උණුසුම් පුවත්විශේෂාංගසෞඛ්‍යය

කුසුමලතාට වැහුණු යකා

හිත ලෙඩ කරන බොරු භූතයෝ - (මනෝ ව්යාධි) කෘතියෙනි

හද්දා පිටිහර ගමෙක ඉපිදැ හැදී වැඩුණු ඇය මා ඔබට හඳුන්වා දෙන්නේ කුසුමලතා යනුවෙන්. කුසුමලතා ගමට නුදුරු නගරයට සේන්දු වුණේ අදින් හවුරුදු තිස්පහකට තිස් හතකට වගේ පෙර කලෙක. ඈ නගරයේ පැළපදියම් වුණේ නගරයේ සිට ඒ ගමට ධාවනය කෙරුණු සීටීබී බස් එකේ ඩ්‍රැයිවර් පියසේනත් (මනඃකල්පිත නමකි) එක්ක ඇති කරගත්තු පෙම් පැටළිල්කට පින් සිද්ධ වෙන්න. ගැමි යුවතියක සේ බෝ නිවී හැනහිල්ලෙ ගමේ හුන් කුසුමලතා නගරෙට කැන්දන් ආ පියසේනත් එක්ක බෝ අදරෙන් පෙමින් වෙළී වසරක් ගතවෙද්දි දියණියකගෙත්, පුතකුගෙත්, අම්මා තාත්තා වුණේ පැටවුන් අතර හවුරුදු තුනක විතර පරතරයක් තබමින්. මේ දෙන්න දෙමාල්ලන් දියණියනුත් පුතණුවනුත් ඉස්කෝලෙ යන වයසට එළඹුණු විට ඔවුන් නගරයේ ඇති බෝ ජනප්‍රිය පාසල් දෙකකට අකුරු කරන්න යැව්වෙ දාහකුත් එකක් බලාපොරොත්තු හිත් හතන්වලට තුරුළු කරන්. අපරාදෙ කියන්න බෑ කෙල්ලයි කොල්ලයි ඉගෙන ගන්නත් ගජ හපන්නු. අක්කයි මල්ලියි පන්තියෙන් පන්තියට ඉහළට යද්දි බොහොම දස්සකං පෙන්නුවේ, සිල්ප දැක්වුයේ, මාපියන්ගෙ හිත්හතන්වලට අහිංසක ආඩම්බරයක් ඇති කරමින්.
කුසුමලතා ගෙ සැමියා ඈට වඩා හවුරුදු තුනකට විතර වැඩිමාල්. ඔවුන් ගේ කුටුම්බය ආදරෙන් සෙනෙහෙන් දුවගෙයි පුතාගෙයි, ඒ දෙන්නගෙ ළමා ළපටියන් ඒරොප්පෙ ගත කරන උජාරුව අහල පහල අයත් එක්ක කියන්නෙ හරිම කැමැත්තෙන්. ළමයින් ද හැම අවුරුද්දකම අම්ම තාත්තා බලන්න නො ඇවිත් හිටියෙ නෑ.
පපුවෙ අඩස්සියක් හැදී පියසේන මියැදුණේ අදින් හවුරුද්දකට දෙකකට විතර කලින්. තාත්තා ගේ අවසන් කටයුතු කරන්න ලංකාවට ආ දියණිත් පුතත් අම්මා ගෙදර තනිකරන්න කැමති වුණේ නෑ. ඒත් අම්මා නෙවෙයි දරුවන් දෙන්නගෙ බහට අවනත වුණේ.
“උඹල ඔය රට රාජ්ජවල ගිහින් පැළපදියං වුණාට දරුවනේ මං මේ ගෙදරින් අඩියක්වත් දොට්ට තියන්න කැමති නෑ. මට මේ ගෙදර තනියම ඉන්න බැරි කමක් නෑ. මගේ තනියට අහල පහල උදවිය ඉන්නව.”
ජීවන ගමනෙ පස්වැනි දසකයෙ කෙළවර කිට්ටුවට ළඟා වී ඉන්න අම්මා දරුවන්ගෙ ඇඟට ගොඩවුණේ එහෙම කිය කියා.
“ඒ වුණාට අම්මෙ අම්මට ලෙඩක් දුකක් හැදුණොත් කවුද උදව් උදව්වකට උපකාරයකට ඉන්නෙ. අපට බෑ අම්මා තනියෙන් ගෙදර දමල හිතක් සතුටක් ඇතිව ගිහින් ඉන්න. අම්මා යමු අපිත් එක්ක.”
දුවණියත් පුතණුවනුත් දවස් ගාණක් තිස්සෙ බැගෑපත් වෙමින් කළ ඉල්ලීමට කුසුමලතා හුන්නෙ බීරි ඇතින්නක් වගෙ.
ඔවුන් ආපහු ඒරොප්පෙ බලා ගොස් සති දෙක තුනකට විතර පස්සෙ කුසුමලතා අල්ලපු ගෙදර උදවියත් එක්ක වචන හුවමාරුවක පැටළුණේ කුණු ප්‍රශ්නයකට. අහලපහල ඇත්තන් හා ඈ අතර හවුරුදු තිහක තිස් පහක විතර තිබූ ළෙන්ගතුකම්, හිතවත්කම් දෙදරුවේ කුණු කතන්තරවෙත් එක්ක. ඈ එරෝප්පෙට කතා කර කීවා. පුතත් දුවත් කීවේ අහලපහල උදවිය එක්ක රණ්ඩු සරුවල් කරගන්නෙ නැතිව ඉන්න කියා. හැබැයි ඉතින් මේ වෘද්ධතර කාන්තාව එක්ක අසල්වැසියන් තිබූ අරෝව අමතක කරදමා ඔවුන් ඈ හා සමාදානයෙන් කල් ගත කරන්න හිතා ගත්තෙ හුදෙකලා වූ මේ වයසක මනුස්සය ගතකරන ජීවිතය කෙරෙහි පිරුණු කැදැල්ලක්. බස් ඩ්‍රැයිවර වුණාට මේ මනුස්සයට නගරෙ තියෙන ගේ තරමක ලොකු එකක්. හැබැයි ඒක ටිකක් පරණ පන්නෙ එකක්. මේ නිවහන ප්‍රධාන වීදියක වූ අතුරු මගකයි පිහිටියේ. ඒ අතුරු මාර්ගයේ තවත් නිවෙස් ගණනක්, හරියට ම කිව්වොත් අටක් තිබෙනව. ගමෙන් නගරයට සංක්‍රමණය වූ කුසුමලතා අසල්වැසියන් හැම දෙනාට ම හිතවත් බවක් පෑවේ බෝ පිරිසිදු සිතින්. ඈ කොයි කාටත් සැලකුවේ එකම විදිහට. ඇගේ ම නෑ සියන්ට දක්වන ආකාරයේ සෙනෙහෙයක්.
ගැමි සුවඳ වහනය වෙන මේ කාන්තාව කොයියම්ම වෙලාවකවත් ඈ සතු ගමේ ගතිය, යටපත් කරන්, නගරෙ බොහෝ කාන්තාවන් වගේ විලාසිතා පෙරහැරට එක්වුණේ නෑ. අසල්වැසියන් ද කුසුමලතා හරියට බඩ බැඳගත්ත වගෙ යි. ඇගේ දරු දෙන්නටත් අහල පහල ඇත්තන් පෑව සෙනෙහෙ අඩුවක් නෑ. හරිම ළෙන්ගතුයි.
කොහොම කොහොම හරි කුසුමලතාගෙත් පියසේන ගෙත් දරුවන් දෙන්නා උස්මහත් වී තුරුණු වියට එද්දි දියණියන්ට ඒරොප්පෙට යන්න අවස්ථාවක් උදාවුණේ අහඹුවෙන්. ඈ ඒරොප්පෙට ගියේ මහත්තයට ලැබුණු රැකියාවක් හින්ද. ඈත් සැමියත් දැන් ජර්මනියෙ ස්ථිර පදිංචිකරුවන්. ඊට පස්සෙ අක්කා මල්ලී ද ඒරොප්පෙට කැන්ද ගත්තෙ සොවුරාගේ බලවත් ඉල්ලීම නිසා. ඒ මීට හවුරුදු හය හතකට කලින්. දරුවන් දෙන්න රට රාජ්ජෙක රස්සාවක් කරන් ඒ රටේ ම ස්ථිර පදිංචිකරුවන් වෙනවට තාත්තා නම් බොහොම කැමැත්තක් දැක්වූවත් කුසුමලතා එතරම් සතුටක් පෙන්නුවෙ නෑ. කොහොම වුණත් ඈ දරු දෙන්නට යහපතක් වෙනවා දකින්න කැමති ඕනැම අම්ම කෙනකුට තියෙන ආසාව හින්ද අකමැත්තෙන් වුණත් අසතුටක් පෙන්නුවෙ නෑ.
දියණියනුත් පුතණුවනුත් ඒරොප්පෙ හිට මාපියන්ට ජීවත්වීමට අවශ්‍ය සබ්බ සකල ම අඩුපාඩුවකින් තොරව ලබා දෙන්න බින්දුවක්වත් අතපසු කළේ නෑ. අම්මයි, තාත්තයි, කරන කරදර හිරිහැර ගැන දැක බලා හොයා ගන්න ඕනෑ යැයි තීන්දු කළ අක්කයි මල්ලියි ඊට අවශ්‍ය පියවර ගන්න දෙපාරක් හිතුවෙ නෑ. ඉතාම ඉහළ වර්ගයේ සීසීටීවී කැමරා පද්ධතියක් කුසුමලතා ගෙ ගෙදර හතර පැත්තෙ සවි කෙරුණෙ දරු දෙන්නා ගේ දුරදක්නා නුවණින්. එතැන් පටන් මේ අක්ක මලෝ දෙන්න ගෙදර සිද්ධවෙන හැම දේ ම එරොප්පෙ ඉඳන් දැන් බලනව. බැලින්නම් ඔවුන්ගේ සැකය නිවැරදියි. අහලපහල ගේ දොරවලට රෑට රෑට ගල් මුල්වලින් පහර දෙන්නෙ අම්මා. ඔවුන් ගේ අම්මා. කුසුමලතා... කුසුමලතා... අක්කයි මල්ලියි මූණට මූණ බලා ගත්තා.
“මොකක් ද අම්මෙ, අම්ම කරන මේ වැඩේ තේරුම. අහලපහල මිනිස්සු නෙවෙයි නෙවැ ගල් ගහන්නෙ. ඒ උදවියගෙ ගේ දොරට, දොර ජනෙල්වලට, ගල් මුල් ගගහ හානි කරන්නෙ අම්ම නෙවැ... අහලපහල උදවිය නේ ද අම්මට මොකක් හරි කරදරයක් විපැත්තයක් වුණොත් හොයා බලන්නවත් ඉන්නෙ.”
අක්කයි මල්ලියි එරොප්පෙ ඉඳන් කුසුමලතාට කීවෙ ඇගේ හිත කැඩෙන බිඳෙන විදිහට නෙවෙයි. බෝම ආදරෙන් කරුණාවෙන්. බෝ ස්නේහයෙන්.
“උඹලට මෙකදැ උඹල ඉන්නෙ එරොප්පෙ නෙවැ. මේ ගෙවල්වල ඉන්න නොසණ්ඩාල කොල්ලො කුරුට්ටො මට්ටු කරන්න පුළුවන් යැ. නැත්තං. උන් කරෙත් නගින්න ඒවි. ඒක වලක්කන්න තමා මං නිතරම කල්පනා කරන්නෙ.”
අම්මා පිළිවදන් බැන්දෙ ඈ කරන වැඩේ සාධාරණ බව කියන්න වගේ.
අම්මා ගේ හැසිරීම් කෙරෙහි මැනවින් අවබෝධ කර ගත්තු දූ දරු දෙන්නා ඊළඟට ඇගේ බලවත් අකමැත්ත මැද්දෙ ඈ නිතර යන එන නෑ ගෙදරක නතර කරන්න පියවර ගත්තෙ ලෙඩක් දුකක් හැදුණොත්, අතුරු අන්තරාවක් වුණොත්, ඈට පිහිට වෙන්න කවුරුවත් නැති බව කියමින්. දරුවන් ගේ බලවත් පෙරැත්තය නිසා ම කිට්ටුව පදිංචි මහත්තයගෙ ඥාති ඇති අනුකම්පාව නිසා. ඔවුන් එහෙම සිහිබුද්ධියෙන් හිටියත් කුසුමලතා දරුවන්ට කතා කර කර කීවේ අසල්වැසි නිවැසියන් ඈ දිහා ඔරොවා බලන බව. කටුකුටු ගගා තමන්ට හතුරුකම් කරන බවක්.
අම්මා එහෙම කීවත් එරොප්පෙ ජීවත්වන දරුවන් අම්මගෙ කතාව විශ්වාස කළේ නෑ.
“අම්මා පරෙස්සමෙන් ඉන්න.” දුවත් කීවා. පුතත් කීවා.
මවට එසේ කී ඔවුන් කිට්ටුව නිවසක සිටින ඥාතිවරයකුට කීවෙ අම්මා කියන කතාව ගැන ටිකක් හොයා බලන්න කියා. ඥාතියා දවස් දෙක තුනක් කුසුමලතාගෙ තනි නොතනියට ඇවිත් හිටිද්දි නම් ඔහුට එහෙම දෙයක් දැනුණෙ නෑ. තේරුණේ නෑ. ඔහු දවසකට වරක් දෙවරක් යෑම් ඊම් කළා ඥාතියගෙ වන්හුන් හොයා බලන්න. ඒ ගැන එරොප්පෙටත් වාර්තා කළා. සති දෙක තුනකට පස්සෙ යළිත් අම්මා එරොප්පෙට කතා කර කීවේ හැමදාම රෑට රෑට අසල්වැසි උදවිය ගෙදරට ගල් මුල්වලින් ගහනව කියා. එතනින් නොනැවතුණ කුසුමලතා පොලිසියට පැමිණිල්ලක් කළ හම සාම නිලධාරින් දෙන්නෙක් ඇවිත් හොයා බැලුවා මේ වයෝවෘද්ධ කාන්තාවට හිංසා පීඩා කරන කුප්පිදුවන් කවුදැයි කියා. පොලිස් විමසීමෙදි අසල්වැසියා චෝදනා කළේ ඈ හැමදාම රෑට තම නිවසට විතරක් නොව යාබද ගේ දොරට ද ගල්මුල්වලින් දමා ගහනව කියලයි. අසල්වැසියන් නගන චෝදනාව කුසුමලතා පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රතික්ෂේප කළා බොහොම කේන්තියෙන්. ඔවුන්ට බැණ බැණ. මේ සියල්ල ඈ පුරුදු පරිදිම දරු දෙන්නාට පැවසුවෙ තමා හුදකලා කොට ඔවුන් එරොප්පෙටවෙලා සැපසේ ඉන්නව යැ යි දොස් පරොස් නඟමින්.
අම්මා කියන දේ කෙරෙහි කිසියම් සැක සිතත් ඇතත් ඈ රැකගැනීම දරුවන් හැටියට තමන් සතු යුතුකම හා වගකීම හින්දා ඊට අවශ්‍ය විකල්පය මොකක් දැ යි ඔහුන් කල්පනා කළා. අන්තිමට අම්මා කියන පරිදි අසල්වැසියන් ඒ මහ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයෙ දි කුසුමලතා ප්‍රතිකාරවලට ලක් කෙරුණා. විශේෂඥ වෛද්‍යවරයා විසින් කරන ලද ඈ වෛද්‍ය පරීක්ෂණ ගණනාවකට ලක් කළා. ඒ පර්යේෂණවල දි ඇගේ මෙළය සීටී ස්කෑන් පරික්ෂාවකටත් භාජනය කළා.
මේ පරීක්ෂණවලින් වෛද්‍ය විශේෂඥවරයා නිගමනකට එළඹුණා කුසුමලතාට කෙටිකාලීන මතක ශක්තිය අහිමි වී ඇති බව. ඈ නිතර දැඩි සැකයක් කරපින්නා සිටින බව වෛද්‍යවරයාට වැටහුණා. අහලපහල උදවිය ඈට අනතුරක් කරන්න නිතර මාන බලා සිටිනවා ය යන සැකයකින් ඈ පෙළුණු බව ඔහු ගේ පරීක්ෂණවල දි අනාවරණය වුණා. ඇයට පුතාගෙත් දුවගෙත් කටහඬ නිතර ඇහෙන වගක් වගේ ම විවිධ ශබ්දත් ඈට ඇසෙන අයුරු ඇගෙන් කියැවුණා. මේ සියල්ල වෛද්‍ය විශේෂඥවරයා දැන ගත්තෙ කුසුමලතා වෙත යොමු කළ දීර්ඝ ප්‍රශ්නාවලියකින්.
කුසුමලතාට වැළඳී ඇත්තේ භ්‍රාන්තිය නම් රෝගය. එය ශබ්ද භ්‍රාන්තිය (ශ්‍රවණ භ්‍රාන්තිය) ත් රූප භ්‍රාන්තියත් (දෘෂ්‍ය භ්‍රාන්තිය) සේ හටගන්නා රෝගයක්. වෛද්‍ය විද්‍යාවෙ හැලුසිනේෂන්ස් (්‍Hallucinations) යනුවෙන් මේ ව්‍යාධිය දැක්වෙනව. ඇගේ මතක ශක්තිය ගිලිහී ඇත්තේ ඩිමේෂියා (Dimeshia) නම් රෝග තත්ත්වය නිසා. සීටී ස්කෑන් පරීක්ෂාවෙදි ඇගේ මොළේ ස්නායු දියවීමක් පෙන්නුම් කළා. එය ඇල්ෂයිම රෝගය සේ හැඳින්වෙනව. එය ඩිමේෂියා රෝගයෙන් ම හටගන්නක්.
මොළේ සෛල මත දීර්ඝ කාලීනව තැන්පත් වන ඉතා සියුම් අපද්‍රව්‍ය හේතුවෙන් ඒ. එවිට මොළෙහි ඇති ප්‍රෝටීන් ව්‍යුහයේ වෙනසක් හටගැනීමෙන් තමයි කෙනකුගේ මතක ශක්තිය හීනවී ක්‍රමයෙන් විනාශවීමේ මානසික රෝගයක් සේ මෙය වෛද්‍යවරුන් හඳුන ගන්නව.
මේ රෝගය වැලඳුණු විට කෙනකුගෙ කෙටිකාලීන මතක ශක්තිය ක්‍රමයෙන් අහිමි වී යනව. එයට අමතරව පෞරුෂත්වය දුර්වල වෙනව. භ්‍රාන්තිමය තත්ත්වය, නින්ද නොයෑම, තරහයෑම වැනි රෝග ලක්ෂණත් ඇති වෙනව.
ඒ ගෙදර සති කීපයක් බෝම හොඳින් ඈ කල් ගත කළා. හැබැයි ඒ බෝම ටික දවසයි. දැන් දැන් ඇගේ ස්වභාවයේ වෙනස්කම් 
නෑදෑයන්ට පේන්න ගත්තා. ඈ වෙනස් වුණා. ගෙදර පොඩි දරුවන්ට චෝදනා කරන්න වුණා. ඇගේ සල්ලි හොරකම් කරනව කියා. ඇගේ ඇඳුම් කැඩුම් ඇද දමනව කියා.
තවත් දවස් කීපයකට පස්සෙ ඈ නිවැසි ඥාතීන් වෙත චෝදනා කරමින් අවට ගෙවල්වලට ගිහින් කියන්න පටන් ගත්තෙ ඈට හරි හැටියට කෑම ටිකක්වත් වතුර උගුරක්වත් කන්න බොන්න දෙන්නෙ නෑ කියා. කොච්චර හොඳින් ඥාතීන් සැලකුව ද ඈ කියන්නෙ ඔවුන් ගේ වෙනස්කම් තමන්ට දරා ගන්න බැරි බව. දැන් දැන් කුසුමලතා ඒ ගෙදර ඇත්තන්ට කෝපයෙන් යුතුව බැණ වදින්න පටන් අරන්. දවසට දෙතුන් පාරක් නාන කාමරයට වැදී නාන්න රෙදි හෝදන්නත් පටන් ගත්තා. දරුවන් දෙන්නාට ඈ දොස් නඟන්න පටන් ගත්තා. ඇගේ දුක සැප බලන්නවත් දුවයි පුතයි එන්නෙ නැත කියා චෝදනා පිට චෝදනා ඇගෙන් එල්ල වුණා. ඔවුන් ලංකාවෙ නෑ නේ ද කියා ඥාතීන් කොච්චර කිවත් ඈ ඒක පිළිගන්න කැමතිම නෑ. ඔවුන් දෙන්නා එක්ක ඈ කතා කරනවා දරු දෙන්න ළඟ ඉන්නව වගේ. ඉවරයක් නැතිව කතා කරනවා. ඈ බොහෝ විට සයනයේ හුන්නේ නොනිදා. නින්දෙන් අවදි වී හුදකලාව කතා කරන්න පටන් ගන්නවා. ඥාතියන් මේ සියල්ල හොඳින් දැක්කා. ඥාතියා එරොප්පෙට වාර්තා කළා කුසුමලතා ගේ මේ අමුතු හැසිරීම් ගැන. දරු දෙන්නා හා ඥාතියා අතර වූ අදහස් හුවමාරුවේ දී අවසානයේ තීන්දු කෙරුණේ කුසුමලතා කිසියම් රෝගී තත්ත්වයකට පත්ව ඇති බව. ඈ වහා වෛද්‍ය විශේෂඥ වරයකු වෙත යොමු කරන්නට ඒ කතිකාවෙදි තිරණය කෙරුණා. ඥාතීන් මහ රෝහල කරා ඈ කැටිව ඇවිත් ප්‍රතිකාරවලට රැඳවූයේ විශේෂඥ වෛද්‍්‍ය උපදෙස් මත.
මොළේ ඇති සෛලවල ප්‍රෝටීන් ව්‍යුහය වෙනස්වීම නිසාත් ශුද්‍ර අපද්‍රව්‍ය තැන්පත් වීමත් නිසා තමයි අමතක වීම ඇතිවෙන්නෙ. එතකොට තමන්ගෙ දේවල් අන්‍යයන් සොරාගත් බව වගේ කතා කියන්නෙ ඒ හින්ද.
හැබැයි මෙවන් රෝගීන්ට වර්තමාන අමතක වුණාට අතීත මතකයන් හොඳයි. එනිසයි මේ රෝගී කාන්තාව විදේශගතව සිටින දරුවන් තවමත් තමන් ළඟ සිටින බවට විශ්වාස කරන්නෙ. භ්‍රාන්තිමය තත්ත්වයන් යටතේ දරුවන් මැවිල පේනවා. අන්‍යයන් ඇයට කරදර හිරිහැර කරනව කියා කියන්නෙත්.
මේ රෝගය නිසා ඇතිවන ඇල්සයිම කියන රෝගී තත්ත්වයෙන් රෝගියා යළි ප්‍රකෘති තත්ත්වයට පත්කිරීම සඳහා ප්‍රතිකාර නැහැ. හැබැයි රෝගය වර්ධනයවීම වලක්වා ගන්න ඖෂධ ප්‍රතිකාර මගින් යම් දුරකට හැකියි.
මෙවන් තත්ත්වයන්ට ගොදුරුවන රෝගීන් හොඳින් රැක බලා ගැනීම ඉතා වැදගත්. මතක ශක්තිය තව දුරටත් අඩුවීමෙන් ජීවත්වීමට අපහසු නිසා ඔහු හෝ ඇය හෝ රැකබලා ගැනීමට විශේෂ පරිශ්‍රමයක් දරන්න ඕනැ. ඒ වගේ ම මතක ශක්තිය අඩු හෙයින් ඇතිවන ගැටලු වලක්වා ගන්නට රෝගියාට වර්තමාන පරිසරයට අනුවර්තනය වීමට උදව් අවශ්‍යයි. වෙලාව දැන ගැනීමට ඔරලෝසුවක් රෝගියාගේ කාමරයේ තබනවා නම් හොඳයි. නිතර භාවිතා කරන දේවල් ලේබල් කර තැබීමත් වැදගත්.
වැසිකිළි කැසිකිළි පාචිච්චියේ දී රෝගියාට ඒ උදෙසා කිසියම් මඟ පෙන්වීමක් සඳහා නානකාමරයට හෝ වැසිකිළිය චක්වා රැහැනක් ඇද තැබීම වැදගත්. මෙවන් රෝගියකු ගේ රෝගී ස්වභාවය වැඩිවීම නිසා ඉන්න හිටින තැන අමතක විය හැකි හෙයින් ඔහුගේ හෝ ඇයගේ හෝ ආරක්ෂාව තහවුරු කළ යුතු නිසා ගේ දොර දොර ජනෙල් හොඳින් වසා තැබීම වඩාත් සුදුසුයි. මොකද කියනවා නම් රෝගියා ගෙන් බැහැරකට ගොස් ආපසු ගෙදරට පිවිසෙන මාර්ගය සොයා ගන්නට තරම් කල්පනා ශක්තිය නැති හෙයින්.

01 කතාංගය