උණුසුම් පුවත්කාලීනදේශපාලනසතියේ සටහන

ජගත් ගේ සතියේ සටහන – 6

රනිල්ජි + සජිත් තානාපතිවරුන් වැඩට බැහැලා ???

වැඩ බලන පොලිස්පති වශයෙන් මාස තුනක පමණ කාලයක් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස ඊයේ (26) පත්කරනු ලැබුවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඈ හා 61 ඉ (අ) ව්‍යවස්ථාවන් යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා සේ පත්කිරීමේ ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින්  ඊයේ පස්වරුවේ ඔහු වෙත ප්‍රදානය කළා.

දේශබන්දු තෙන්නකෝන් මහතා මේ ධූරයට පත්වූයේ ඔහුට විරුද්ධ පාර්ශ්ව ගණනාවකින් එල්ල වී තිබූ බාධක රැසක් ජය ගනිමින්.  එහෙත් එම බාධක තවමත් මුළුමණින් ම අවසන් වී නැහැ.

දේශබන්දුට සහයට භික්ෂූන් වහන්සේ පෙරට!?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නව පොලිස්පතිවරයා පත් කිරීම පිළිබඳව .ීරණයක් ගැනීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (26) පෙරවරුවේ රැස්වුණා.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත්කළ යුතු බවට ජනාධිපතිවරයා එවා තිබූ නිර්දේශය මෙහිදී සාකච්ඡා වූ අතර ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් වන අගමැති දිනේෂ් ගුණවර්ධන, ඇමති නිමල් සිරිපාල ද සිල්වා, මන්ත්‍රී සාගර කාරියවසම් හා වෛද්‍ය අනුලා විජේසුන්දර යන මහත්ම මහත්මීන් එයට පක්ෂව ඡන්දය දී තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරුන් විරුද්ධව ඡන්දය දුන් අතර ආචාර්ය දිනේෂා සමරරත්න, හා ආචාර්ය සුභාෂ් රාමනුජම් යන සාමාජිකයින් දෙදෙනා ඡන්දය දීමෙන් වැළකී සිටලා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දේශබන්දු තෙන්නකෝන් මහතාට පක්ෂව තීරක ඡන්දය ලබාදී තිබෙනවා. ඒ අනුවයි ජනාධිපතිවරයා දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත්කර තිබෙන්නේ.

එහෙත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය මුහුණු පොතෙහි සටහනක් තබමින් පවසන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා ගේ පත්වීම ව්‍යවස්ථා සභාවේ අනුමත නොවූ බවයි. ව්‍යවස්ථා සභාවේ යෝජනාවක් සම්මත වීමට නම් පස් දෙනකුවත් එයට පක්ෂව ඡන්දය දිය යුතු බවත්, දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට පක්ෂව ඡන්දය දී ඇත්තේ හතර දෙනකු බවත් පවසන සජිත් ප්‍රෙමදාස මහතා ඡන්ද සම සමව නොතිබුණු අවස්ථාවක කථානායකවරයාට සිය තීරක ඡන්දය පාවිච්චි කිරීම වැරදි බව ද ඔහු කියා තිබෙනවා.

මේ අතර පාස්කු ප්‍රහාරය වළක්වාලීමට කටයුතු නොකිරීම ගැන චෝදනා එල්ල වී ඇති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති තනතුරට පත්කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැ යි ඉල්ලා කතෝලික සභාවේ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද, නීතිඥ සංගමය හා තවත් නීතිඥවරුන් පිරිසක් ද ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් එවැනි ම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉදිරිපත් කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ අභියෝගයට ලක් කරමින් පාර්ශ්වකරුවන් ලෙස ඉදිරිපත් වීමට අවසර දෙන ලෙස ඉල්ලා මහ නායක හිමිපාණන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා හත් නමක් විසින් ඊයේ (26) ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් ගොනු කරලා.

කෝට්ටේ ශ්‍රී කළාණි සාමග්‍රී ධර්ම මහා සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල, රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති අකුරැටියේ නන්ද, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන, ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ බස්නාහිර පළාත් අධිකරණ සංඝ නායක මහාචාර්ය අගලකඩ සිරිසුමන, ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස, තායිවානයේ ප්‍රධාන සංඝනායක ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ උප කුලපති බෝදාගම චන්දිම හා විචිත්‍ර ධර්ම කථික උඩුවේ ධම්මාලෝක යන හිමිවරුන් විසින් මෙම මෝසම ඉදිරිපත් කරැති අතර එයින් ඉල්ලා තිබෙන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති වශයෙන් පත් කරන මෙන් නියෝග කරන ලෙසයි.

පොලිස්පතිවරයා පත් කිරීමේ බලතල විධායකයට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී තිබිය දී කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙසේ මැදිහත් වීම ආගමික මුහුණුවරක් ගෙන ඇතැ යි පවසමින් මෙම හිමිවරුන් පෙත්සම් විභාගයේ පාර්ශ්වකරුව්න් වීමටයි ඉල්ලා සිටින්නේ.

≈≈≈≈≈≈≈≈≈≈≈≈                 ≈≈≈≈≈≈≈≈≈≈≈≈≈                      ≈≈≈≈≈≈≈≈≈≈≈

ජනාධිපතිවරණයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සන්ධානයකට යන ලෙස සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් නායක සජිත් ප්‍රේමදාස මහතාට බලපෑම් කරන්නට පටන් ගෙන ඇතැ යි විපක්ෂ නායක කාර්යාලයෙන් වාර්තා වෙනවා.

එයට හේතු වී තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය මේ වන විට සංවිධාන කටයුතු, ප්‍රචාරක කටයුතු අතින් මෙන් ම සමීක්ෂණ වාර්තා මඟින් ද ජාතික ජන බලවේගයට වඩා ඉදිරියෙන් සිටීම යි.

ජාතික ජන බලවේගයෙන් එල්ල වී ඇති මේ අභියෝගයට මුහුණ දිය හැක්කේ සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක්වී සන්ධානයක් ගොඩනඟා ගෙන මැතිවරණවලට මුහුණ දීමෙන් පමඛන් බව මෙම මන්ත්‍රීවරුන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පෙන්වා දී තිබෙනවා.

සජිත්ට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් බලපෑම්!?

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක් කිරීමේ යෝජන මීට පෙර  කිහිප වතාවක් ම විදේශීය තානාපති කාර්යාලවලින් හා ව්‍යාපාරික ප්‍රජාවෙන් ඉදිරිපත් වූ නමුත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එම යෝජනා තරයේ ප්‍රතික්ෂේප කළා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා සමඟ කිසිසේත් ම එක්වීමේ අදහසක් නැතැ යි ඔහු ප්‍රසිද්ධ රැස්වීම් ගණනාවක ම ප්‍රකාශ කර තිබුණා.

පසුගිය වසර වෙන විට ආණ්ඩුවට ප්‍රබල ම අභියෝගය වී තිබුණේ සමගි ජන බලවේගය යි. රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුවට නැඟී ආ ජනමතය සමගි ජන බලවේගයට යි යොමුවී තිබුණේ. මේ නිසා සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපති සිහිනය දකිමින් මැතිවරණ වහාම පවත්වන්නැ යි ආණ්ඩුවට අභියෝග කරන්නට පටන් ගෙන තිබුණා.

සජිත් ප්‍රේමදාස මහතා රට වටා යමින් 'සක්වල' වැඩ සටහන මඟින් පාසල්වලට බස් රථ ලබා දීමත් 'සුහුරු' පන්ති කාමර ලබා දීමත් මඟින් සිය ප්‍රචාරක කටයුතු පාසල් මට්ටමින් ආරම්භ කළ නමුත් ඒවා ඔහුගේ ප්‍රතිරූපය නංවාලීමට පමණක් සීමා වුණා. පාසල්වලට ගොස් ගුරුවරුන් හා සිසුන් ඇමතීමේ දී කිසිදු දේශපාලනඥයෙක් දේශපාලන කතා පවත්වන්නේ නැති නමුත් සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුව විවේචනය කරමින් දේශපාලන කතා පවත්තන්නට වුණා.

එහිදී සමගි ජන බලවේගයේ සෙසු නායකයින්ට තැනක් ලැබුණේ නෑ. එසේම සමගි ජන බලවේගයේ දිස්ත්‍රික් මට්ටමේ රැස්වීම්වල දී ද මුල් තැනක් ලැබුණේ සජිත් ප්‍රේමදාස මහතා ගේ කතාවට පමණයි. මෙනිසා එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් වැඩි දෙනකු දැඩි කලකිරීමකිනුයි පසුවන්නේ.

ජාතික ජන බලවේගය ඉදිරියෙන් ද....?

මේ තත්ත්වය යටතේ ජාතික ජන බලවේගය පසුගිය වසර තුළ ගම් මට්ටමින් හා ප්‍රාදේශීය, දිස්ත්‍රික් මට්ටමින් පක්ෂ සංවිධාන කටයුතු වේගවත් කර තිබුණා. මීළඟ විකල්පය  මාලිමාව යැ යි සාමාන්‍ය ජනයා තුළ මතයක් ඇති කිරීමට ඔවුන් සමත් වී තිබෙනවා.

ජාතික ජන බලවේගයේ සංවිධාන කටයුතු හා ප්‍රචාරක වැඩ පිළිවෙල ත් පවත්වා තිබූ සමීක්ෂණවලින් මීළඟට බලයට පත්වන පක්ෂය ලෙස ජාතික ජන බලවේගය විදේශීය රටවල් පවා පිළිගෙන ඇති අතර ජාතික ජන බලවේගයේ කායකයාට ඉන්දියාවෙන් පසුගිය දා ආරාධනයක් ලැබුණේ ඒ අනුවයි.

මේ තත්ත්වය හේතුවෙන් සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයින්ට තමන් පහලට වැටී ඇති බව තේරුම් යෑම නිසා ඔවුන් සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වී සන්ධානයක් ඇති කර ගැනීම සඳහා බල කිරීමට පටන් ගෙන තිබෙනවා.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පෙරේදා ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ හා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සමානයි. ඒනිසා අපට එක්වීමට පුළුවන්. රනිල් වික්‍රමසිංහ පොහොට්ටුව සමඟ තිබෙන සබඳතා ඉවත් කළොත් අපට කෙළින් ම එකතුවීමට පුළුවන් යනුවෙන්.

එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවීමට මුල සිට ම දැඩි විරෝධය පළ කළ සජිත් ප්‍රේමදාස මහතා දැන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ගේ යෝජනාව පිළිබඳව නිශ්ශබ්දව සිටින බව විපක්ෂ නායක කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කළා.

                   එ. ජ. ප. හා ස. ජ. බ. එකතු කරන්න තානාපති කාර්යාල වැඩට බැහැලා?

ජාතික ජන බලවේගය යම් හෙයකින් රටේ බලයට පත්වුව හොත් ඔවුන් යළි කිසිදාක බලය අත් නොහරිනු ඇති බවත් නැවතත් මේ රටේ භීෂණ සමයක් ඇති වීමට ඉඩ ඇති බවත් මේ නිසා මධ්‍යම පාන්තික ජනතාව දැඩි ලෙස භීතියට පත්වී සිටින බවත් මෙම මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාස මහතාට පෙන්වා දී තිබෙන බව ද වාර්තා වෙනවා.

මේ අතර අසල්වැසි ඉන්දියාව හා ඇමරිකාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස අතර සංධානයක් ගොඩනැගීමට දෙපාර්ශ්වය හමුවෙමින් විශාල වැඩ කොටසක් කරගෙන යන බව ද තානාපති ආරංචි මාර්ග පවසනවා. ළඟදී සිය සේවය අවසන් වී රටින් වෑමට සිටින ඇමරිකානු තානාපතිනි ජුලි චං මහත්මිය පක්ෂ නායකයන් හමු වෙමින් එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය අතර සංධානයක් ගොඩනැඟීම සඳහා දැඩි උත්සාහයකින් කටයුතු කරන බව ද දැනගන්නට තිබෙනවා.

ජගත් මේ සතියේ සටහන ලියමින් සිටිය දී සැලවූයේ මේ රටේ හුන් කෘතහස්ථ දේශපාලනඥයු වූ 1977 ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා සේ අයවැය වාර්තා 11 ක් රට හමුවේ තැබූ එවක මුදල් ඇමතිවරයා වූ රොනී ද මැල් මහතා අවුරුදු 99 ක් ආයු වලඳා අද සවස අභාවප්‍රාප්ත වූ පුවත යි.