උණුසුම් පුවත්කාලීනදේශපාලනවිශේෂාංග

බැසගිය සරත් සඳ ගැන මතක සටහනක්!

දේශපාලන පරිණත බවෙහි ප්‍රතිමූර්තියක් වූ සරත් මුත්තෙට්ටුවේගම ගුණ සැමරීමකි

1986 වසරේ මැයි 18 දින රාත්රියේදී රත්නපුර නව නගරයේ අලුතින් ඉදිකරන ලද මාර්ගයේ, රත්නපුරය පමණක් නොව මුළු ශ්රී ලංකාවම කම්පාවට පත්කළ දරුණු මාර්ග අනතුරක් සිදුවිය. ඒ, එවකට කොමියුනිස්ට් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී සරත් මුත්තෙට්ටුවෙගම සහෝදරයා⁣ පදවන් ගිය මෝටර් රථය, ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්වීමයි.

සිදුවීම වී සුලු වෙලාවක් ඇතුලත, පක්ෂ කාර්යාලයේ නේවාසිකව සිටින උපාලි සහෝදරයා විසින් මෙම කම්පිත ප්රවෘත්තිය රැගෙන අප නිවසට පැමිණියේ මගේ තාත්තාව (වැ.ආ. ධර්මදාස) කැටුව යාම සඳහාය. ඒ අප නින්දට වැටී වැඩි වේලාවක් යන්නට මත්තෙන්ය.

උපාලි සහෝදරයාගේ මුවින් අනතුරක පුවත සැලවීමත් සමග තාත්තා නැවත ගෙදර දෙසට හැරුණේ නැත. අම්මාගේ කනටකර, මට ඇසුනු කාරනය පවසා ඔවුන් පසුපස මමද ගියෙමි. නිවසේ සිට හැතැප්මක දුර ඇති පක්ෂ කාර්යාලයට යන අතරමගදී, සිදුවී ඇති රිය අනතුර පිලිබඳව, රත්නපුර රෝහලෙන් ලද විස්තර මටද ඇසින. පක්ෂ කටයුත්තක් අවසන් කර, ඒ ප්රදේශයේ සහෝදරයකුගේ නිවසින් රාත්රී ආහාර ගෙන පැමිණෙමින් සිටි රථය තුල ඔහු සමග සිටි වජිර පැල්පිට, චන්ද්රසිරි ගජධීර හා එස්.ආර්. එඩ්වඩ් යන සහෝදරයින්ද තුවාල ලබා ඇත.
පක්ෂ පරිශ්රයට ඇතුළු  වූ පසු, තාත්තා කෙලින්ම පසුපස ගොඩනැගිල්ල වෙත ගිය අතර එහි පක්ෂ ලේකම් කේ.පී. සිල්වා සහෝදරයා පැමිණ ඇති බව නවතා තිබූ ඔහුගේ මෝටර් රථයෙන් පැහැදිලි විය. පක්ෂ මධ්යස්ථානයේ ඉදිරි ගොඩනැගිල්ල ‘ඇත්ත’ පුවත්පතේ සියලු කාර්යයන් සිදුවූ ස්ථානයයි. රාත්රී 10 පසුවී තිබුනත්, ‘ඇත්ත’ කාර්යාලයේද විදුලි බුබුළු දැල්වී තිබීමෙන් පෙනෙන්නේ කතෘ මණ්ඩලය කාර්ය බහුල බවයි.

මහල් ගොඩනැගිලි දෙක අතර පිහිටි මුද්රණාලයේ, හෙට ‘ඇත්ත’ පත්තරය මුද්රණය වෙමින් පවතී. එහි මුද්රණ කළමනාකරණ කටයුතු භාරව සිටි ජයසෝම විජයතිලක හා ‘ඇත්ත’ කතෘ මාණ්ඩලික චූලවංශ සිරිලාල් මෙන්ම මුද්රණ කාර්යයේ නියුතු සහෝදරවරුහූ පිරිසක් සිටියත්, කිසිම කෙනෙකු මුහුණු තුල වෙනදාට දකින සිනහව දකින්න නොමැත. කම්පනයට පත් ඒ මුහුණු නොකියූ පුවත, මුද්රණය වෙමින් පැවති ‘ඇත්ත’ මුල් පුවත වූ “සරත් මිය යයි” දැකීමෙන් මම හැඟීම්බර වූවෙමි. හිස බිමට බරකරගෙනම මුද්රණාලයෙන් එළියට පැමිණ, කොරිඩෝරයේ ඇති කොට තාප්පය මත වාඩිවිය. වැඩිවෙලාවක් ගතවන්නට පෙර, සුදු පැහැති වොක්ස්වගන් මෝටර් රථය පැමිණීමත් සමඟ මුද්රණාලයේ සිටි කවුරුත් පිටතට පැමිණියෝය. පිරිස අසලම නැවැත්වූ රථය ඩිව් ගුණසේකර සහෝදරයාගේ බව කාටත් හුරු පුරුදුය. මම හිතන්නේ, ඩිව් සහෝදරයා ගෙදර ඇඳන් සිටි සරම පිටින්ම පක්ෂ කාර්යාලයට පැමිණි එකම අවස්ථාව මෙය විය යුතුය. රථයෙන් බැසගත් ඩිව් සහෝදරයා පිරිස දෙසට පැමිණි අතර ජයසෝම සහෝදරයා ඔහු වෙත ගමන් ක⁣ලේය. “ජයසෝම අපි ඉවරයි” කියමින්, තම දෑතින් ජයසෝම සහෝදරයාව බදාගත් ඩිව් සහෝදරයා මහ හයියෙන් කඳුළු සලමින් හඬන්නට විය. කාගේවත් හැඟීම් පාලනය කරගැනීමට තරම් අප කිසිවෙකු සමත් නොවීය. සහෝදර මානව හිතවාදී සරත් මුත්තෙට්ටුවෙගමට තිබූ ආදරය, ගෞරවය, සහෝදරත්වය සමග කැටිවූ හැඟීම් කඳුළු සමඟ දෝරෙ ගලන්නට විය.

පසුදින උදෑසන වන විට මුළු රටම මේ දුක්බර ආරංචිය සමග කම්පාවට පත්විය. රිය අනතුරකින් සරත් සහෝදරයාගේ මරණය සිදුවූ බැවින් එය සිදුවූ ආකාරය පිලිබඳව රටපුරා විවිධ කටකතා පැතිරෙන්නට විය. ඒ ජේ.ආර්. - ප්රේමදාස එ.ජා.ප. ආණ්ඩුව පැවති යුගය නිසාවෙන්නට ඇත. පසු කලකදී මා හට ලඟින් ඇසුරුකිරීමට ලැබුනු, වජිර හා ගජධීර යන සහෝදරයින්ගෙන් ඉහත සැකසංකා ගැන විමසූවිට, ඔවුන් ඒ ගැන නිගමන ලබා නොදෙමින් කියා සිටියේ, ”සාමාන්යයෙන් සරත් සහෝදරයා වේගයෙන් රථය ධාවනය කරන්නෙක් බව දැන සිටියත්, අනතුරට මොහොතකට පෙර, වෙනදාට වඩා වේගය ඉතා අධික බව දැනුණු නිසා එය ඔහුගෙන් විමසා සිටියත් පිළිතුරක් නොලැබුණු බවත්, ඉන්පසුව ක්ෂණයකින් අනතුර සිදුවූ බවයි.” සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණ තොරතුරු පිලිබඳව මගේ මතකයේ නොමැත.

1980 මහා වැඩ වර්ජනයට කොමියුනිස්ට් තරුණයින්ගේ සහයෝගය පළකරමින්, අතින් අඳින ලද විශාල පෝස්ටර් බොරැල්ල ප්රදේශයේ ඇලවීමේ වගකීම අපට බාරවී තිබිණ. ආණ්ඩුව හදිසි නීතිය යොදමින් වැඩ වර්ජනය මර්දනය කිරීම සිදුකරමින් සිටි වෙලාවක, පොලිසිය මගහැර බොරැල්ල පුරා පෝස්ටර් අලවන්නට අප සමත් විය. නමුත්, ළමා රෝහල් තාප්පයේ ඇලවීමට සකස්කර තිබූ අපගේ අවසන් විශාලතම පෝස්ටරය අලවමින් සිටියදී, ඔත්තු බැලීමට යොදාවුන් අයද නොදැනීම පැමිණි පොලිස් ‘වන් නයින් රථය’ අප අසලම නවතා ප්රශ්න කරන තෙක් අපට නොදැනින. වැඩේ පැහැදිලි නිසා කලබලෙන් කටයුත්ත අවසන් කරමින් සිටි එස්. සිංහනායගම්, මගේ සොහොයුරා පාලිත වැලිවිට හා මා හට පෝස්ටරයද ගැලවීමට අණකර එයත් සමගම අප අත්අඩංගුවට පත්විය. අපව ලඟ තිබෙන බොරැල්ල පොලිසියට බාරනොදී, කුරුඳුවත්ත පොලිසියට රැගෙනගොස් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ වෝඩ් පෙදෙසේ නිවස ඉදිරිපිට සිට අල්ලගෙන ආ පිරිසක් ලෙස පොතේ ලියා ඔවුන් පිටවිය. අපෙන් සත්ය දැනගත් පැමිණිල්ල ලියූ නිලධාරී “එහෙම තමයි ප්රමෝෂන් බලාපොරොත්තු වෙන්නෙ” යැයි කීවා මතකය. මහ රෑම තාත්තා සමග පැමිණි රාජා කොල්ලුරේ සහෝදරයා බය නොවන ලෙස කියමින් අපව සනසාලීය.

පොලිස් කූඩුවේ රැය පහන්කර පසුදා උසාවියට ඉදිරිපත් කල අවස්ථාවේ පැමිණි සරත් සහෝදරයා, උසාවි විත්ති කූඩුවකට දැමීම වළක්වා, නිල කාමරයක සිටි නඩුකාරවරයෙකු වෙත අපව රැගෙන ගොස් ඉදිරිපත් කිරීමට බල කළේය. නඩුකාරවරයා ඉදිරිපිට චෝදනා ඉදිරිපත් කළ පොලිස් නිලධාරීන් නැවත අසරණ කරමින්, “මේ ඉස්කෝලේ යන ළමයින් වර්ජනයක් ගැන දන්නෙවත් නැහැ. ආණ්ඩුවට සහයෝගය දක්වන පෝස්ටර් ගහල තියෙන්නෙ” කියා රිමාන්ඩ් කිරීමට දැරූ උත්සාහය ව්යර්ථ කළේය. මමත්, මගේ සොහොයුරාත් අවුරුදු 16-18 පාසැල් ශිෂ්යයින් වූ බැවින් නඩුකාරවරයාද එය පිලිගන්නට ඇත. පාප්ප ගෑවී එකට ඇලවී තිබූ පෝස්ටරය දිගහැර පෙන්වීමට උත්සාහ කළත්, ඒක අවශ්ය නැතැයි කියා, ඊට ඉඩ නොදුන් සරත් සහෝදරයා එය නතර කලේ පොලිස් නිලධාරීන් අසරණ කරමින්ය. හදිසි නීතිය යටතේ අනෙක් වෙනත් නගරවල එදිනම අත්අඩංගුවට පත්වූ සියලු සහෝදරයින් දවස් දහහතරකට රිමාන්ඩ් කළත්, අප රුපියල් තුන් සියයක ඇප මත මුදාහැරීමට නඩුකාරවරයා තීරණය කල බැවින් කොමියුනිස්ට් තරුණ සම්මේලනයේ සභාපති නීතීඥ ඩැනිස්ටර් ද අල්විස් සහෝදරයා ඉතිරි කටයුතු කළේ ය.

එ.ජා.ප.යේ මැතිවරණ කුපාඩිකම් සමග, 1977 මහ මැතිවරණයේදී සුලු චන්ද ප්රමාණයකින් කලවාන ආසනයෙන් පරාජය වූ සරත් සහෝදරයා, 1981 පැවති කලවාන අතුරු මැතිවරණය සමග ලාංකීය පාර්ලිමේන්තු දේශපාලන ඉතිහාසයට විශිෂ්ඨ ⁣පාඩමක් එක්කර දුන්නේය. එය හයෙන් පහක බලයක් සහිත වූ ආණ්ඩුවකට අභියෝගකළ සරත්ගේ ජයග්රහණයයි. රටේ මුලුමහත් විපක්ෂය පමණක් නොව, උතුරේ දේශපාලන නායකයින්ද කලවානට පැමිණ ජනතාව ඇමතූ ජයග්රාහී පොදු දේශපාලන සටනක් විය.

“සරත් ස⁣මේ සඳක් වගේ සරත් සහෝදරයා

එදත් අපෙයි අදත් අපෙයි සරත් සහෝදරයා”

අතුරු මැතිවරණ සමයේ පලවූ ‘කලවාන තරුව’ ටැබ්ලොයිඩ් පුවත්පතේ පළවූ කවියක, මට මතක පදපේලි දෙකකි. ‘ඇත්ත’ කාර්ය මණ්ඩලයේ බී.ඒ. සිරිවර්ධන, සිරිලාල් කොඩිකාර, සුරත් අම්බලන්ගොඩ, කුලසිරි රාජපක්ෂ වැන්නන්ගෙන් හැඩගැන්වුණු පුංචි පත්තරය හුදු මැතිවරණ දේශපාලන සටන පමණක් නොව, සාහිත්ය - කවි ඇතුලත් වූ මැතිවරණ සටනේ ජනතාවගේ පුවත්පත ලෙස ජයග්රහණයට පාර පෙන්වීය.
සරත් සහෝදරයා සම්බන්ධයෙන් වූ මතකයන් අවධි කරද්දී, 1981 පාසැල් සමයේදී සරත් දිනවීමේ කලවාන චන්ද ව්යාපාරයට අපටද එකතුවීමට හැකිවීම විශේෂයි. ඡන්ද ව්යාපාරය මෙහෙයවීමේ පක්ෂ වගකීම භාරව සිටි පක්ෂ සංවිධායක අගා ජයසේන සහෝදරයා, මුළු කලවාන පුරාවටම රටේ විවිධ ප්රදේශවලින් පැමිණි පක්ෂයේ සිය ගණන් පිරිසක් ඡන්ද ව්යාපාරයට ගම්බිම්වල ස්ථානගත කලේය. ඔහු සමග මානාන ප්රදේශයේ අලුතින් නිමකරන ලද නිවසක අපගේ චන්ද නවාතැන විය. එහිදී, පක්ෂ දිස්ත්රික් නායකයින්ට අමතරව ගාල්ලෙන් ශාන්ත දැඩිමුණි, නිමල් සමරසිංහ, ලක්සිරි වෛද්යරත්න හා කල්යාණප්රිය රාමනායක මහනුවරින් රංජිත් විජේසිංහ, කෝරළේගෙදර තිලකරත්න කොළඹින් පාලිත වැලිවිට (සියලු නම් මතක නැත) වැනි කොමියුනිස්ට් තරුණ හා ශිෂ්ය ක්රියාකාරිකයින් සමග එක්වූ චන්ද සටන ආශාවෙන් සිහිපත් කරමි. සැතපුම් 72 ක් තීරයක පිහිටි කලවාන ආසනයේ එහාමෙහා ගමන්කරන සටනේ නියමුවා සරත් සහෝදරයා, නිතරම පාහේ අපගේ ඡන්ද මෙහෙයුම් මධ්යස්ථානයට පැමිණ චන්ද ව්යාපාරය හා විපක්ෂයේ අපේක්ෂකයා හා සම්බන්ධව කරන කතා, සටනින් පමණක් නොව, හාස්ය රසයෙන්ද පිරී තිබීම අමතක නොවේ. මානාන අවසන් රැස්වීමට ⁣රටේ දේශපාලන නායකයින්ට අමතරව ධම්ම ජාගොඩ, ගුනදාස කපුගේ, දයා අල්විස්, සෝමසිරි දෙහිපිටිය වැනි කලාකරුවන් රාශියක් පැමිණ ප්රසංග පවත්වමින්, කලවාන පුරා සැරිසරමින් සරත් සහෝදරයා ජයග්රහණය කරවීමට දායක විය. කලවාන පරාජයෙන් කුපිතවූ එ.ජා.ප. ආණ්ඩුව, ඉන් කීපදෙනෙකු ආණ්ඩුවේ දේශපාලන පලිගැනීම් වලට ලක්කරන ලදී.
ලංකා ජාතික ශිෂ්ය සංගමයේ ක්රියාකාරිකයන් ලෙස, විශ්ව විද්යාල හා කාර්මික විද්යාල මෙන්ම පාසැල් අධ්යාපනයේ හා අධ්යාපන ආයතනවල ඇතිවන ප්රශ්න සම්බන්ධව සරත් සහෝදරයා නිරන්තරයෙන් දැනුවත්කිරීම සහ මැදිහත් කරගැනීම අපගේ වගකීමක් විය. ඒ ගැන ඔහු ලවා පාර්ලිමේන්තුවේදී ප්රශ්න කිරීම පමණක් නොව, පොලීසිය සිසුන් අත්අඩංගුවේ පසුවන අවස්ථාවලදී, එක් දුරකථන ඇමතුමකින් එලියට ගතහැකි හැකියාවක් එ.ජා.ප. ආණ්ඩු සමයක පවා පැවතියේ ඔහුට පැවති කාගෙත් ගෞරවය හේතුවෙනි.
1986 පෙබරවාරි මාසයේදී, ශ්රී ලංකා පාර්ලිමේන්තුවට ඓතිහාසික පනත් කෙටුම්පත් ඉදිරිපත් කෙරිණ. ඒ ‘ඉන්දීය සම්භවයක් ඇති 94000 කට පුරවැසිකම් පිරිනැමීමේ පනත් කෙටුම්පත’යි. සෞම්යමූර්ති තොන්ඩමන් අමාත්යවරයාගේ ප්රබල බලපෑම මත ගෙන ආ මෙම පනතට, මුලු විපක්ෂයම විරුද්ධව සිටියදී, එ.ජා.ප.ය සමඟ චන්දය දීමට සරත් ධෛර්යය සම්පන්න විය. එදින පාර්ලිමේන්තු විවාදයේදී සිදුකළ ඓතිහාසික කතාවේදී, “කොමියුනිස්ට් පක්ෂයේ මම මේ පනතට පක්ෂව ඡන්දය දෙනවා. මේ පනතට පක්ෂව ඡන්දය දෙන්නේ සම්පුර්ණයෙන්ම පංති පදනම උඩයි. කම්කරු පංතියට, මේ රටේ දහඩිය හෙළන උදවියට කවදා හරි සහනයක් තිබෙන්න ඕනෑ. ….” පවසමින්, තම දේශපාලනය ඕනෑම දෙයක් ඒ පීඩිතයන් වෙනුවෙන් කිරීමට සූදානම් බව පෙන්වීය.
මේ කරුණ මට විශේෂ වන්නේ, ඉහත පනතට විරුද්ධව විශ්ව විද්යාල ශිෂ්යයින් පාරට බැස්සවීමට ජ.වි.පෙ. ශිෂ්ය සංගම් බලයේ සිටි විශ්ව විද්යාලවල සූදානමක් තිබීමයි. විජිත පුංචිහේවා, නීලික දයානන්ද යන ශිෂ්ය ක්රියාකාරී සහෝදරයින් හා අගා ජයසේන සහෝදරයා සමග සරත් සහෝදරයාව මුණගැසුණු අප, මේ තත්ත්වය පිලිබඳව සාකච්ඡාවකින් පසුව කොළඹ අවට විශ්ව විද්යාලවල අපගේ නායකයින් මුණගැසීමට පිටත්වූයේ අගා සහෝදරයාගේ කැබ් රථයෙනි. ජයවර්ධනපුර ජයදේව මුණසිංහ සහෝදරයා ඇතුලු කණ්ඩායම හා කැළණිය විශ්ව විද්යාලයේ අපේ නායකයින් හමුවී වර්ජන උත්සාහය පිලිබඳව කතා කලෙමු. මොරටුව හා කොළඹ විශ්ව විද්යාලයන්වල ස්වාධීන ශිෂ්ය සංගම් නායකයින්ද හමුවිය. එහි ප්රතිඵලයක් ලෙස, පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට නියමිත දිනයේ කිසිම විශ්ව විද්යාලයක් ‘රටේ පීඩිත වතු කම්කරුවන් පිරිසකට පුරවැසිකම ලබාදීමට විරුද්ධව’ පංති වර්ජනය කරවීමට, ජනතා විමුක්ති පෙරමුණට නොහැකි විය.

1983 ජුලි කලබලය, බොරැල්ලෙන් ආරම්භ වූයෙන් ඒ පිලිබඳව කරුණු විමසීම සඳහා සරත් සහෝදරයා විසින් සාක්ෂි කැඳවූ අවස්ථාවේදී, ඇසින්දුටු සාක්ෂි ඉදිරිපත් කිරීමට මටද හැකිවිය. ඝාතනය වූ හමුදා නිළධාරීන්ගේ මළ සිරුරු බොරැල්ල කනත්තේ ආදාහනය කර, රටේ දෙමළ ජනතාවට එරෙහිව භීෂණකාරී තත්ත්වයක් මුදාහැරීමට ජේ.ආර්. ගේ ආණ්ඩුව ක්රියාකිරීම තුලින්, මාස පොහොය දිනයේම බොරැල්ල හංදිය ගිනිබත් කල ආකාරය හා සිදුකළ අපරාධ බොරැල්ලේ වෝඩ් පෙදෙසේ සිට ජේ.ආර්. නොදැක්කා ලෙස සිටියේය. ගින්න තවත් අවුලුවාලීය. බොරැල්ල පොලිසිය ඉදිරිපිටම සිදුවූ මෙම අපරාධ, පොලිස් නිලධාරීහූ නොදැක්කා සේ ඇස් වසාගෙන සිටියහ. ඒ පොලිසියට ලැබුනු උපදෙස් වන්නට ඇත. දාමරිකයන් රත්තරන් බඩු සාප්පු කඩා කොල්ලකන විට, ඒ ඉදිරිපිට නවතා තිබූ පොලිස් වාහනවල සිටි නිලධාරීන් එහි ප්රතිලාභකරුවන් විය.

මෙම ජාතිවාදී කලබල තුලින් රට පත්ව ඇති අනතුර හා භයානක අනාගත ප්රතිවිපාක පෙන්නුම් කරමින්, සරත් සහෝදරයා කලු ජූලිය පිලිබඳව පාර්ලිමේන්තුවේ කළ කතාව ඉතිහාස ගතවිය. විදේශ මාධ්ය වලට පවා කොමියුනිස්ට් මන්ත්රීවරයාගේ පාර්ලිමේන්තු කතාව යොදාගනිමින්, සිදුවීමේ සත්යය ලොව පුරා ප්රචාරය කිරීමට සිදුවිය.
පැවත්වූ සෑම කතාවක් තුළින් ම   ඔහු  ජනතාවට පණිවිඩයක් ලබාදීමට අවස්ථාවක් කරගත්තේය. ඔහුගේ කතාවල් අපව දිරිමත් ක⁣ළහ. ඉහත සඳහන් කලේ ඔහු පිලිබඳ මතක ගබඩාවේ පොදක් පමණකි.
අපට ඔහු තරුණ නායකයෙක් විය. සරත් සහෝදරයා ජීවත්වූයේ පනස් වසරක් පසුකරමින් කෙටි කාලයකි. මියගොස් වසර හතලිහක් ගතවී ඇත. ඔහු නව පරපුරේ දේශපාලනඥයෙක් විය. ඔහු රදළ පවුලකින් බිහිවූවා වුවත්, සරත් මුත්තෙට්ටුවෙගම සහෝදරයා ගැන නිතර ලියූ, කතාකළ පුවත්පත් කලාවේදී ‘අජිත් සමරනායක’ පවසන ආකාරයට, “සරත් කොමියුනිස්ට් වාදියෙකු වූයේ, විෂම සමාජ ක්රමයෙහි දුක තමන්ට අත්දැකීමෙන් විඳින්නට වූ නිසා නොවේ. ඔහු කොමියුනිස්ට් වාදියෙකු වූයේ බුද්ධියෙන් හා හදවතින් එය ග්රහණය කළ නිසාය. එහෙත් ඇතැම් කොමියුනිස්ට් බුද්ධිමතුන් මෙන් ඔහු උස් අසුනක හිඳ ජනතාවට බණ කීවේ නැත. ඕනෑම මට්ටමක, ඕනෑම තරාතිරමක කෙනකු සමඟ ආශ්රය කිරීමටත්, ඔවුන්ට සමීප බසකින් ඔවුන් ඇමතීමටත් පුලුවන්කම තිබූ සරත් ඕනෑම මට්ටමක කෙනෙකුගේ හෘද ස්පන්දනය අපූරුවට තේරුම් ගත් කෙනෙකි.” යන්න අදටත් වලංගු අදහසකි.

වත්මන් වමේ දේශපාලනයේ නිරත වූවන්ට සරත්ගෙන් ඉගෙනගන්න ඇති දේ බොහෝය. සරත් සහෝදරයාගේ මරණින් පසු සිදුවූ දේශපාලන පෙරලි දෙස දකිනවිට, සරත් අපගෙන් වෙන්වූ දින ඩිව් සහෝදරයා පැවසූ “අපි ඉවරයි” යන්න මා මනස තුල නිතර දෝංකාරය දේ. වෙනදාට වඩා අද එය තේරුම් ගැනීමට මට පුළුවන.

සරත් සහෝදරයා ගැන බොහෝ දේ ලියැවී, කියැවී ඇත. තවත් ලියන්නටද පුලුවන. ඔහු ගැන මතකයන්, අද ඊයේ මෙන් අප හදවත් තුල සදා පවතී. ඔහු පිලිබඳ සොඳුරු මතකයන් ඇති සිය දහස් ගණන් මිනිසුන් සිටිනවා නිසැකය. ඔවුන් සරත් ගැන මතකයන් ආදරයෙන් සිහිපත් කරනවා නිසැකය.

 

ජයන්ත වැලිවිට