උණුසුම් පුවත්

කිසිම විධියකින් මැතිවරණ කල් දාන්නේ නෑ – අධිකරණ ඇමති

සාධාරණ සමාජයක් ව්යාපාරයේ සංවාදයක දී විජේදාස රාජපක්ෂ එසේ කියයි

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබදව අදහස් පළ කිරීම සදහා සාධාරණ සමාජයක් සදහා වු ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබු සංවාදයකට ඊයේ ( 26) පස්වරුවේ එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් පළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
අපේ රටේ දැනට පවතින මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුයි. 1994 , 2015 මැතිවරණවලදී සහ තවත් අවස්ථා කිහිපයකදී මේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතු බවට යෝජනා වුණා. පවතින මැතිවරණ ක්‍රමයේ වැඩි වශයෙන් පවතින්නේ රටට අහිතකර දේවල් බව වටහා ගත යුතුයි. ඡන්ද කොට්ඨාශ යටතේ මන්ත්‍රිවරුන් 160 ක් සහ සමානුපාතික ක්‍රමය යටතේ තවත් මන්ත්‍රිවරුන් 65 ක් තෝරා ගැනීම නව මැතිවරණ ක්‍රමය මගින් යෝජනා කර තිබෙනවා. අවශ්‍ය පරිදි බහු ආසන ක්‍රමය ඇති කළ හැකියි. ඒ ආසන ක්‍රමය පළාත් මට්ටමින් සිදු කරනවා ද නැත්නම් පළාත් වශයෙන් කරනු ලබනවා ද යන්න තීරණය කළ හැකියි.
මැතිවරණ වියදම් නියාමන පනත මේ වන විට සම්මත කර තිබෙනවා. එය ක්‍රියාත්මක කිරීමේ බලය මැතිවරණ කොමිසම සතුයි. සාමාන්‍ය වෘත්තිකයන්ට පවතින මැතිවරණ ක්‍රමය තුළ ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නැහැ. මැතිවරණ වියදම් නියාමන පනත ක්‍රියාත්මක වීමත් සමග මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුයි. මේ අවස්ථාවේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබදව අදහස් පළ කරන්නේ මැතිවරණ කල් දැමීමට බව ඇතැම් අය සදහන් කරනවා . කිසිම ආකාරයකින් මැතිවරණ කල්දැමීම මේ මැතිවරණ ක්‍රමය සංශෝධනය හරහා සිදු කරන්නේ නැහැ. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබදව සියලු පක්ෂ නායකයින් එක්ව සාකච්ඡා කර තීරණය කළ යුතුයි. මේ ඡන්දයේදී අපහසුයි නම් ඉදිරි මැතිවරණවලදී අනිවාර්යයෙන්ම ඡන්ද ක්‍රමය වෙනස් විය යුතුයි. ඉදිරියේදී ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් පැවැත්වෙනවා. මේ සදහා සාකච්ඡා කළ යුතුයි. ප්‍රංශයේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම පිළිබදව වසර දෙකක් සාකච්ඡා කළා. අපේ රටට සෙනෙට් මණ්ඩලයක් ඇති කිරීම පිළිබදව අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර තිබෙනවා.ඇමෙරිකාව, ඉන්දියාව, ජර්මනිය, ජපානය වැනි රටවල සෙනෙට් මණ්ඩල තිබෙනවා. ඒ නිසා සෙනෙට් මණ්ඩලයක් වැනි ක්‍රමයක් අවශ්‍යයි. 1972 ව්‍යවස්ථාවෙන් අපේ රටේ සෙනෙට් මණ්ඩල ක්‍රමය අහෝසි කළා. සෙනෙට් මණ්ඩල ක්‍රමය අහෝසි කිරීම ජනවාර්ගික අර්බුදය ඇතිවීමටත් එක් හේතුවක් වුණා.සෙනෙට් සභාව තුළින් ජන වර්ග අතර විශ්වාසය ඇති කළ හැකියි. සෙනෙට් සභාව පත් කරනු ලබන ආකාරය පිළිබදව සාකච්ඡා කළ හැකියි. සාමාජිකයින් 35 දෙනෙකුගෙන් යුත් සෙනෙට් මණ්ඩලයක් මෙරටට ගැළපෙන බව ද අමාත්‍යතුමා සදහන් කළේය.
හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය, ආචාර්ය සුජාතා ගමගේ, නිශාන්ත වර්ණසුරිය, සාධාරණ සමාජයක් සදහා වු ජනතා ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර යන මහත්වරුන් මෙහිදි අදහස් පළ කළ අතර, සාධාරණ සමාජයක් සදහා වු ජනතා ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරූ ජයසුරිය මහතා ඇතුළු විද්වතුන්, දේශපාලන ක්‍රියාකාරීන්, වෘත්තිකයින්, සිවිල් ක්‍රියාකාරීන් ඇතුව පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.