උණුසුම් පුවත්

ජනාධිපති ධූරාපේක්ෂකත්වය දෙන්න ප්‍රකට ව්‍යාපාරිකයකුගෙන් මෛත්‍රී මිලියන 100 ක් ඉල්ලලා

ඇමති මහින්ද අමරවීර කියයි

තව මාස කීපයකින් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තරග කිරීමේ අපේක්ෂාවෙන් සිටින ප්‍රබල ව්‍යාපාරිකයකුගෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් මිලියන සියයක මුදලක් දෙනවා නම් අපේක්ෂකත්වය දෙන්නට තමන් සූදානම් යැ යි ප්‍රකාශ කරැති බව චන්ද්‍රිකා පිළේ ප්‍රධානියකු වන කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. 

සිරිසේන මහතා ගේ ඉල්ලීම එම ව්‍යාපාරිකයා ප්‍රතික්ෂේප කරැති බව ද කී අමරවීර මහතා මේ සම්බන්ධයෙන් ඔහුගෙන් විමසූ විට එවන් හමුවක් සිදුවූ බව මෛත්‍රීපාල මහතා පිළිගත්තේ යැ යි ද ඔහු අමරවීර මහතා ප්‍රකාශ කළේ ය.

හිටපු ජනාධිපතිවරයාට පැටළී ඇති නඩු කටයුතුවලින් ගැලවීමට හා ආරක්ෂාවට ඇවැසි මුල්‍යමය අවශ්‍යතා සපුරා ගැනීමට තමන් ආදරය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි නාමය පාවිච්චි කිරීම කෙතරම් නිර්ලජ්ජිත ක්‍රියාවක් දැ යි මහින්ද අමරවීර ඇමතිවරයා ප්‍රශ්න කළේ ය.

තම අමාත්‍යාංශයේ අද (22) පැවති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළ ඇමතිවරයා අධිකරණය විසින් පනවා ඇති තහනම් නියෝගය නොතකා හිටපු ජනාධිපතිවරයා පක්ෂයේ විධායක සභාවට සහභාගිවීම අධිකරණය හෑල්ලුවට ලක් කිරීමකැ යි ද පැවසී ය.

පහුගිය 21 වැනිදා ඔහු ඇතුළු විධායක සභාවේ පිරිසක් රැස්වී අධිකරණ ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පක්ෂයේ වැඩ බලන සභාපති ධූරයට පත් කරගැනීම අනීතික  ක්‍රියාවක් නිසා ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිසෙන්නේ යැ යි ද මෙහි දී මහින්ද අමරවීර මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.