ඉතිහාසයඋණුසුම් පුවත්කාලීනදේශපාලනවිශේෂාංග

චාමස් ධන්‍යාගාරයෙන් මතු වූ විප්ලවවාදියා

ආදරණීය පියකු ගැන පුතකුගෙ මතක!

ජීවිතයේ අවසන් හුස්ම වනතෙක්ම කොමියුනිස්ට්වාදියකු වූ ඔහුගේ සරල දිවි පැවැත්මට කම්කරු පංති දේශපාලන පරිචය හේතුවන්නට ඇත. දුම්රිය නියාමකයකු වූ සිය පියා, තම ළමා වියේදීම අහිමිවීම හේතුවෙන්, දුෂ්කර ජීවිතයක් හිමිවීමේ ආරම්භය කම්කරු පංති දේශපාලනයට මඟ සැලසුනා නිසැක ය.

නව යොවුන්වියට එළඹෙන්නටත් පෙර, තම මවගේ ජීවත සටනට ශක්තියක් වීමට නම්, රැකියාවක් කල යුතු යැයි තීරණය කළ ඔහු, ඊට කොළඹ නගරයේ කම්කරු මර්මස්ථානය තෝරා ගත්තේ ය. කොළඹ වරාය ඉදිරිපිට ඇති චාමස් ධාන්‍යගාරයෙන් රැකියාව ඇරඹීම මගින්, සමාජ අසාධාරණයන්ට එරෙහි පීඩිතයන්ගේ සටනේ මුල් අත්දැකීම් ලැබීම ආරම්භ විය. වැඩිහිටියන් අතර, නව යොවුන් සටන් නායකයකුගේ බර අත්යන්තයෙන්ම කරටගත් ඔහු, සටන්බිමෙහි කීර්තියක් ලැබීම තුලින් එහි නායකත්ව කාර්යයට තල්ලු කරන්නට විය. තම වැඩ බිමෙහි කම්කරුවන් අතර සංවිධාන කටයුතු කිරීමට උනන්දුවක් දැක්වීම පංති සටනේ මුල් අත්පොත් තැබීමක් වූ බව නිසැකය. යටත්විජිත පාලනයේ  හස්තයෙන් පීඩනයට පත් උණුසුම් සටන් බිමක, එනම් වරාය කම්කරුවන්ගේ සටන් සගයෙකු ලෙස පන්නරය ලබන සටන්කාමීත්වය තුලින් ගොඩනැගෙන චරිතයක් ලෙස ඔහුගේ ඇරඹීම සනිටුහන් කල හැකිය.

අර්නෝලිස් අප්පුහාමිගෙන් ආරම්භව, එම්. ජී. මැන්ඩිස්, පීටර් කෙනමන්, ඒ. වෛත්‍යලිංගම් සහෝදරයින් දක්වා වූ එවක කොළඹ කම්කරු පංතිය සංවිධානය කරමින්, සටන් මෙහෙයවමින් සිටි සැබෑ කම්කරු නායකයින්ගේ ඇසුර ලබන කාර්යශීලී තරුණයෙක් බව ඔහුව කාටත් හඳුනාගන්නට හැකි විය. ඒ ගමන, 1947 මහා වැඩ වර්ජනයේදී වරායේ වැදගත් කාර්යභාරයක් ඉටුකිරීමේ වගකීම දරන සටන්කාමීයකු දක්වා මෙහෙයවීය. එය  ලංකා කොමියුනිස්ට් පක්ෂ දේශපාලනයේ වගකිව යුත්තෙකු දක්වා වන මග සැකසීමට හේතු විය. ඔහු ඒ තම කොමියුනිස්ට් පූර්ණකාලීන දේශපාලනය ඇරඹූ අයුරුයි.

 එතැන් පටන් කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය ඔහුගේ ජීවිතය විය. දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ ඔහුගේ ගෞරවනීය නායකයා වූයේ, නායකයාගේ ජීවන චරිතයේ උසස් ගුණාංගවල ආදර්ශයෙනි.

මැතිවරණ වලදී පීටර් කෙනමන් සහෝදරයාගේ මැද කොළඹ ආසනයේ නියමු කාර්යභාරයක් ඉටුකිරීමේ වගකීම දැරුවේ, විශේෂයෙන් දෙමළ හා මුස්ලිම් ජනතාව ආමන්ත්‍රණය කිරීමට චතුරව දෙමළ බස ප්‍රගුණ කර තිබූ බැවිනි. එම ප්‍රජාවන්ගේ ඇසුර බස ඉගෙනීමේ මග විය. උතුරේ දේශපාලන කටයුතු වලටද එම හැකියාව පහසුවක් විය.

එල්.ඩබ්. පණ්ඩිත, පියදාස ආදිපොල, ජැක් පෙරේරා ආදී වෘත්තීය සමිති නායක සහෝදරයින් මෙහෙයවූ අරගල වලදී, ඒවා සාර්ථක කිරීම සඳහා සැමවිටම කොළඹ පක්ෂයේ යාන්ත්‍රණය යෙදවීමට ඔහුටද වගකීමක් දරන්නට විය.

මුල් යුගයේම ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ සිදුවූ සෝවියට් - චීන බෙදීම්වල ගොදුරක් බවට පත්වන ඔහු, ඇන්. ශන්මුගදාසන් හා ප්‍රේමලාල් කුමාරසිරි සහෝදරයින් සමග පක්ෂයෙන් බිඳී කොමියුනිස්ට් පක්ෂ චීන පිල ගොඩගන්නට කැප විය.

විවාහ වී දරුවන් හතර දෙනකු සිටි එම අවධිය ජීවිතයේ දුෂ්කර කාලපරිච්ඡේදයක් විය. ජීවිතය ගැටගසා ගැනීමට හැකි වූයේ, බෙදුනු පක්ෂයේ දෙපැත්තේම සහෝදරයින්ගේ ආධාර උපකාර වලිනි. පුංචි කාලයේ දුටු අද ජීවතුන් අතර නැති විජේදාස, බාලා, කුසුම්පාල, වීරසිංහ, සුබෙයිර් මාමා ඇතුලු ඒ සියලු තාත්තාගේ දේශපාලන සගයින් අදටත් අප ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු.

එකල අපගේ නිවසට නිතර පැමිණි කේ.පී. සිල්වා, එච්. ජී. එස්. රත්නවීර හා තවත් සහෝදරයින් සමග සිදුවූ දීර්ඝ කතාබස් වල ප්‍රතිඵල ලෙස මතවාදී ප්‍රශ්න සමනය කරගැනීමට හැකි වූ බැවින් බොරැල්ල කොටාපාරේ පක්ෂ මූලස්ථානය වෙත ගමන නැවත ආරම්භ විය. අලුත් වගකීම් ලෙස තරුණ සම්මේලනයේ හා පක්ෂ මුද්‍රණාලයේ කටයුතු පැවරින. ටික කලකින් තරුණ සම්මේලනයේ ලේකම් ලෙස පත් ඔහුට, තරුණයින් අතර දේශපාලන මතවාදී සටන ගෙනයාමේ දී සම්මේලනයේ සභාපති ලෙස සරත් මුත්තෙට්ටුවෙගම සහෝදරයා හමුවීම නිතර අප සමග සිහිපත් කළේ, තම ඉහළම ගෞරව ආදරය ලබාදෙමින් ය. මාතර හා රත්නපුර සිට කොළඹට දක්වා පැමිණි "තරුණයින්ට රැකියා දියව්" තරුණ පෙළපාළිද, ඇමරිකානු රාජ්‍ය ලේකම් පැමිණි අවස්ථාවේ "කීසිංජර් ගෙදර පලයන්" පෝස්ටර් හා විරෝධතා ව්‍යාපාරද රටපුරා සිදුවූයේ එම යුගයේ ය.

'ඇත්ත' පත්තරේ ස්වර්ණමය යුගයේ දීර්ඝතම 'ඇත්ත' ප්‍රකාශකයා ලෙස, 'ඇත්ත' අයිතිකාර වගකීම දැරූ අගා ජයසේන සහෝදරයා සමඟින්, පත්තරයට එරෙහි නඩුහබ වලදී උසාවි ගානේ උත්තර බඳින්නට යන්නට වීම නිතිපතා සිදුවූවකි. විශේෂයෙන්, අගා සහෝදරයා තාත්තා වෙනුවෙන් අපගේ උසස් අධ්‍යාපන කටයුතු වලට සූදානම් කිරීමේ වගකීම බාරගනු ලැබුවේ අපව තම නිවසේ රඳවා ගනිමින්ය.

පක්ෂයේ තවත් සහෝදරයින් පිරිසක් සමග හැත්තෑවේ ආංඩුව පෙරලීමට කටයුතු කලා යැයි චෝදනාකර, මාස ගණතක් රිමාන්ඩ් බන්ධනාගාරගත වන්නටත්, සී.අයි.ඩී.යේ ලගින්නට ඔවුන්ට සිදුවූයේකොමියුනිස්ට් පක්ෂය ආණ්ඩුවේ ඇමතිකම් දරද්දී ම ය. ඒ 1976 දී පී. ඒ. එලාරිස් සහෝදරයාගේ නායකත්වයෙන් සිදුවූ දුම්රිය සේවක වර්ජනයේ වගකීම් හේතුවෙනි. පක්ෂය සමගි පෙරමුණු ආණ්ඩුවෙන් ඉවත්වීමට එයත් බලපෑ බව කියනු ලබයි.

වතු කම්කරු අයිතීන් දිනාගැනීමට මැදිහත්වීම සඳහා දශක කිහිපයක්ම කැපවූයේ, දෙමළ භාෂාව චතුරව කතා කිරී වාසියක් කර ගනිමිනි. රතුකොඩි වතු සමිතියේ .. රාමයියා, මෝහන් සුබ්‍රමනියම් සහෝදරයින් සමගින් එහි උප සභාපති ලෙස කඳුකර කලාපයේම වතු කම්කරු ජනතාව හා එක්විය.

 හතරවන ශ්‍රේණිය දක්වා පමණක් පාසැල් අධ්‍යාපනය ලද ඔහු ගොඩනැගුණේ, ඔහුගේ පාසැල හා සරසවිය පක්ෂය වීම නිසාය. සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයේ සමාජ - විද්‍යා දේශපාලන ඇකඩමියේ  වසරකට අසන්නට කාලයක්, ලෝකයේ විප්ලවවාදී පක්ෂවල සගයින් සමග මාක්ස් - ලෙනින්වාදී අධ්‍යාපනයක් ලද කාලය ඔහුට කොතරම් නම් වැදගත් වූයේ දැයි අප සමඟ ආඩම්බරයෙන් පැවසූ අවස්ථා බොහෝ ය. අනූ ගනන්වල සෝවියට් සංගමය බිඳවැටීම පිළිබඳව කම්පාවට පත්වූ ඔහු, මාක්ස් - ලෙනින්වාදය හෝ සමාජවාදය කෙරෙහි තිබූ අචල විශ්වාසය මියයන තෙක්ම අබමල් රේණුවකින්වත් වෙනස් කරගත්තේ නැත.

තාත්තාගේ හැත්තෑ පස්වන උපන්දිනය සමරා පක්ෂයේ කොළඹ දිසා සභාව සංවිධානය කල සාර්ථක උත්සවය හා එහිදී, ඩිව් ගුණසේකර සහෝදරයා ඔහුගේ සේවය අගයමින් කළ කතාවෙන් ඔහු උද්දාමයට පත්ව සිටියා කීම නිවැරැදිය. ඩිව් සහෝදරයාම පවසන පරිදි, තම පක්ෂ සාමාජික කාඩ්පත ලබාගෙන ඇත්තේ තාත්තාගේ සුරතින්ය. ඩිව් සහෝදරයා තම වැටුපෙන් තාත්තාට වේටටි, කමිස රෙදි අරන්දීම පුරුද්දක් කරගෙන සිටියේ ය. අපටද ඇඳුම් පැලඳුම් ලබාදුන්නා හොඳට මතක ය.

සෑම විටම පක්ෂ කටයුතුවලට ප්‍රමුඛස්ථානය දීම, ඊට අවංකවීම හා කැපවීම අප ඔහුගෙන් දුටුවෙමු. වැලිගමින් පැමිණි ඇඩ්ලින් නම් මගේ මවත් සමඟ දරුවන් පස් දෙනෙකුගෙන් යුත් කොමියුනිස්ට් පවුලක් ගොඩගන්නට ඔහුට හැකියාව තිබිණ. පක්ෂයේ සංවත්සරයක්, සම්මේලනයක් හෝ මැයිදින සැමරුම් වැනි ඕනෑම පක්ෂ කටයුත්තක් පවුලේ කටයුත්තක් විය. ශ්‍රියා, සුනිල්, පාලිත, ප්‍රසන්න ඇතුලු අපි, පුංචි සංදියේ සිට ඒවාට සහභාගි කරවීම තුළ අපට පරිචයක් ඇති කලේය. අප සියලු දෙනාවම රටේ අරගල වලදී විවිධාකාරයට එහි කොටස් කරුවන් බවට පත් කළේ ය. එය එකළ අප පක්ෂයේ සිටි සියලු සාමාජිකයින්ගේ පිලිවෙල විය. එය වාමාංශික පක්ෂවල පමණක් දැකිය හැකි ගුණයක් විය. එය අප රටට වම විසින් ඉතිරිකල, වාමාංශික සංස්කෘතික සම්ප්‍රදායික දායදයයි.

ඔහු නොමැතිව වසර 10 ක් ගතවූ මොහොතේ, ඔහු පිළිබඳ මතකයන් තුළින් පුංචි සටහනකින්, ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු!

      ජයන්ත වැලිවිට