උණුසුම් පුවත්

ජාතික ජන බලවේගයේ කුරුණෑගල කාන්තා සමුළුව

අලුත් මාවතක් දිනාගන්න සටනක් අප හමුවේ තිබෙනවා - ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ

 

ඇතුගල් පුරවරයේ අද එකතු වුණු ඔබ ඔප්පුවක් ගන්න, හාල් කිලෝ 10 ක් ගන්න,ඇස් කණ්ණාඩියක් ගන්න, වැසිකිළි පෝච්චියක් ගන්න, සිල් රෙද්දක් ගන්න, සපත්තු කුට්ටමක්, පොතක් ගන්න මෙතනට ආවේ නැහැ. ඔබ අවුරුදු 76 ක් මේ රටේ සිදුවුණු දේ දැක්කා, අපේ පුංචි දරුවන්ට සිදුවෙන විනාශය දැක්කා. ඇතුගල් පුරවරය බාර් පුරවරයක් කරලා, අපේ දරුවන්, ස්වාමි පුරුෂයන් බිලි ගත්තා. මේ විනාශය නවතන්න අවදිවුණු බලවේගය තමයි මේ ගැහැනු බලවේගය. කුස්සියට අපව හිරකරපු, බැමිවලින් බැඳ තබපු කාලය අවසන් කරන තීරණය අරගෙනයි ඔබ මෙතනට පැමිණියේ. අපිට පැවරී තිබෙනවා මේ ගමන වේගවත් කරන්න. ගැහැනු එක මිටකට එකතු වෙද්දී, පාලකයෝ බයවෙලා ඔවුන්ගේ බලය රැක ගැනීම සඳහා එකට  එකතු වෙමින් ඉන්නවා.

ජල කළමනාකරණය කරනවා කියමින් වතුර ටික විකුණන්න යද්දී, කිරි ගොවියා මහමගට දාන්න යද්දී, නාමල් කරුණාරත්න සහෝදරයා ප්‍රමුඛව සියලු ගොවියන් එයට විරුද්ධව නැගී සිටියා. ඉඩම් ටික ආරක්ෂා කර ගන්න, වතුර ටික බේරා ගන්න, දරුවන්ව මත්ද්‍රව්‍යවලින් බේරා ගන්නේ කොහොමද, දරුවන්ට නිදහස් රටක් හදාගන්න කියන අභියෝග අප ඉදිරියේ තිබෙනවා. නමුත් මේ දූෂිත නායකයන් නැවතත් බෙදන සංස්කෘතිය පටන්ගෙන තිබෙනවා. ඔබ දේශපාලනිකව සන්නද්ධ වී එකට එකතු විය යුතුයි. මාලතී ද අල්විස් සහ කුමාරි ජයවර්ධන පර්යේෂිකාවන් දෙදෙනා විසින් රචිත “මුතු විසිකිරීම” පොතේ මෙහෙම සටහනක් තිබෙනවා. 1927 දී ගැහැනියට ඡන්ද බලය දෙන්න යෝජනා කරද්දී එක් දේශපාලනඥයෙක් මෙසේ ප්‍රකාශ කරනවා. “ඌරන් ඉදිරියේ මුතු විසි නොකරන්න. මන්ද යත් ඔවුන් හැරී ඔබව කෑලි කරනු ඇත. යුරෝපීය ස්ත්‍රීන්ට ගැලපෙන දේ අපට නොගැලපේ” මේ කියන්නේ මොකක්ද? ඡන්ද අයිතිය ශ්‍රී ලංකාවේ ගැහැනුන්ට ගැලපෙන්නේ නැහැයි කියන එක. ගැහැනුන්ට ඉගෙන ගන්න, ඡන්දය පාවිච්චි කරන්න අයිතියක් නැහැ. ඔවුන් සිටිය යුත්තේ කුස්සිය මුල්ලේ. මේ පොතේ සඳහන් වෙනවා 1880 දි කාන්තාවන්ගේ සාක්ෂරතාවය 3% ක් බව. 1926 දී විශ්වවිද්‍යාලයට ශිෂ්‍යාවන් 15 දෙනෙක් යනවා. අද වෙනකොට විශ්වවිද්‍යාලවලට යන ප්‍රමාණය 60% ක් 70% ක් පමණ වෙනවා. එහෙත් තීන්දු තීරණ ගන්නා පාර්ලිමේන්තුව තුළත් පළාත් පාලන ආයතන තුළත් කාන්තාවන් ඉන්නේ ඉතාම අඩු ප්‍රතිශතයක්. කාන්තාවන් විදිහට ඔබට අයිතියක් තිබෙනවා, ඡන්දය දෙන්න වගේම තීන්දු තීරණ ගන්නා තැන්වලට යන්න, නායකත්වය ගන්න. ඔබට වගකීමක් තිබෙනවා ගමක් විදිහට, රටක් විදිහට අවදි වෙන්න, දැනුවත් කරන්න, එකතු වෙන්න. එහෙම වුණොත් අපට සමාජ පෙරළියක් කරන්න පුළුවන්. අපේ නිදහස ලබාගන්න, අලුත් මාවතක් දිනාගන්න සටනක් අප හමුවේ තිබෙනවා. ඒ සටන මුවහත් කරන, ශක්තිය ධෛර්යය සපයන බලය තමයි ගැහැනු බලය. ඒ සඳහා අපි එකට එකතු වෙමු.

 

 

සතියක ගොඩගැසී තිබුණු වැඩ ඉවර කර, අලුත් සතියක් ආරම්භ කරන්න තිබෙන දවසෙදි, ගමේ සමිති සමාගම්වලට සහභාගි වෙන්න තිබෙන දිනයේදී අම්මලා" අක්කලා" සොහොයුරියන් මෙතනට සහභාගි වීමෙන් ඔප්පු කර තිබෙන්නේ කුමන බාධක අභියෝග පැමිණියත් ඉදිරියට යන බව සහතිකයයි. අපිට මේ වැඩේ කළ හැකියි කියලා විශාල ධෛර්යයක් විශ්වාසයක් ඇතිවී තිබෙනවා. මෙයට පෙර කෙනෙක් හම්බන්තොට ඉඳලා කුරුණෑගල දිස්ත්‍රික්කය සොයාගෙන පියාඹාගෙන ආවා. එයාට ඡන්දය දුන් අයත් මෙතන ඉන්නවා. ඒ පැරණි ඉතිහාසය දිහා ආපසු හැරී බලනකොට අපි හැමදෙනාටම සනාථ වී තිබෙන්නේ ඒ ඉතිහාසය වෙනස් කළ යුතු බවයි. අපේ රටට, අපේ ජනතාවට හොඳ කලක් යයි කියන සුබ සිහිනය දිහා දීර්ඝ කාලයක් අපේ අම්මලා බලාගෙන සිටියා. දරුවෙක් ඉපදුනාම කේන්දරේ බලනකොට අපලයි කීවාම දරුවාගේ අපල දුරුවෙන්න බාරහාර වුණා; බෝධි පූජා කළා. කිරි අම්මාවරුන්ගේ දානය දුන්නා. ඒ හැමදේම කරලා මහින්දලාට කතිරය ගැහුවා. හෙනහුරා පරද්දන්න ගෙදර බාරහාර වෙන අතරෙ කතිරය ගහලා හෙනහුරාව මහපුටුවට ගෙනාවා. දරුවාට මේ රටට" ජනතාවට" ලබලා තිබෙන හෙනහුරා පලවා හරින්න තොවිලය තියලා හරියට කපන්න ඕනෑ. ඔක්තෝබර් 17 ට කලින් ඒ සුබ මුහුර්තය එනවා. සමහර අය කියනවා ජනාධිපතිවරණය එන්නෑ වගේ කියලා. එහෙම එන්නේ නැතිනම් හෙනහුරාට කලින්ම යන්න වෙනවා. ජනාධිපතිවරණය නොපවත්වා වෙට්ටු දාන්න රනිල් වික්‍රමසිංහ කල්පනා කරනවා නම්" එයාට සිදුවෙන්නේ බොහොම කලින්ම ගෙදර යන්න.

සමහර අය කියනවා" මාර සටකපට මෑන්. තනි මිනිහා" ජනාධිපති වුණා" කියලා. ඒ බොරු. ඉස්සෙල්ලාම අගමැතිකම ගන්න කියලා යෝජනා කළේ සජිත් ප්‍රේමදාසට. සජිත් ප්‍රේමදාස ගත්තා නම් රනිල් තවමත් තනි මන්ත්‍රී. ඊට පස්සේ ෆොන්සේකාට ගන්න කීවා. එතුමා කීවා දවස් තුනක් දෙන්න කියලා. ගෝඨාභය හිරවී තිබුණු හිරවිල්ලට දවස් තුනක්වත් ඉන්න බැරිව රනිල්ට කීවාම එක පයින් බාරගත්තා. හෘද සාක්ෂියක් නැති මිනිස්සුන්ගෙන් ජනාධිපති වීම වීරකමක් නොවෙයි" ලැජ්ජා නැතිකම. එයා මාර වැඩකාරයෙක් නොවෙයි. අනිවාර්යයෙන්ම ජනාධිපතිතිවරණය පවත්වන්න ඕනෑ. වැරදි ගමන් මාර්ගය වෙනස් කර, නව ගමන් මාර්ගයකට අපේ රට අවතීර්ණ කරන්න බොහෝ දෙනෙකුට ඕනෑවී තිබෙනවා. ඒ සඳහා ලොකුම කාර්යභාරය පැවරී තිබෙන්නේ අපේ රටේ කාන්තාවන්ටයි. විදෙස් රැකියා ලබාදෙන වැඩිම ඒජන්සි තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. වැඩියෙන්ම කාන්තාවන් විදෙස්ගත වුණෙත් කුරුණෑගලින්. ඔවුන්ගේ බලාපොරොත්තු තුනයි තිබුණේ. දරුවන්ට හොඳට උගන්වන්න හිතාගෙන විදෙස්ගත වුණත් අම්මාගේ ආරක්ෂාව සහ සෙනෙහස නැතිව බොහෝ දරුවන්ගෙ ජීවිත විනාශ වුණා. දෙවැනි අපේක්ෂාව වුණේ නොතෙමී ඉන්න ගෙයක් හදා ගන්න. ඒ වැඩෙත් සාර්ථක වුණෙත් නැහැ. ඊළඟ බලාපොරොත්තුව වුණේ ත්‍රී විලර්  එකක් නැතිනම් බට්ටා ලොරියක් ගන්න. නමුත් මේ බලාපොරොත්තු කිසිවක් ඉටුකර ගන්න බැරිව පවුල් විනාශ වුණා. ගම්වල පවුල් සුණු විසුනු වී විනාශ වුණා. එයින් වැඩිම වේදනාවට ලක්වුණේ අම්මා.

ගම්වල මිනිසුන්ට විශාල ආදායම් නොතිබුණු බව ඇත්ත. නමුත් අපි අතර සාමකාමී ජීවිතයක් ගත කරන ගෙදරක් තිබුණා. නමුත් දැන් මුළු ගොවිතැනම විනාශ වෙලා. බීජ ගොවිපොළවල් වසාදමා ආනයනික බීජ මිල ඉහළ ගියා. ට්‍රැක්ටර් කුලිය ඉහළ ගියා. කෘමිනාශක මිල ඉහළ ගියා. සතා සීපාවාගෙන් වගාව විනාශ වුණා. තිබුණු අස්වැන්නත් සාධාරණ මිලකට විකුණාගන්න බැරි වුණා. මේ ගම් බිම් සුණු විසුණු වී පවුල් ආර්ථික වශයෙන් ප්‍රපාතයට ඇද වැටුණා. ඒ සියල්ලේ වැඩිම වේදනාව තිබෙන්නේ කාන්තාවන්ට. බස්රථවලදී කාන්තාවන්ට පීඩා කරන අය අත්අඩංගුවට ගන්න සිවිල් ඇඳුමෙන් සැරසුනු කාන්තාවන් යොදවා තිබියෙදී ඇයට පීඩා කළ අයෙක් අත්අඩංගුවට ගත් බවට අද ප්‍රවෘත්තියක් පළවී තිබෙනවා. මෙතන ඉන්න අම්මලාත් මේ රැස්වීමට යන්න කෙල්ල ගෙදර දාලා යන්නේ කොහොමද කියලා කල්පනා කළා නේද? තමන්ගේ දියණියට, තමන්ගේ නැගණියට ආරක්ෂාවක් නැති නීතියක් නැති රටක් පවතින්නේ. කාන්තාවකට අතවරයක් සිදුවුණාම පොලීසියට ගිහින් පැමිණිලි කරන්න මැලිවෙනවා. මෙහෙම හිරවුණු, බයවුණු, පීඩාවට පත්වුණු කොට්ඨාසයක් හැටියට අපේ රටේ කාන්තාවන් ජීවත් විය යුතු නැහැ. ඒ නිසා මේ ක්‍රමය වෙනස් කිරීමේ ප්‍රධානම කාර්යභාරය ඉටුකිරීමට කාන්තාවන් ධෛර්යය සම්පන්නව ඉදිරියට ඇවිත් තිබෙනවා.

මේ සොහොයුරියන්ගේ පිබිදීම කොපි කරන්න සමහර අය උත්සාහ කරනවා. මේ තිබෙන්නේ හුදු ඡන්දයක් සඳහා වූ පිබිදීමක් නොවෙයි" මේ නැගිටීම තිබෙන්නේ විනාශකාරී කණ්ඩායම පළවා හැරීම සඳහා මහා ගැහැනු බලවේගයක් හැටියට. මෙතන තිබෙන්නේ හැඟීම්" හෘදය සාක්ෂිය" ශක්තියක්" පිබිදීමක්" අධිෂ්ඨානයක් සහ විශ්වාසයක්. ඒගොල්ලන්ට ඔළුගෙඩි ටිකක් රැස්කරන්න පුළුවන් වුණත් ඒ කිසිවෙකුට මේ ආධ්‍යාත්මික හැඟීම් ලබාගන්න බැහැ. අපි වැඩක් කරන කොට පුංචි පුංචි ගැටීම් එනවා" වැඩේ සාර්ථකව නිම කළාම එකිනෙකා බදාගෙන හඬනවා. මම අපේ සතුරන්ට කියන්නේ මේ අධ්‍යාත්මය කොපි කරන්න බැරි බවයි. ETI ආයතනයේ මුදල් තැන්පත් කර, මුළු සේසතම අහිමි වූ අයත් මෙතන ඉන්නවා. මේ පාලකයෝ ඒ අධ්‍යක්ෂ මණ්ඩලයේ පැත්ත ගත්තා මිස වේදනාවට පත්වුණු ජනතාවගේ පැත්ත ගත්තේ නැහැ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවස්තු විනාශ කළ නගරාධිපතිගේ පැත්ත තමයි පාලකයා ගත්තේ. පාලකයා ගත්තේ ජනතාවගේ පැත්ත නොවෙයි, රට විනාශ කරන්නන්ගේ පැත්ත. පාලකයා ගත්තේ කුඩු වසංගතය පතුරුවන ජාවාරම්කාරී අපරාධකරුවන්ගේ පැත්ත. අපේ රටේ පාලකයන් රෝගීන්ට විදින බෙහෙත්වලින් ගසා කෑ කෙහෙලිය රඹුක්වැල්ලගේ පැත්ත ගත්තා. පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංගයෙන් ඔහුව ආරක්ෂා කළා. ඒ නිසා මේ පාලකයන් සම්බන්ධයෙන් ජනතාවට සාධාරණ කෝපයක් තිබෙනවා. කුරුණෑගල සාෆි වෛද්‍යවරයා ඉතාමත් දක්ෂ සිසේරියන් සැත්කම් පිළිබඳව ප්‍රකටත්වයක් දරාගෙන සිටියා. සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව ඔහු වෘත්තිය ජීවිතයේදී ක්‍රියා කළා. නමුත් පාලකයන් වඳ සැත්කම්, ගර්භාෂ යුද්ධ ගැන බොරු ප්‍රචාර කරමින් උද්ඝෝෂණ කර අපිව කෙටෙව්වා. මේ ගැහැනුන් එකතු වී පෙන්නුම් කරමින් තිබෙන්නේ ඒ පාලකයන්ට එරෙහි වේදනාවේ, කෝපයේ හඬ. ඉවසන්න එපා, ඒ වගේම බය වෙන්නත් එපා. අපි මේ රටේ ඉපදුනේ, ඒගොල්ලොත් මේ රටේ ඉපදුනේ. අපිත් මව්කුසෙන් ඉපදුනේ. ඒගොල්ලොත් මව් කුසෙන් ඉපදුනේ. අපි මව්කිරි බිව්වේ. ඒගොල්ලොත් කිරි බිව්වේ. ඒ නිසා කිසි කෙනෙක් සැලෙන්නත් එපා. බය වෙන්නත් එපා. අපි මේ වැඩේ කරන්න  ඕනෑ. මේ මහා ජනතා නැගිටීම ඔවුන්ට පාලනය කරන්න බැරි තැනකට ඇවිත් තිබෙන්නේ.

කඩේකට ගිහින් ගන්න දරුවාගේ පොත් ටිකේ ඉඳලා කිරි පැකට් එකේ ඉඳලා හැමදේකටම බදු ගහන පාලකයන් අරක්කු ෆැක්ටරිකාරයන් බදු කොල්ලකන්න ඉඩදී තිබෙනවා. දශක ගණනාවක් ඉවසුවා. දැන් මේ කෝපය සහ නැගිටීම වළක්වන්න ඒ අයට බැහැ. රනිල් වික්‍රමසිංහ හිතාගෙන ඉන්නවා ඔප්පු දීලා" අස්වැසුම දීලා, හාල් කිලෝ 20 ක් දීලා" ගොඩයන්න. ලැජ්ජයි. ගම්වල අපි අටු පිරෙන්න අස්වද්දපු මිනිස්සු. රනිල් වික්‍රමසිංහ හිතනවා නම්, අද ඉන්නේ අරක්කු වීදුරුවට" සිල් රෙද්දට, තහඩු ටිකට" වැසිකිළි පෝච්චියට" රැවටුණු ජනතාවක් නොවෙයි. හැටනව ලක්ෂයක් ඡන්දයෙන් පත්වුණු තුනෙන් දෙකක ආණ්ඩු බලයක් තිබුණු පාලකයන්ව පළවා හරින ජනතාවක් අද ඉන්න බව ඔවුන් මතක තබා ගත යුතුයි. පාර බහින්න බැරි වුණත් ඔවුන්ව පළවා හරින්න ප්‍රාර්ථනා කළ ජනතාවක් ඉන්නේ. ඔවුන් අද ජාතික ජන බලවේගය වටා එකතු වී සිටින බව මතක තබා ගත යුතුයි. කරු ජයසූරියලා" චන්ද්‍රිකා කුමාරතුංගලා එකතු වෙලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන කතාවක් කියමින් යනවා. මහින්ද රාජපක්ෂ කියන්නේ මම නම් විධායක ජනාධිපති ක්‍රමය භුක්ති වින්දා කියලා. ගම්වල මේවාට කියන්නේ මරු කියවනවා කියලා. එකතු වෙන්න පුළුවන් ලොකුම සන්ධානය හදන බව තව කොටසක් කියනවා. ලංකා ඉතිහාසයේ ලොකුම සන්ධාන දෙකයි හදලා තිබෙන්නේ. රනිල්ලාට විරුද්ධව රාජපක්ෂලා හැදූ සන්ධානයත් රාජපක්ෂලාට විරුද්ධව රනිල්ලා හැදූ සන්ධානයත් කියන දෙකයි. දැන් ඒ දෙකම එකතු වෙලා ජාතික ජන බලවේගයට විරුද්ධව සන්ධාන හදලා තිබෙනවා. ඊළඟ ජනාධිපතිවරණ වේදිකාවේ සාටකය දාගත් - මහින්ද, ටයිකෝට් දාගත් - රනිල්, ඔසරි ඇඳගත් - චන්ද්‍රිකා, තරු පටි ගහගත් - ගෝඨාභය, පොළොන්නරුවේ ගැමියා - මෛත්‍රීපාල සිරිසේන, විකට ඇඳුම් තරගයක් වගේ දකින්න පුළුවන්. දැන් සාකච්ඡා යන්නේ සජිතුයි රනිලුයි එකතු කරන්නේ කොහොමද කියලා. ගමේ ඡන්ද පෙට්ටිය මාලිමාවට පිරෙව්වොත් ඔය කවුරු එකතු වුණත් වැඩක් නැහැ.

මේ දක්වා දේශපාලනය තිබුණේ පිරිමින්ගේ වැඩක් විදිහටයි. අද ලංකාවේ දේශපාලනය තිබෙන්නේ ගමේ සක්‍රීයම ගැහැනුන්  අතේ. අලියෙක් ගැහුවාම ඉස්සෙල්ලාම ඒ ගෙදරට යන" මරණාධාර සමිතියට යන"  ක්ෂුද්‍ර මූල්‍ය සමිතියට යන"  පාසල් සමිතියට යන" පෝයදාට සිල් ගන්න" සක්‍රීයම කණ්ඩායම දැන් ඉන්නේ ජාතික ජන බලවේගය වටායි. එළඹෙන ඕනෑම මැතිවරණයකින් මේ රටත් ජනතාවත්" විනාශකාරී මාවතෙන් මුදා ගන්නා ක්‍රියාමාර්ග වෙනුවෙන් පෙරට එමු. ඡන්දයෙන් කරන්නේ විනාශකාරිත්වය පළවා හැරීම වගේම රට ගොඩනැගීමේ ආරම්භය ගැනීමයි. කුඩා වුණත් දැවැන්ත බලයක් තිබෙන මේ රට ගොඩනඟන්න පුළුවන්. දරුවන්ට අධ්‍යාපනය" සෞඛ්‍යය, ආහාර" මානසික නිදහස, මූලික වශයෙන්ම ආරම්භයේදී ගොඩනඟනවා. මොන අවලාද ආවත් කුමන තර්ජන ආවත්" අපි මෙය ජයග්‍රහණයෙන් කෙළවර කරනවා කියන අධිෂ්ඨානයෙන් වැඩ කරමු. ඉදිරි මාස හතයි තිබෙන්නේ. ඒ මාස හත තුළ අධිෂ්ඨානයෙන් වැඩකර ශක්තිමත් බලයක් ගොඩනැගිය යුතුයි. ඒ බලය තිබනේනේ ජනාධිපති අතේවත් පාර්ලිමේන්තුව අතේවත් නොවෙයි; ඔබ අතෙයි. ඉන්දියාවෙන් නිල ආරාධනය ලැබුණේ පාර්ලිමේන්තුවේ තුනක් ඉන්න අපිට. ඒ ඇයි ? ජනතාවගේ බලය තිබෙන්නේ" අපිත් එක්ක බව සනාථ වී ඇති නිසයි. බලය ලබාගැනීමෙන් පසුව එය ආරක්ෂා කර, ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනයාමේ හැකියාව තිබෙන්නෙත් ඔබ අතෙයි. මීමැසි පොදියක් වගේ මහා බලවේගයක් ගොඩනඟමු. ඉතාමත් අසීරු කාලයේ මේ ව්‍යාපරය ගොඩනැගීම සඳහා ඉමහත් වැඩකොටසක් කළ සහෝදර සහෝදරියන් මෙතන ඉන්නවා. අපිට අතපසුවීම් වුණා, පසුබෑම් වුණා" විශාල අවලාද ආවා" එහෙත් ඒ සියල්ල අභිබවා අපි ඉදිරියට යමින් සිටිනවා. දීර්ඝ කාලයක් තිබුණු සුබ ප්‍රාර්ථනාවන් මල් ඵල ගැන්වීමේ ආසන්නයට අපි ඇවිත් සිටිනවා. ජයග්‍රහණය තෙක් අපි සියලු දෙනාම නොසැලී ඉදිරියට යමු කියලා අපි ආරාධනා කරනවා.

 

මනුෂ්‍යත්වය ගොඩනඟන සමාජයක් බවට අපි පත්විය යුතුයි

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය

ඔබ සැමට මේ බිමේ ප්‍රමාණවත් ඉඩකඩක් නොමැතිවී තිබෙන බව පෙනෙනවා. හේතුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය අවශ්‍ය භූමිය ලබාගන්න ඉඩ දුන්නේ නැහැ. මේ ඉඩම පුද්ගලික අයිතිකරුවෙකු සතු හිස් ඉඩමක්. ඉඩ නොමැතිකම නිසා ඔබ අපහසුතාවයට පත්වී තිබෙනවා. ඒ ගැන අපි ඔබෙන් සමාව ඉල්ලනවා. මේ පෙන්වන්නේ දේශපාලන කුහකත්වය. අපව අව්වේ තබා, වතුර ගහලා" කඳුළු ගෑස් ගහලා නවත්වන්න බැහැ. ඔබේ අභිමානවත් කොන්ද තිබෙන ගැහැනුන් බව අද පෙන්වා තිබෙනවා. අපි මෙය ජයග්‍රහණයෙන් මිසක් ආපසු හැරෙන්නේ නැහැ කියන පණිවිඩය ඉතාමත් නිර්භීතව, අධිෂ්ඨානශීලීව සමාජයට පෙන්වා තිබෙනවා. ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.

මට එවා තිබෙන කවියක්"

ගෙදරට කොටුව මෙතරම් කල් තැබු          ගැහැනු

වැඩකට නැතැයි බහුතරයක් සිතු               ගැහැනු

සටනට ඇවිත් ඉන්න හැටි දැක්කම             මුහුණු

රටකට අවැසි නුඹ වැනි දිරියක් ඇති           ගැහැනු

මේ වෙනකොට ඔබ ගැන  අලුත් සාහිත්‍යයක් බිහිවෙනවා. කවි ලියැවෙනවා. චිත්‍ර ඇඳෙනවා. ඔබේ නිර්භීතකම, ඔබේ සටන්කාමී බව නිර්මාණය වෙනවා. ඔබේ වටිනාකම හොඳින් තේරුම් ගන්න. ඔබේ නම් ඉතිහාසගත වෙනවා නොඅනුමානයි. මේක සුවිශේෂී පරිච්ඡේදයක්. ඔබ සියලු දෙනා එහි කොටස්කරුවන්. ඔබ කිසිවෙක් පුද්ගලික අරමුණක් ඇතිව පැමිණ නැහැ. අලුත් රටක් ගොඩනැගීමේ සාමූහික අරමුණකින්" අභිලාෂයකින් මෙතනට පැමිණ තිබෙන්නේ. මේ සමාජය වෙනස් කරලා අපි සියලු දෙනාටම සාධාරණව" නිදහස්ව ජීවත් වෙන්න හැකි සමාජයක් ගොඩනැගීමේ අරමුණ වෙනුවෙන් ඔබ මෙතනට පැමිණ තිබෙන්නේ. අවුරුදු ගණනක් කිසිම දෙයක් නොලබා සාමූහික අරමුණ වෙනුවෙන්" සියලු දෙනාම වෙනුවෙන් ඇපකැප වී වැඩ කරන ගැහැනු මෙතනට රැස්වී සිටිනවා. අපේ ව්‍යාපාරය තුළම තිබෙන එය සුවිශේෂී ලක්ෂණයක්.

අපෙන් උදුරා ගත්ත සතුට, අපට අහිමි කළ සතුට ලබාගන්න, අරගල කරන්න මෙතනට පැමිණ තිබෙන්නේ. අපේ ආහාර සුරක්ෂිතතාවය, සෞඛ්‍යය, අධ්‍යාපනය සියල්ලම අපෙන් උදුරාගෙන, වනසා තිබෙනවා. අපේ මනුෂ්‍යත්වයත් උදුරාගෙන තිබෙනවා. එකිනෙකා ගැන දැනෙන සහකම්පනය" සාමූහිකත්වය" කරුණාව" ආදරය අපෙන් උදුරාගෙන තිබෙනවා. මගතොට යනකොට අපට සුරක්ෂිතතාවයක් නොදැනෙන්නේ ඒගොල්ලන් අපෙන් මනුෂ්‍යත්වය උදුරාගෙන තිබෙන නිසා. අපව ආත්මාර්ථකාමිත්වයෙන් ලඝු කර, එකිනෙකාගෙන් දුරස් කර, එකිනෙකාට වෛර බඳින" එකිනෙකා සමග සටන් කරන තැනකට තල්ලු කර තිබෙනවා. ඒ දේශපාලන සංස්කෘතියත්" සමාජ ආර්ථික වැඩපිළිවෙළත් නිසා අපව ආත්මර්ථකාමී තැනකට තල්ලු කර තිබෙනවා.

මානවයා යනු තනියෙන් ජීවත් විය හැකි අයෙක් නොවෙයි. බැඳීම් අපට අවශ්‍යයි. අපට කන්න බොන්න තිබුණත් අප තුළ මානව දයාව නැතිනම්, හැඟීම් නැතිනම් ජීවිතය අර්ථවත් වෙන්නේ නැහැ. අපි රොබෝවරු, මැෂින් වගේ වෙනවා. අපට අහිමි කළ අපේ මනුෂ්‍යත්වය, තවදුරටත් උදුරාගන්න දෙන්න සූදානම් නැහැ කියන පණිවිඩය තමයි මේ දී තිබෙන්නේ. ඉස්සර සතෙක් මැරුණාම කම්පාවෙන අපි දැන් මිනිස්සු  බඩගින්නේ මැරෙනවා කිසිම කම්පාවක් නැහැ. දැරියන් අපයෝජනයට ලක්වෙලා  මිය යනවා" බෙහෙත් නැතිව මිනිසුන් මියැදෙනවා" මේවා ප්‍රවෘත්තියක් පමණක් වෙලා. දත්ත බවට පමණක් පත්වෙලා තිබෙනවා. කලා බීලා පමණක් ජීවත් වීමෙන් ඇති ඵලය කුමක්ද? අපේ සිහින සැබෑ කරගන්න පුළුවන් කියන විශ්වාසය අවශ්‍යයි. එකිනෙකා පිළිබඳ විශ්වාසය අපි තුළ තිබිය යුතුයි. ඒ තුළින් තමයි අපිට ඇත්ත සතුට ගෙනත් දෙන්නේ. ජීවිතයට ඇත්ත අර්ථයක් ගෙනැත් දෙන්නේ එවැනි දේ තුළින්. ගැහැනු අපට එය හොඳටම දැනෙන දෙයක්. දුෂ්ට පාලකයන්ගේ ආත්මාර්ථකාමී ක්‍රියාවලිය තුළින්" දූෂිත දේශපාලන සංස්කෘතිය තුළින් උදුරාගෙන තිබෙන්නේ අපේ ජීවිතවල වටිනාම දේවල්"

ආර්ථිකය" සෞඛ්‍ය" අධ්‍යාපනය වගේම අපේ මනුෂ්‍යත්වය, සාමූහික වගකීම් ගොඩනඟන එක"සමාජීය වගකීම් ගොඩනඟන ක්‍රියාත්මක වෙන සමාජයක් බවට අපි පත්විය යුතුයි. ගැහැනු අපි  එකතු වෙලා ඉන්නේ ඒ අරමුණු වෙනුවෙන්. මනුෂ්‍යත්වයට ඉඩක් තිබෙන, සහකම්පනයට තැනක් තිබෙන සියලුම ජීවයන්ට පරිසරයට වටිනාකමක් දෙන සමාජයක් අපට අවශ්‍යයි. අපේ ආණ්ඩුවක් යටතේ අපි හදන ජනතාවාදී පාලනයක් තුළ අපට අවශ්‍ය මොකක්ද කියන එක අපි තවදුරටත් සංවාද කරමු. ගැහැනුන්ට වටිනාකමක් දෙන" ගැහැනුන්, ඇහුම්කන් දෙන, සහකම්පනය තිබෙන සමාජයක්" මානුෂීය සමාජයක් ගොඩනැගීමේ වගකීම අප සතුයි. දහසක් බලාපොරොත්තු සහ ඒ සිහින සැබෑ කරන්න ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම මහන්සි වී වැඩ කරමු. ඒ සඳහා ශක්තිය ධෛර්යය ඔබ ඔබට පතනවා.