උණුසුම් පුවත්සතියේ සටහන

ජගත් ගේ සතියේ සටහන – 14

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිලා දෙන්නෙක් - සිරිපාල V/ S විජේදාස

ශ්‍රීලනිපය ට පොලු හරස් වේ ද?ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පිළ හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පිළ අතර හටගෙන ඇති අර්බුදය හේතුවෙන් එම පක්ෂයට ඉදිරි මැතිවරණවලට තරග කිරීමේ අවස්ථාව අහිමිවීමේ ලකුණු පහළ වී තියෙනවා.සිය අර්බුදයට විසඳුම් සොයා මෛත්‍රී පිළ හා චන්ද්‍රිකා පිළ මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් ඇතත් එම කොමිෂන් සභාව පවසා තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය පිළිබඳ තීරණයක් දීමට තම ආයතනයට නෛතික බලයක් නොමැති බවයි.

එම නිසා කොමිෂන් සභාව මේ පිළිබඳව අධිකරණය විසින් දෙන තීන්දුවක් අනුව පමණක් කටයුතු කරන බවත් අධිකරණයෙන් තීන්දුවක් නොලැබුණොත් ඉදිරි මැතිවරණවලට තරග කිරීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජන පිළිනොගැනීමට සිදුවන බවත් ය. පසුගිය 18 වැනි දා මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක දී ඒ තීන්දුවට එළඹි බවත් දැනගන්නට තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම තනතුරේ කටයුතු කිරීම අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් පනවා ඇති අතර පසුගිය සතියේ එම තහනම මැයි 09 වනදා දක්වා දීර්ඝ කරනු ලැබුවා.

ඔහුට විරුද්ධව මෙම අතුරු තහනම් නියෝගය පනවා ඇත්තේ හිටපු ජනාධිපතිනිචන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් කොළඹ දිසා අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබූ පෙත්සමක් අනුවයි.

        ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපතිවරුන්ට එම පක්ෂයේ අනුශාසක ධූර දැරිය හැකි වූවත් සභාපති ධූරය දැරිය නොහැකි බවත් එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බලහත්කාරයෙන් පක්ෂ සභාපති ධූරයේ කටයුතු කරන බවත් චන්ද්‍රිකා  බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පෙත්සමේ දක්වා තිබෙනවා.

එසේම ඔහු ජනාධිපති වශයෙන් සිටිය දී 2019 පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරු කරමින් ඔහුට රුපියල් කෝටි 100 ක දඩයක් නියම කොට ඇති බවත් එමෙන් ම 2018 දී අගමැතිවරයා ඉවත් කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම දූරයට පත් කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කොට ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෛත්‍රීපාල සිරිසේන මහතා වරදකරු කරැති බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය පෙත්සමේ දක්වා තිබෙනවා.

මේ නිසා මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ සභාපති ධූරය දැරීමට නුසුදුස්සකු බැවින් බැවින් ඔහු එම තනතුරේ කටයුතු කිරීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන  ලෙස ද චන්ද්‍රිකා සිය පෙත්සම මඟින් ඉල්ලා තිබුණා.

මේ පිළිබඳව කරුණු දැක්වීමට මැයි 09 වනදාට මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ නීතිඥයින්ට අවස්ථාව ලබා දෙමින් කොළඹ දිසා අධිකරණය ඔහුට පනවා ඇති අතුරු තහනම් නියෝගය මැයි 09 වන දා දක්වා දීර්ඝ කරනු ලැබුවා.

මේ අතර චන්ද්‍රිකා නායකත්වය දෙන කණ්ඩායමේ සිටින මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔවුන් දැරූ තනතුරුවලින් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත් කරනු ලැබූ නමුත් එම තිදෙනා අධිකරණය හමුවට ගොස් ඔවුන් ඉවත් කිරීමට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා ගනු ලැබුවා.

අධිකරණ නියෝගය ලබා ගැනීමෙන් පසු කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණි ඔවුන් තිදෙනා එහි දී මාධ්‍ය හමුවක් ද පවත්වා ඉන්පසු පක්ෂ මූළස්ථානය අගුලු දමා වසා දැම්මා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ වැඩබලන මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා පක්ෂ මූලස්ථානයේ තිබූ වැදගත් ලිපිගොනු ගණනාවක් අස්ථානගත වී ඇති බවට පසුදා මරදාන පොලිසියට පැමිණිලි කළ අතර පක්ෂ මූලස්ථානයට කිසිවකුට ඇතුළු විය නොහැකි පරිදි සීල් තැබුවා.

මේ අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණෟඩලයේ රැස්වීමක් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයට කැඳවා තිබුණා. එහිදී පක්ෂයේ වැඩබලන සභාපති හැටියට නිමල් සිරිපාල ද සිල්වා මහතා ත් වැඩබලන මහ ලේකම් හැටියට දුමින්ද දිසානායක මහතාත් පත්කර ගනු ලැබුවා.

පසුව දුමින්ද දිසානායක මහතා පක්ෂයේ වැඩබලන ලේකම් වශයෙන් දේශපාලන මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ මැතිවරණ කොමිෂන් සබාවට දැනුම් දුන් අතර මෛත්‍රී පිළේ වැඩබලන මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා ද එම පත්වීම් නීති විරෝධී බව දක්වමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත කරුණු ඉදිරිපත් කොට තිබුණා.

දෙපාර්ශ්වයෙන් ම ඉදිරිපත් කොට තිබූ කරුණු පිළිබඳව සාකච්ඡා කොට කොමිෂන් සභාව පසුගිය බ්‍රහස්පතින්දා තීරණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය පිළිබඳව තීරණ ගැනීමට මැතිවරණ කොමිෂන් සභාවට නෛතික බලයක් නොමැති බවයි.

ආණ්ඩුවේ ඇමති තනතුරු දරණ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායම චන්ද්‍රිකා ගේ ද සහාය ඇකිව ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම සඳහා පක්ෂය මෙහෙයවන බවට මෛත්‍රීපාල සිරිසේන පිළ චෝදනා කරනවා.

එහෙත් චන්ද්‍රිකා පිළ පවසන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපති වීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශාල පිරිහීමකට ලක්වී ඇති බවයි. එය පක්ෂයේ ඉදිරි ගමනට බාධාවක් බැවින් පක්ෂය ශක්තිමත් කිරීම තම අරමුණ බවයි වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා හා මහින්ද අමරවීර කණ්ඩායම පවසන්නේ.

මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය අධිකරණයේ තීන්දුව මතයි රැඳී තිබෙන්නේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ඉදිරිපත් කොට ඇති පෙත්සම පිළිබඳ විභාගය කොපමණ කලක් ඇදී යාවි දැ යි කිව නොහැකි අතර ජනාධිපතිවරණයට ඇත්තේ තවත් මාස 06 කට අඩු කාලයක්. ‍එම කාලය තුළ අධිකරණ තීන්දුව නොලැබුණහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපතිවරණයට තරග කිරීමේ අවස්ථාව අහිමි වී යන බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් පිහිටුවා ඇති එක්සත් ජනතා නිදහස් න්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල මහතා පසුගිය දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පිටුපස පිහිටි ගොඩඩනැගිල්ලේ සිට එම සන්ධානයේ කටයුතු අරඹා තිබෙනවා. ඔහු මෛත්‍රීපාල සිරිසේන කණ්ඩායමේ ප්‍රබලයෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරි මැතිවරණ තරග කිරීමට නොහැකි වුණොත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය ලකුණින් තරග කිරීමට මේ නිසා අවස්ථාව ලැ

සිරිපාලලා අමරවීරලා චන්ද්‍රිකත් එක්ක පුටුව කර තියා ගනීවි ද?

1994 මහ මැතිවරණය සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් වූ පොදුජන එක්සත් පෙරමුණ ද තවම ක්‍රියාත්මකව පවතිනවා. එහි මහ ලේකම් ලසන්ත අලගියවන්න මහතා යි. ඔහු චන්ද්‍රිකා පිළේ අයෙක්. මෙනිසා ඉදිරි මැතිවරණවල දී පොදුජන එක්සත් පෙරමුණේ 'පුටුව' ලකුණින් තරග කිරීමට චන්ද්‍රිකා කණ්ඩායමට හැකියාව තියෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට පත්වී තිබෙන තත්ත්වය අනුව තනිවම මැතිවරණයකට මුහුන දීමට තරම් ශක්තියක් පක්ෂයට නොමැති බවත් එහෙයින් තවත් පක්ෂ සමඟ සන්ධානගත වී පොදු සන්ධානයකින් තරග කිරීම පිළිබඳව මෛත්‍රී පිළ මෙන් ම චන්ද්‍රිකා පිළ ද අවබෝධ කරගෙන සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් අප සමඟ පැවසුවා.

ජනාධිපතිවරණයට ඇත්තේ තවත් දින 160 ත පමමණ කෙටි කාලයක් බැවින් සෑම ප්‍රධාන දේශපාලන පක්ෂයක් ම තම උපරිම බලය මෙවර මැයි දිනයේ දී ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරගෙන යනවා.

පොහොට්ටු කම්කරු දිනේ සමරන්නේ කැම්බල් පිටියේ 

පොදුජන එක්සත් පෙරමුණ බොරැල්ල කැම්බල්පිටියේ දී ඔවුන් ගේ මැයි දිනය එහි නායක මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධාකත්වයෙන් පැවැත් කටයුතු යොදා ඇති අතර සෑම ප්‍රදේශයකින් ම පාක්ෂිකයින් හා ආධාර කරුවන්ගෙන් පීරවීමට පියවර ගෙන තියෙනවා.

එජාපේ මැයි රැලිය පංචිකාවත්තේ 

එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය මරදානේ පංචිකාවත්තේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටත් රටේ ප්‍රදේශයකින් ම ලක්ෂක ජනතාවක් මේ රැලිය සඳහා ගෙන්වීමටත් කටයුතු යොදා ඇතැ යි එක්සත්  ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ ගණනාවකින් මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය නායකයින් එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියේ වේදිකාවට ගෙන්වා ගැනීමේ සැලසුමක් තිබෙන බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

සමගි ජන බලවේගය මැයි සමරන්නේ ලේක් හවුස් වටරවුමේ 

මේ අතර සමගි ජන බලවේගය ඔවුන් ගේ මැයි රැළිය කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ ලේක් හවුස් වටවුම අසල පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. පක්ෂයේ උපරිම ශක්තිය පෙන්වීම සඳහා සෑම ප්‍රදේශයකින් ම ජනතාව රැගෙන එන ලෙස පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට හා ආසන සංවිධායකයන්ට දැනුම් දී තිබෙනවා.

ජව්පෙ පුරුදු පරිදි ම බී. ආර්. සී පිටියේ දී මැයි 1 වනදා සමරති

ජනතා විමුක්ති පෙරමුණ සුපුරුදු පරිදි මෙවර ද කොළඹ බී. ආර්. සී. පිටියේ දී ඔවුන් ගේ මැයි රැළිය හා පෙළපාළිය පැවැත්වීමට කටයුතු යොද‌ා ඇති අතර ජාතික ජන බලවේගය වශයෙන් ප්‍රදේශ හතරක වෙනම මැයි රැළි පැවැත්වීමට ද යන බව එහි ප්‍රකාශකයෙක් කියා සිටියා.

විමල්ලා උදයලා කොමියුනිස්ට්, සමසමාජ, මහජන පක්ෂ කිරුළපොන දි කම්කරු දිනේ සමරති

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන් ගේ නායකත්වයෙන් යුත් උත්තර ලංකා සභාවේ මැයි රැළිය කිරුළපොන දී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. එයට කොමියුනිස්ට්, සමසමාජ හා මහජන පක්ෂයත්, ඩලස් අලහප්පෙරුම මහතා ගේ 'නිදහස ජනතා සභාව ද එකතු වනු ඇතැ යි දැනගන්නට තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩ බලන සභාපතිවරුන් දෙකක් - චන්ද්‍රිකා පිළෙන් සිරිපාල  මෛත්‍රී පිළෙන් විජේදාස රාජපක්ෂ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රි කණ්ඩායමේ විධායක සභාව අද (21) නුගේගොඩ හෝටලයක රැස්වී පක්ෂයේ වැඩබලන සභාපති වශයෙන් අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පත් කරගෙන.

පක්ෂයේ සභාපති ධූරය තහනම්ව සිටින මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් මේ රැස්වීම පවත්තලා.   

මේ පිරිස ඊයේ (20) සෙනසුරාදා මොනාට් ඉම්පීරියල් හෝටලයට එකතු වී දේශපාලන මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට ගිය අවස්ථාවේ ලසන්ත අලගියවන්න හා දුමින්ද දිසානායක යන මහත්වරුන් කඩා වැදී එම රැස්වීම නීත්‍යානුකූල නොවන බවට විරෝධය පෑම නිසා අතරමඟ නතර කරලා.

පසුව ඔවුන් අද (21) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව ලෙස නුගේගොඩ 'සෝලිස්' හෝටලයට රැස්වී වැඩ බලන සභාපති ලෙස විජේදාස රාජපක්ෂ මත්කර ගෙන.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ පක්ෂයේ විධායක සභාව කැඳවීමට ව්‍යවස්ථානුකූලව කැඳවීමට බලය ඇත්තේ වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාට පමණක් බවයි. දුෂ්මන්ත මිත්‍රපාල මහතාට රැස්වීම් කැඳවීමේ බලයක් නොමැති බවත් අද ඔවුන් පැවැත්වූ රැස්වීමේ තීරණවලට එරෙහිව අධිකරණමය ගැටුමකට යන බවත් අලගියවන්න මහතා මාධ්‍ය වෙත පැවසුවා.

 - ජගත් -