උණුසුම් පුවත්

ජනතාව මරණ මංචකයේ ජනපති රට සවාරි ගිහින් ජෝගි නටනවා – විපක්ෂ නායක

කුලී වැඩ කරන ජනතාවගේ දෛනික ආදායමත් පික්පොකට් ගහන ආණ්ඩුවක් රට තුළ තිබෙන බවත් අද දවස පුරාම ක්‍රියාත්මක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ජන නිසා ගිලන් වූ ප්‍රජාවට බෙහෙත් හේත් ගැනිමට නොහැකි වී ඇති බවත් ඒ අයගේ ඉල්ලීම් ඉදිරිපත් කරනකොට රජයට මුදල් නොමැති බව පැවසුවත් ජනාධිපතිවරයාගේ වියදම්වලට අයවැයෙන් ලබා දුන් මුදලට අමතරව පරිපූරක ඇස්තමේන්තුවක් හරහා තවත් ලක්ෂ 2000ක් අනුමත කර ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.

මේ අවස්ථාවේ වැදගත් වන්නේ පරිණත සෞඛ්‍ය සේවාවක් වුවත් ජනාධිපතිවරයාගේ විදේශ සංචාර සඳහා මෙම රුපියල් මිලියන 2000 ක මුදල අනුමත කර ගෙන ඇති බවත් ජනාධිපතිවරයාට මෙම මුදල මදි වගේම රෝගීන්ට ලබා දෙන ප්‍රවණතාව ද මදි වී ඇති බවත් පැහැදිලිවම සෞඛ්‍ය සේවය අඩපණ වී ඇත්තේ දුර්වල නායකත්වය නිසා බවත් විපක්ෂ නායකවරයා කීවේ ය.

රටේ සෞඛ්‍ය සේවය අඩපණ වී ඇති මොහොතක රටේ නායකයා විදේශ රටවලට ගොස් ජෝගි නැටීම සාධාරණ නොවන බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා, පාසල්වල දූදරුවන්ට පරිගණකයක් සුහුරු පන්ති කාමරයක් ලබා දෙන්න නොහැකි වුවත් ජනාධිපතිවරයාට ජෝගි නටන්න මුදල් වෙන් කර ඇති බව කී ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (16) සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 68 වැනි අදියර යටතේ කලාවැව සිරිමාපුර මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ ලබා දීමේ වැඩසටහනකට එක්වෙමිනි.

“මේ සෞඛ්‍ය වර්ජනවලින් විපතට පත් වන්නේ අහිංසක රෝගී ජනතාව යි. ශල්‍යකර්ම පෝලිමේ සිටින පුද්ගලයන්ට පවා මේ නිසා දැඩි අසාධාරණයක් සිදුවෙලා. මෙයට හේතුව රජයේ දුර්වල පරිපාලනය. වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ පුද්ගලයන්ට දෝෂාරෝපණය කරනවා වෙනුවට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දැන ගත යුතු වන්නේ ජනාධිපතිවරයාගේ විදේශ ගමන්වලට වඩා සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන සිතීම යි.” විපක්ෂ නායකවරයා අවධාරණය කළේ ය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56 කට රුපියල් ලක්ෂ 1719 ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස් රථ 80 ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892 ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 68 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 655ක් වැය කර තිබේ.

මෙම පාසලේ නර්තනය හදාරණ සිසු සිසුවියන් සඳහා නර්තන ඇඳුම් කට්ටල ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක්ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පරිත්‍යාග කළේ ය.