මහජන ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි
පුද්ගලයින් කිහිප දෙනකු ව්යාජ සමාගම් ආරම්භ කොට ඒ මඟින් භාණ්ඩ අපනයනය කරන බව පෙන්වා ඇමරිකානු ඩොලර් මිලියන 85 ක පමණ මුදලක් ශ්රී ලංකාවෙන් පිටතට යවා ඇතැ යි මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේ ය.
මෙවැනි අවස්ථා තුනක් හෙළිකර ගත් බවත්, 'නෙක්ස්ට් ජෙනරේෂන් පෞද්ගලික සමාගම නමින් සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට ඇති එක් සමාගමක් අවස්ථා 95 ක දී විද්යුත් සම්ප්රේෂණ හෙවත් ටී. වී මගින් රටවල් 26 ක පිහිටි සමාගම් 253 කට රුපියල් කෝටි 1289 ක මුදලක් යවා ඇති බවත් ඇමතිවරයා කී ය.
එහෙත් මෙම සමාගම් මඟින් කිසිදු භාණ්ඩයක් ශ්රී ලංකාවට ගෙන්වා නැති බව ද හෙතෙම පැවසී ය.
මොවුන් මෙසේ රටින් පිටකළ මුදල් මඟින් ශ්රී ලංකාවට හෙරොයින් ආදි මත්ද්රව්ය ගෙන්වා ඇති බව ද විජේපාල මහතා ප්රකාශ කළේ ය. මේ හැර පුද්ගලයින් 105 කු විසින් සමාගම් 55 ක් ලියාපදිංචි කොට ආනයනය කිරීමට බව පවසමින් බැංකු 3 ක ගිණුම් 227 ක් ආරම්භ කොට ඒ මඟනි රුපියල් කෝටි 26108 ක මුදලක් ශ්රී ලංකාවෙන් බැහැරට යවා ඇත.
මෙසේ වරින් වර රටින් පිටකොට තිබෙන මුදලේ එකතුව ඇමරිකානු ඩොලර් මිලියන 85 ක් පමණ වන බව ද ඔහු සඳහන් කීයේ ය.
ජනාධිපතිවරයා මේ පිළිබඳව මුදල් අමාත්යාංශය, රේගුව, පොලිස්පති, ආගමන විගමන පාලක, ආනයන අපනයන පාලක ආදි ඉහළ පෙළේ නිලධාරීන් ගෙන්වා පසුගිය සතියේ සාකච්ඡා කොට ඇති බවත්, මෙම හොර ජාවාරම් මැඬීලීමට නව නීති ගෙන ඒමට පියවර ගන්නා බවත්, ආනන්ද විජේපාල ඇමතිවරයා තව දුරටත් පැවසී ය.
සියලුම අපනයන කරුවන් රේගු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට ඔවුන් පිළිබඳව විමර්ශනය කිරීමට ද මෙහිදී තීරණයකට එළඹ ඇත.
