ජගත් ගේ සතියේ සටහන - 120
රුපියල දිනෙන් නිද අවප්‍රමාණවීම, ඉන්ධන මිල ඉහළයාම හා ජීවන වියදම වැඩිවීම´මහ බැංකුව සතු විදේශ සංචිත අඩුවීම ආදී ප්‍රශ්න ගණනාවකට විසඳුම් සෙවීම සඳහා ආණ්ඩුව සාකච්ඡා කරමින් සිටිනවා. පසුගිය සඳුදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මේ ගැන දීර්ඝව සාකච්ඡා වූ බව ද වාර්තා වෙනවා.
ඩොලරයේ අගය ඉහළ යාමත්, ඉන්ධන ආනයනයට දැරීමට සිදුවී ඇති වියදම ඉහළ යාමත් පිළිබඳව මෙහිදී අදහස් දක්වා ඇති අනුර කුමාර දිසානායක මහතා ඉන්ධන ඇතුළු භාණ්ඩ ආනයන වියදම පසුගිය අප්‍රේල් මාසයේ දී ඇමරිකානු ඩොලර් බිලියන දෙක ඉක්මවා ගොස් ඇති බව ද පෙන්වා දී තිබෙනවා.
එසේ වුව ද විපක්ෂයට මේ දිනවල මාතෘකාව වී තිබෙන්නේ ආණ්ඩුව විසින් විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීම හා භික්ෂු ශාසනය රැකගැනීම සඳහා ධර්මාධිකරණයක් පිහිටුවීමට යන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙසක් සතියේ දී කර තිබු ප්‍රකාශය යි.
ජනාධිපතිවරයා පසුගිය සඳුදා (1) ජනාධිපති කාර්යාලයේ දි අධිකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ හා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් හමුවී තිබෙනවා. විනිශ්චයකාරවරුන්ට බලපාන සේවා ප්‍රශ්න හා වැටුප් ප්‍රශ්න මෙහිදී සාකච්ඡා වූ බවයි දැනගන්නට තිබෙන්නේ.
එහෙත් මෙම සාකච්ඡාව ආරම්භ වීමට පෙර විනිසුරු සංගමය සමඟ පැවති සුහද කතාබහේ දී විනිසුරුවරුන් විශ්‍රාම ලබන වයස් සීමාව ස්ථිර වශයෙන් ම දීර්ඝ කිරීමට රජය කටයුතු කරගෙන යන බව ජනාධිපතිවරයා පැවසූ බව ද මාධ්‍ය වාර්තා කොට තිබුණා.
දැනට පවතින ක්‍රමය අනුව මහාධිකරණ විනිසුරුවරුන් වයස අවුරුදු 63 දීත්, අගවිනිසුරුවරයා වයස අවුරුදු 65 දීත්, විශ්‍රාම යායුතු වෙනවා.
ජනාධිපතිවරයා ගේ මේ ප්‍රකාශය මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමත් සමඟ ප්‍රථමයෙන් ම එයට විරෝධය පළ කොට තිබුණේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය යි. මේ මඟින් උසස්වීම් ලැබීමට සිටින විනිසුරුවරුන්ට අසාධාරණයක් වන බවත්, මෙය වැරදි පූර්වාදර්ශයක් වනු ඇති බවත් නීතිඥ සංගමය පෙන්වා දී තිබුණා.
මේ පිළිබඳව බහුතර නීතිඥ ප්‍රජාව පවසන්නේ මේ වසරේ දෙසැම්බරයේ විශ්‍රාම යාමට නියමිතව සිටින අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේනට තවත් වසර දෙකක සේවා දිගුවක් ලබාදීමේ අරමුණෙන් ආණ්ඩුව මෙම තීරණය ගැනිමට යන බව යි.
එය මහාධිකරණයේ ස්වාධිපත්‍යයට බරපතල තර්ජනයක් බවත්, විශ්‍රාම වයසේ සීමාව දීර්ඝ කිරීම විනිසුරුවරුන්ට ලබා දීමට යන අල්ලසක් ලෙස සැලකිය හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.
මේ අතර සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ රාශියක් දැනටමත් ආණ්ඩුවේ මෙම තීරණයට දැඩි විරෝධය පළ කොට තිබෙනවා.
සමගි ජන බලවේගය පවසන්නේ උපරිමාධිකරණ විනිසුරු තුමන්ලාගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව නියම කොට තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් බවයි. එබැවින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කරන්නේ නම් ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව ද සමගි ජන බලවේගය පවසනවා.
සමගි ජන බලවේගයේ කළමනාකරණ මණ්ඩලය පසුගිය බදාදා රැස්වූ අවස්ථාවේ මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තිබෙනවා. විපක්ෂයේ සියලුම පක්ෂවල නායකයන් එකතු කොට මේ සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමට එහිදී තීරණය වී ඇති අතර ඒ සඳහා සියලු පක්ෂවලින් සමන්විත කමිටුවක් පත් කළ බව ද වාර්තා වෙනවා. මේ පිළිබඳව වැඩි දුරටත් කටයුතු කිරීමට සජිත් ප්‍රේමදාස මහතා විසින් දයාසිරි ජයසේකර, සුජීව සේනසිංහ හා ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් පත් කළ බව ද දැනගන්නට තිබෙනවා.
මෙසේ විනිසුරුවරුන් ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරිම ගැන ආණ්ඩුව හෝ අධිකරණ අමාත්‍යාංශය හෝ මෙතෙක් කිසිදු මතයක් පළකොට නැහැ.
මේ අතර පසුගිය දා අනුරාධපුර අටමස්ථානාධිපතිව සිටි පල්ලේගම හේමරතන හිමිපාණන්ට එල්ල වී තිබෙන බරපතල චෝදනා සම්බන්ධයෙන් සංඝ සමාජයේ මෙන් ම ගිහි සමාජයේ ද විශාල කතාබහක් හිටගෙන තිබුණා.
මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ මේ රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ විනය ශක්තිමත් කිරීම සඳහා නීතිමය ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙව බව යි. තමන් ත්‍රෛනිකායින මහ නා හිමිවරුන් සමඟ සාකච්ඡා කල බවත්, බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ විනය ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලය ඇති ආයතනයක් ලෙස ධර්මාධිකරණයක් පිහිටුවීමට එහිදී සාකච්ඡා වූ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ධර්මාධිකරණයක් පිහිටුවීමේ යෝජනාවට භික්ෂු සමාජයෙන් මෙන් ම දේශපාලන පක්ෂවලින් ද විරෝධය පළ වෙමින් පවතිනවා.
එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ධර්මාධිකරණයක් පිහිටුවීමකට ආණ්ඩුවකට කිසිදු බලයක් නොමැති බව යි.
ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංමහතා හමුවීමට පැමිණි අවස්ථාවේදී ද මේ ගැන සාකච්ඡා වුණා.
''සුද්දන්ගෙ කාලෙත්, මෙවැනි නීති සකස් කළා. ඒත් සුද්දෝ ඒ නීති සකස් කළේ බුද්ධාගම ගැන දැනගෙන යි. දැන් වර්තමානයේ ඉන්න උදවිය මේවා කරන්න හදන්නේ බුද්ධාගම ගැන මෙලෝ හසරක් නොදැන" යැ යි රනිල් වික්‍රමසිංහ මහතා මේ ගැන අදහස් දක්වමින් පවසා තිබුණා.
''ධර්මය ගැන කිසි ප්‍රශ්නයක් නැහැ නේ. එහෙම තත්වයක් යටතේ ධර්මාධිකරණයක් ඇති කරන්නේ කොහොම ද?ඒ වාගේම ධර්මාධිකරණයක් ඇති කළොත් එය ශ්‍රේෂ්ඨාධිකරණය කොහොම පිළිගනීවි ද? ව්‍යවස්ථාවේ ඉඩ තියෙන්නේ සංඝාධිකරණයකට විතරයි" යනුවෙන් තව දුරටත් පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා ධර්මාධිකරණයක් ඇති කළොත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයට එරෙහිව ක්‍රියාකරන්නට පුළුවන්. ඒ වගේම මේ ධර්මාධිකරණ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද කියල බලන්න ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සිද්ධ වෙනවා. එහිදී ධර්මාධිකරණට බලයක් නැති බව අනිවාර්යයෙන් ම තීරණය වෙනවා. ව්‍යවස්ථාවෙන් බලය තිබෙන්නේ සංඝාධිකරණයක් පිහිටුවීමට පමණයි" යනුවෙන් කියා සිටියා.
මේ අතර භික්ෂූන් වහන්සේලා ද මේ ධර්මාධිකරණ යෝජනාවට විරුද්ධව විහාරස්ථානවල රැස්වී සාකච්ඡා කිරීම අරඹා තිබෙනවා.
පසුගිය සතියේ නුගේගොඩ නාලන්දාරාමයේ දී එහි අධිපති තිනියාවල පාලිත හිමියන් විසින් සියලුම පක්ෂවල නායකයින් කැඳවා තිබුණේ ආණ්ඩුවේ වැඩ පිළිවෙලට එරෙහිව ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ගැන සාකච්ඡා කිරීමට යි.
මෙහිදී අදහස් දැක්නූ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා රජය නිරාගමික ලෙස පෙනී සිටිමින් බෞද්ධාගමට දැඩි ප්‍රහාර එල්ල කරන බවත් භික්ෂු කතිකාවතක් ගැනත්, ධර්මාධිකරණය ගැනත් අදහස් දක්වන බවත් මේ තත්වය යටතේ විපක්ෂයේ විරෝධය සම්මන්ත්‍රණවලට සීමා නොකර සිවිල් සමාජය, විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්ය, සංඝයා වහන්සේලා ඇතුළු සියලු අංශ එකතු කරගෙන පුළුල් විරෝධතාවලට යායුතු බවත් පැවසුවා.

කෙසේ වුවද ආණ්ඩුවේ ධර්මාධිකරණ යෝජනාවට එරෙහිව රට පුරා සංඝයා වහන්සේලා එක්රැස් කොට ආණ්ඩුවට විරුද්ධව විශාල ව්‍යාපාරයක් ගෙන යාමට විපක්ෂය මේවන විට ලහි ගහියේ කටයුතු කරගෙන යන බව ද වාර්තා වෙනවා.
මේ අතර පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන් ගේ මන්ත්‍රීධූර අහෝසි කෙරෙන පනත් කෙටුම්පත පිළිබඳව බොහෝ දේශපාලන පක්ෂ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව යි පෙනී යන්නේ.
එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය මේ පනත් කෙටුම්පතට සහයෝගය පළ කරන බව පවසනවා. සජිත් ප්‍රේමදාස මහතාත්, නාමල් රාජපක්ෂ මහතාත් ඒ බව ප්‍රසිද්ධියේ පවසා තිබුණු නමුත් අනෙකුත් පක්ෂ අදහස් දැක්වූ බවක් වාර්තා වෙන්නේ නෑ.
දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන් එම ධූරවලින් නෙරපා හැරීමට දැනටමත් අවස්ථාව තිබෙන බැවින් මේ සඳහා වෙනම පනතක් ගෙන ඒම අවශ්‍ය නොවන බව යි.
දැනට පිල් මාරු කළ මන්ත්‍රීවරයකු යම් පක්ෂයකින් නෙරපා හැරියොත් ඔහුට එයට විරුද්ධව අධිකරණය හමුවට යාමට ව්‍යවස්ථාවෙන් ඉඩ සැලසී තිබෙනවා. ඒ නිසා පක්ෂ මාරු කරන මන්ත්‍රීන් නෙරපා හැරීම සඳහා වෙනම ම පනතක් ගෙනාවත් එසේ නෙරපා හරිනු ලැබූ මන්ත්‍රීවරයාට අධිකරණය හමුවට යාහැකියි. එය සාමාන්‍ය පනතකින් අහෝසි කළ නොහැකියි
