යාංශ කෙරෙහි අවධානය යොමු කරමින් කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට පසුගිය දා පැලවත්ත පක්ෂ මූලස්ථානයේ පැවති ඉහළ පෙළේ සාකච්ඡාවක දී තීරණය වූ බව ද එම ආරංචි මාර්ග තව දුරටත් පැවසුවා.
එසේම විෂයයන් කිහිපයක් පැවරී තිබීම නිසා ඇතැම් ඇමතිවරුන්ට එක් විෂයක් ගැන වැඩි අවධානයක් යොමු කිරීමට නොහැකිවීම හේතුවෙන් සමහර අමාත්‍යාංශවල කටයුතු දුර්වල තත්වයක පවතින බවත් එම ඉහළ පෙළේ හමුවේ දී සාකච්ඡා වී ඇති බව ද වාර්තා වෙනවා.
නලින්දට විදෙස් ඇමතිකම!

සෞඛ්‍ය ජාජබ ලේකම් වෛද්‍ය නිහාල්ට?
ජනමාද්‍ය හා සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විදේශ කටයුතු ඇමති ලෙසත්, විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා ජනමාධ්‍ය ඇමති ලෙසත් සෞඛ්‍ය ඇමති වශයෙන් ජාතික ජන බලවේගයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පත් කිරීම ගැනත් මෙහිදී යෝජනා වී තිබෙනවා.
කෘෂිකර්මෙ ලාල්ගෙන් හැළේ?
එසේම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයෙන් ඉඩම් හා වාරිමාර්ග වෙන්කොට ඉඩම් සහ වාරිමාර්ග ඇමති ධූරය ලාල් කාන්ත මහතාට ලබා දීමටත්, කෘෂිකර්ම හා පශු සම්පත් ඇමති ධූරයට වෙනත් ඇමතිවරයකු පත් කිරීමටත්, මෙහිදී සාකච්ඡා වූ බව ද පැලවත්තෙන් වාර්තා වෙනවා.
එහෙත් මෙම ඉහළ පෙළේ සාකච්ඡාවේ දී ඉදිරිපත් වූ යෝජනා පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට එළඹ නැති බවත් එම ආරංචි මාර්ග තව දුරටත් ප්‍රකාශ කළා.
එසේම පාර්ලිමේන්තුවේ දීත්, පිටතදීත් ආණ්ඩුව වෙනුවෙන් කැපී පෙනෙන කාර්යභාරයක් සිදු කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනකු නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගේ අවධානය යොමු වී ඇති බවත්, දැනගන්නට තිබෙනවා.
•••• ••••• •••••
ආණ්ඩුවේ දෙවසරක ප්‍රගතිය ගැන කියන්න රැලි මාලාවක් - ඇරඹුව සැප් 6 වනදා
මේ අතර ආණ්ඩුවේ දෙවසරක ප්‍රගතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ලබන සතියේ සිට ජන රැලි මාලාවක් පැවැත්වීමට ජාතික ජන බලවේගය තීරණය කොට ඇති අතර එහි පළමුවැන්න සැප්තැම්බර් 6 වැනිදා කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල දී හා බුලත්සිංහල දී පැවැත්වෙන බව ජාතික ජන බලවේගයේ ප්‍රකාශකයෙක් කියා සිටියා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් මෙම ජන රැලි මාලාවේ දෙවැන්න සැප්තැම්බර් 12 වැනිදා පොළොන්නරුවේ දී හා 13 වැනිදා අනුරාධපුරයේ දී පැවැත්වෙනවා.
ඉන්පසු අනෙකුත් රැලි සැප්තැම්බර් 20 වැනිදා මාතර දී හා 27 වැනිදා ගම්පහ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මෙයට අමතරව පසුගිය සති කිහිපය තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලිමාවේ සාමාජිකයින් හමුවී පක්ෂයේ හා ආණ්ඩුවේ කටයුතු ගැන ඔවුන් දැනුවත් කිරීම සඳහා මැතිවරණ කොට්ඨාස මට්ටමින් නිල නොවන රැස්වීම් ගණනාවකට සහභාගි වී තිබුණා.
සෑම මැතිවරණ කොට්ඨාසයක ම මාලිමාවේ ප්‍රාදේශීය ප්‍රධානියකුගේ නිවසේ පැවති රැස්වීම්වලට පිටස්තර අය සහභාගි කරවා ගෙන නැහැ. ආණ්ඩුවෙන් ඈත්වී සිටි හා කලකිරී සිටි පාක්ෂිකයින් හා ආධාරකරුවන්ට ආණ්ඩුවේ කටයුතු ගැන මෙහිදී කරුණු පැහැදිලි කර දී ඇති අතර ඔවුන් දිගට ම පක්ෂය තුළ රඳවා ගැනීම මෙම රැස්වීම් මාලාවේ අරමුණ වී තිබුණා.
මේ අතර ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට යන 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පසුගිය සිකුරාදා (28 ) වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 27 ක් ඉදිරිපත් වී තිබුණා.
මෙයින් පෙත්සම් 24 කින් ඉල්ලා තිබුණේ යෝජිත පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙසයි. අනික් පෙත්සම් තුනක් මගින් යේජිත පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා තිබුණා.
කෙටුම්පතට පෙත්සම් 24 ක් විපක්ෂව/ පක්ෂව 3 ක්
ශ්‍රී ලංකා නීතිඥ සංගමය, නිදහස් නීතිඥ සංවිධානයේ (Free Lawyers) සභාපති ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, මහාචාර්ය ජී. එල්. පීරිස්, සමගි ජන බලවේගය, සර්වජන බලය, නීතිඥ උදය ගම්මන්පිල, ආචාර්ය පාක්‍යසෝනි සරවනමුත්තු, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් දුමින්ද නාගමුව, මිලින්ද රාජපක්ෂ, විනිවිද පදනමේ භාණ්ඩාගාරික සුනිල් ජයසුන්දර, ආචාර්ය අජන්ත පෙරේරා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය, ශිරාල් ලක්තිලක, මහාචර්ය අර්ජුන පරාක්‍රම හා තරුණ නීතිඥ සංගමය විසින් ගොනුකොට ඇති මෙම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කොට තිබෙනවා.
යෝජිත පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට එකඟ බවට ප්‍රකාශ කරන ලෙස නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර, විශ්‍රාමික හිමිකම් සුරැකීමේ සංවිධානයේ සරත් ලාල් පෙරේරා සහ නීතිඥ ජනක අධිකාරි යන මහත්වරුන් විසින් සිය පෙත්සම් මඟින් ඉල්ලා තිබෙනවා.
පනත් කෙටුම්පතට විරුද්ධව පෙත්සම් ඉදිරිපත් කර ඇති අය සිය පෙත්සම් මඟින් මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් පවත්වන ලෙස ද ඉල්ලා සිටිනවා.
රනිල් පිටුපසින්?
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව පෙත්සම් ඉදිරිපත් කොට ඇති පිරිස පසුපස සිටින්නේ හිටපු ජනාධිපති හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බවයි පැවසෙන්නේ.
වික්‍රමසිංහ මහතා මහාචාර්ය ජී. එල්. පීරිස්, සමගි ජන බලවේගයේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ හා සර්වජන බලයේ නායකයින් මල්පාර් පිහිටි සිය කාර්යාලය වෙත කැඳවා ඔවුන් සමඟ පනත් කෙටුම්පත පරාජය කිරීම හා එයට විරුද්ධව රටපුරා හඬක් නැඟීම ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඔවුන්ට උපදෙස් දී ඇති බව ද පැවසෙනවා.
මේ අතර සජිත් ප්‍රේමදාස මහතා ද තිස්ස අත්තනායක, අජිත්. පී. පෙරේරා, සුජීව සේනසිංහ යන මහත්වරුන් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ පියාණන්ගේ අවමඟුලට සහභාගිවීම සඳහා හෙළිකොප්ටරයකින් බණ්ඩාරවෙල බලා ගොස් තිබෙනවා. ඒ යන අතර මඟ දී මේ පිරිස අධිකරණයේ ප්‍රධානියකුට විරුද්ධව සමාජ මාධ්‍යවල පසුගිය දා ප්‍රචාරය වූ කතා ජනතාව අතරට ගෙන යා යුතු යැයි සාකච්ඡා කොට ඇති බවත් දැනගන්නට තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුමපතට එරෙහිව නීතිඥ සංගමය, සමගි ජන බලවේගය, පොදුජන පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂය අතුළු දේශපාලන පක්ෂ හා සංවිධාන රාහියක් මෙමඟින් අධිකරණයේ ස්වාධීනත්වය නතිවී යන බවත්, ආණ්ඩුවේ අරමුණ දිගට ම බලයේ රැඳී සිටීම බවත් මහනාහිමි වරුන්, අගරදගුරුතුමා, ආදී ආගමික නායකයින් හමුවී කරුණු දක්වමින් යනවා.
මොවුන්ගෙන් පිරිසක් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය වෙත ගොස් 22 වැනි සංශෝධනයෙන් ශ්‍රි ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වී යන බව පවසමින් එහි ප්‍රධානීන්ට සංදේශයක් බාර දුන්නා.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මාර්ගට් සැටර්ත්වේට් නිවේදනයක් නිකුත් කරමින් යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණොත් අධිකරණයේ ස්වාධීනත්වයට හානි සිදුවන බව පවසා තිබුණා.
මෙයට පිළිතුරු ලෙස රජය ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය මඟින් යවා ඇති පිළිතුරේ දැක්වෙන්නේ මෙම සංශෝධනය කිසිසේත් ම විධායකයේ අභිමතය පරිදි හෝ දේශපාලන අවශ්‍යතා මත සකස් කර නොමැති බවයි.
ඉහළ අධිකරණවල පවත්නා අධික නඩු තදබදය සහ වසර ගණනාවක සිට පවත්නා නඩු ප්‍රමාදයන් අවම කරමින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම මෙම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුන බව ද රජය යවා ඇති ලිපියේ සඳහන් වෙනවා.
වාසුයි, විගියි, දෙමස්සිනන් පක්ෂයි
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීම සඳුදා (31) අවසන් වන අතර ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විභාගය සැප්තැම්බර් 2 වැනිදා ආරම්භ වීමට නියමිත යි.
මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ විධායක සභිකයකු වන ජනාධිපති නීතිඥ ලාල් විජේනායක මහතා දැඩි ලෙස විරෝධය පළ කොට තිබෙනවා.
එසේම වමේ පක්ෂ ද මෙම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වෙද්දී නව ප්‍රඩාතන්ත්‍රවාදී පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා එයට පක්ෂව අදහස් දක්වා තිබීම විශේෂයෙන් කැපී පෙනෙනවා.
මේ අතර දෙමළ මහ සභාවේ නායක උතුරේ හිටපු ප්‍රධාන ඇමති සී. වී. විග්නේෂ්වරන් මහතා ද 22 වැනි සංශෝධනය මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අනුමත කොට තිබෙනවා.
''විනිසුරුවරුන්ට වයස අවුරුදු 90 දක්වා සේවය කිරීමට ඉඩදිය යුතු යි. දැන් මගේ වයස 87 යි. එසේ විනිසුරු වයස 90 දක්වා දීර්ග කළොත් මා යළිත් නඩු ඇසීමට එනවා" යැයි ඔහු යාපනයේ දී මාධ්‍යවලට පවසා තිබුණා. විග්නේශ්වරන් හා වාසුදේව නානායක්කාර මහත්වරුන් නෑකමෙන් දෙමස්සිනාවරුන් ය. වාසුදේවගේ පුතා විවාහ වී සිටින්නේ විග්නේශ්වරන්ගේ දියණිය සමඟ යි.
මෙම 22 වැනි ව්‍යවස්ථා සංශෝධනපනත් කෙටුම්පත සම්මත කිරිම සඳහා ජනමත විචාරණයක් පවත්වන ලෙසට නියෝගයක් කරන්නැයි විපක්ෂය ඉල්ලා ඇතත් ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තවත් මසක් ඇතුළත දැනගත හැකි වෙනවා.
- ජගත් -