උණුසුම් පුවත්කාලීන

ජාතික බන බලවේගයේ කාන්තාවෝ මාධ්‍ය හමුවෙක

තවදුරටත් නිහඬව ඉන්න අපේ රටේ කාන්තාවන් සූදානම් නැහැ - ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ව්රායි කැලී බල්තසාර්

මාර්තු 08වැනිදාට ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබෙනවා. ඒ සුවිශේෂී දිනය පිළිබඳව ජාතික ජන බලවේගයේ කාන්තාවෝ හැටියට අදහසක් දෙන්න අපට තිබෙනවා. 1910 වැනි අතීතයේදී ඇමෙරිකාව දක්වා ඉතිහාසයක් කාන්තා දිනයට තිබෙනවා. කාන්තාවන්ගේ ඡන්ද අයිතියට අරගල කිරීමේ ප්‍රතිඵලයක් හැටියට විකාශනය වීමෙන් ජාත්‍යන්තර දිනය පසුකාලයක නම් කරනවා. කාන්තාවන්ගේ අරගල ඉතිහාසය, කාන්තාවන්ගේ සුවිශේෂී ගැටලු ආදිය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කරනවා. ලංකාවේ ගැහැනුන් මේ වන විට යම් දෙයක් දිනාගෙන තිබෙනවා නම්, ඒවා ලැබී තිබෙන්නේ ඉතිහාසයේ කළ අරගල නිසයි. 1931 සර්වජන ඡන්ද අයිතිය ලබා ගැනීමේදී වුවත් ඒ කාලයේ සිටි කාන්තාවන් අරගල කර තිබෙනවා. විශේෂයෙන්ම වාමාංශික ඉතිහාසයේ කාන්තාවන් ඉදිරියට ඇවිත් කළ අරගල නිසයි. රට ගොඩනැංවීමට කාන්තාවන් තවදුරටත් ශ්‍රම දායකත්වය දිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා. නමුත් ඉතාමත් අමාරුවෙන් ජීවත් වන ලංකාවේ ගැහැනුන්ට තවදුරටත් දෙන්න ඉතිරිවී නැහැ.

අයවැයෙන් කාන්තාවන්ට ළමයින්ට වෙන්කරන මුදල් 50%කින් කපා හැරියා. එයට එරෙහිව ජාතික ජන බලවේගයේ කාන්තාවන් හැටියට පොල්දූව හන්දියේ අපි අරගලයක් කළා. සාමකාමී අරගලයට බියගුලු නායකයන් ජල ප්‍රහාර එල්ල කර, අමානුෂික ප්‍රහාර එල්ල කළා. වසර ගණනාවක් පුරා නිවාසවලට කොටුකර සිටි කාන්තාවන් අද වෙන විට මර්දනයට බිය නොවී ධෛර්යවන්ත විදිහට අරගලවලට එකතු වන්නේ දුෂ්ට පාලකයන් නිසාමයි. විශේෂයෙන්ම දිනෙන් දින උග්‍රවන ණය බර හමුවේ ක්ෂුද්‍ර මූල්‍ය ණයවලට ලංකාවේ කාන්තාවන් විශාල පිරිසක් ගොදුරු වී සිටිනවා. අපි තවදුරටත් මෙහෙම ජීවත්වීම අවශ්‍ය නැහැ. අපේ රටේ කාන්තාවන් නිවාස තුළත් එතනින් පිටත් අසීමිත වෙහෙසවී වැඩ කළත් ජීවත්වීම අසීරුවී තිබෙන්නේ බදුබර දරාගැනීමට නොහැකි වීමෙන්. තමන්ගේ සෞඛ්‍යය ගැන නොසිතා දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කරමින් තවදුරටත් නිහඬව සිටින්න කාන්තවන් සූදානම් නැහැ. ගැහැනු අපි එක මිටට කියලා ජාතික ජන බලවේගය වටා විශාල කාන්තාවන් පිරිසක් දිනෙන් දිනම එකතු වෙමින් මේ ජඩ දේශපාලනය අවසන් කරන්න ප්‍රබෝධයෙන් ඉදිරිපත්වී සිටිනවා. මාර්තු 08 වැනි දිනට යෙදී තිබෙන කාන්තා දිනය අපි 10 වැනි දින රොද බැඳගෙන සමරන්නේ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නයි.

                      තමන්ගේ අභිමානය, ගෞරව රැකෙන එකම වේදිකාව මාලිමාව බව                    කාන්තාවන් තේරුම් අරගෙන ඉන්නේ

                     - ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය

මේ වසරේ කාන්තා දිනය ලංකාවේ ඓතිහාසික දිනයක් වන බවට කිසිම සැකයක් නැහැ. කාන්තාවන් සියලුම දෙනා වැඩකරන කාන්තාවන්. ඉතිහාසය පුරාම ඒ අරගල කළ කාන්තාවන් අනුස්මරණය කළා සේම මේ මාර්තු 08 ලංකාවට සුවිශේෂී වන්නේ අපේ ඉතිහාසයේ පළමුවෙනි වතාවට සංවිධානාත්මක දේශපාලනිකව බලමුළු ගන්වමින් අනාගතය පිළිබඳව තීන්දු කිරීමේ බලය ලබාගැනීමට ඉදිරියට එන ප්‍රවණතාවය නිසයි. මාතරින් පටන් ගත් ‘ගැහැනු අපි එක මිටට’ කියන සමුළුවලට පැමිණෙන ගැහැනුන් තවදුරටත් මේ දේශපාලන සංස්කෘතිය සහ ආර්ථික පීඩනය ඉවසිය යුතු නැති බව තේරුම්ගෙන සිටිනවා. ගෞරවාන්විතව, තමන්ගේ අභිමානය රැකගෙන ශක්තිමත්ව ගැහැනුන් හැටියට සාමූහිකව ගෙනඑන වේදිකාවක් තැනෙන තුරු ඔවුන් බලාගෙන සිටි බව අපිට තහවුරුවී තිබෙනවා. ජාතික ජන බලවේගය හැටියට ගැහැනුන්ට නායකත්ව දී ඔවුන් තුළ සැඟවී තිබුණු හැකියාව, දේශපාලන උවමනාව සහ නායකත්වයට වේදිකාව සකස් කර දීමට හැකිවීම පිළිබඳව අපි ඉතාමත් සතුටු වෙනවා. මේ කාන්තා දිනයට ඔවුන් ඉදිරිපත් වන්නේ තමන්ගේ භූමිකාව සහ අනාගතය පිළිබඳව දැනුවත්භාවයකින් යුතුවයි.

යූ.එන්.පී. ආණ්ඩුව එක්දහස් නවසිය අසූ ගණන්වල කාන්තා දිනය තහනම් කර කාන්තා දිනය සමරන්න ආපු ගැහැනුන්ට ප්‍රහාර එල්ල කර, අත්අඩංගුවට ගත් යුගයක් තිබෙනවා. කාන්තා දිනයේ ඇත්ත අරමුණු විකෘති කර, වාණිජ අරමුණු වෙනුවෙන් යොදාගත් ඉතිහාසයක් අපට තිබෙන්නේ. නමුත් 2024 කාන්තා දිනය නැවත වරක් අර්ථවත් කරන්න සංවිධානය වීමේ හැකියාව ලබාගැනීම පිළිබඳව අපි සතුටු වෙනවා. ලාංකික ගැහැනිය ගැන පමණක් නොවෙයි, අපේ සහෝදරත්වය, බැඳීම, සාමූහිකත්වය ලෝකය වටා ඉන්න ගැහැනුන් එක්ක බෙදා ගන්නවා. එවැනි අවස්ථාවක ගාසාතීරයේ අතිශයින්ම ක්‍රෑර, අමානුෂික පීඩාවන්ට පත්වෙන දහස් ගණන් ගැහැනුන් සහ දරුවන් පිළිබඳව අප පෙනී සිටිනවා. ඒ ක්‍රෑරත්වය නවත්වන්න බලය තිබෙන රාජ්‍යයන් නිහඬව සිටින මොහොතක අපි ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා. යුද්ධය කියන්නේ මනුෂ්‍ය සතා තුළ තිබෙන ඉතාමත්ම ක්‍රෑර, සාහසිකත්වය එළියට එන අවස්ථාවක්. යුද්ධ නැති සාමකාමී ලෝකයක් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ගාසාතීරයේ සහෝදරියන්ට ළමයින්ට සිදුවන හානිය අවම කරන්න වහාම මැදිහත් වෙන ලෙස ලෝකයෙන් ඉල්ලා සිටිනවා.

රට පාලනය කරන හොරු එකක මිටට තබා පැරදවීමට ගැහැනු එක මිටට සූදානම්
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ

අපේ රටේ ඉන්න ගැහැනුන්ට සහ ලෝකයේ ඉන්න සියලුම ගැහැනුන්ට දෙන්න පණිවිඩයක් අපට තිබෙනවා. අපි ජීවත් වන ලෝකය දරුවන්ට සහ ගැහැනුන්ට අයිති නැහැ. ආර්ථික, සමාජීය, සහ සංස්කෘතික ලෝකය අපට අහිමිවී තිබෙනවා. නැතිවුණු ඒ ලෝකය ගැහැනුන්ට දිනා ගන්න ලෝකයේම ගැහැනුන් එකට එකතු වී කරන්න අරගලයක් තිබෙනවා. අරගල මාවතේ පමණයි අපේ රටේත් ලෝකයේත් ගැහැනුන් අයිතීන් දිනාගෙන තිබෙන්නේ. 1910දී කෝපන්හේගන් නගරයේ පැවති ලෝක සමාජවාදී නායිකාවන්ගේ දෙවන ජාත්‍යන්තරය අමතා ක්ලාරා සෙට්කින් සහෝදරිය ගැහැනුන් වෙනුවෙන් දිනයක් අවශ්‍ය බව යෝජනා කළා. ඒ දිනය මාර්තු 08 ලෙස නම් කරන්නැයි තවදුරටත් කළ යෝජනාව එදා සිටි සියලුම සමාජවාදී නායිකාවන් අනුමත කළා. 1911 සිට මේ දක්වා වසර 113ක් ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් සිටිනවා. ඒ බව කියමින් මල්මාලා පැළැඳගෙන පාටි දාන්න ඕන දවසක් නොවෙයි. අපට විශාල අරගලයක් කරන්න තිබෙනවා. විශේෂයෙන්ම 2014දී දේශපාලන පරිවර්තනයක් කර, අලුත් යුගයක් ආරම්භ කරන්න අපට තිබෙනවා. එහි වැඩි කොටස තිබෙන්නේ ජනගහනයෙන් 52%ක් වූ අපේ රටේ කාන්තාවන්ට.

මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ අරගලයේදී අපට තිබෙන පරමාධිපත්‍ය බලය පාවිච්චි කිරීමේ දැනුවත්භාවය අවශ්‍යයි. මෙතෙක් සිටි පාලකයන් සිතා සිටියේ ඒ ගැහැනුන්ගේ පරමාධිපත්‍යය බලය ලාභයට ගත හැකි බවයි. දේශපාලන වශයෙන් රවටමින්, බොරු කරමින්, මේ දක්වා බලය ලබා ගත්තා. එවැනි ගැහැනුන්ට දේශපාලන අවබෝධය ලබාදෙමින් විශාල පිරිසක් දැනුවත් කරන්න අපි කටයුතු කළා. අපේ රටේ සියලුම ගැහැනුන් මහපාරට බැස අරගල කරමින් මහපාරට බැස ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්න සිදුවී තිබෙනවා. ගැහැනිය කිසි දවසක රවට්ටන්නේ නැති, ගැහැනියගේ හැකියාව සහ බලය ගැන අවබෝධයෙන් දේශපාලනික ගැහැනියක් බවට පත් කළ, ජාතික ජන බලවේගය වටා මේ රටේ සියලුම ගැහැනුන්ට එකතු වෙන ලෙස ආරාධනා කරනවා.

මහ බැංකුව හිස්කරන පාලකයන්ගේ සිට ග්‍රාමීය බැංකුවල සල්ලි සොරකම් කරන ග්‍රාමීය මට්ටමේ හෙංචයියන් දක්වා හොරකම දූෂණය ව්‍යාප්තවී තිබෙනවා. ආර්ථික ඝාතකයන් ලෙස අධිකරණයෙන් නම්කර සිටින රාජපක්ෂලා එක මොහොතක ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන බවට පොරොන්දු වුණා. ඔවුන් එය කඩකළා. ඉන්පසු 2023 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහත් ඒ පොරොන්දුවම දීලා කඩකර තිබෙනවා. මේ නිසා ක්ෂුද්‍ර මූල්‍ය ණය වෙනුවෙන් සිය දිවි නසාගන්න අපේ රටේ කාන්තාවන්ට සිදුවී තිබෙනවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරනවා වෙනුවට ග්‍රාමීය බැංකුවල තිබුණු අපේ කාන්තාවන් තැන්පත් කළ මුදල් කොල්ල කෑම දක්වා ගිහින් තිබෙනවා.
අපට අවශ්‍ය මේ හොරුන් එකට තබා පරද්දන්නයි. ඒ වෙනුවෙන් අපේ රටේ ගැහැනුන් සාමූහිකව නැගී සිටිය යුතුයි. ලයිට් බින 400%කින් වැඩිකිරීම නිසා ගෙවල් ලක්ෂ දහයක විතර ලයිට් බිල් ගෙවා ගන්න බැරිව විදුලිය කපාදමා තිබෙනවා. එවැනි තාත්තා කෙනෙක් තමන්ගේ දරුවාට පාඩම් කරන්න අසල්වැසි නිවසකින් විදුලිය ගන්න යාමේදී අනතුරකින් මිය ගියා. විදුලි බල මණ්ඩලයේ සිදුකරන මාෆියාවන් සම්බන්ධව ජනාධිපති සහ ඇමතිවරයා ඇතුළු පාලකයන් වගකියන්න ඕනෑ. කාන්තාවන් අඳුරට පත්කළ විදුලි මාෆියාව අහෝසි කිරීමට ක්‍රියාකරනවා මිස තවදුරටත් සහන බලාපොරොත්තු විය යුතු නැහැ. ඡන්ද කාලයේදී විදුලි ගාස්තු අඩුකිරීම කියන්නේ ප්‍රෝඩාවක් විතරයි. එයට එරෙහිව ආලෝකයක්, ජීවිතයක්, අලුත් රටක් ගොඩනඟන්න ජාතික ජන බලවේගය සමග පෙරට එන්න කියලා ආරාධනා කරනවා. මහපොළොවේ ඉන්න ගැහැනුන් මෙරට ඉතිහාසයේ පළමුවෙනි වතාවට මහ පාරේ අරගල කරන හැටි ඉදිරියේදී බලාගත හැකියි. දෙන සහනයක් ඉක්මනින් ලබාදී ඉවත්ව යන ලෙස අපි මේ පාලකයන්ට අවධාරණය කරනවා.

මෙතෙක් ආණ්ඩු ගෙන ගිය දූෂිත ගමන වෙනුවට නව මාතක් තොරගන්න
කාන්තාවන් පෙළගැසී තිබෙනවා
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

ආර්ථික අර්බුදය එක පැත්තක තිබියදී රනිල් රාජපක්ෂ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනක යෙදී සිටින අතරේ 113වැනි ජාත්‍යන්තර කාන්තා දිනය සමරනවා. මේ රටේ කාන්තාවන් සහ දරුවන් ඡන්ද ව්‍යාපෘතියට යොදා ගනිමින් ඉදිරියට යන්න රනිල් රාජපක්ෂ ආණ්ඩුව උත්සාහ කරනවා. නමුත් මෙතෙක් පැමිණි දූෂිත ගමට තිත තබන්න කාන්තාවන් තීරණය කර අවසන් බව අපි අවධාරණය කරනවා. තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අලුත් දේශපාලන ක්‍රමයක් සහ අලුත් දේශපාලන ප්‍රවාහයක් කෙරෙහි ජනතාව විශ්වාස තබා ඇති බව සනාථ වී තිබෙනවා. නිවාසයට පැටවී තිබෙන අසීමිත දරිද්‍රතාවය නිසා අපේ රටේ ලක්ෂ 43ක් වන පාසල් දරුවන්ගෙන් 54%කට අධ්‍යාපනික උපකරණ ලබාගැනීමේ දුෂ්කරතාවයට මුහුණ දී සිටිනවා. ආහාර, ඖෂධ, පාසල් පොත් පත් සහ උපකරණ මත අසීමිත බදු පනවා තිබෙන ආණ්ඩුවට එරෙහිව මුළු රටේම කාන්තාවන් ඒකරාශී කරගෙන මාර්තු 08වැනිදා සෑම දිස්ත්‍රික්කයකම උද්ඝෝෂණ මාලාවක් අපි සූදානම් කර තිබෙනවා. සෑම දිස්ත්‍රික්කයකම දැවැන්ත ජනතා නැගිටීමක් මේ ආණ්ඩුවට එරෙහිව සිදුකරනවා. ඒ වගේම එළඹෙන 10දා කොළඹ දිස්ත්‍රික්කයේ පවත්වන කාන්තා සමුළුව වසර 76ක පාලනය වෙනස් කරන අවස්ථාවක් ලෙසත් යොදා ගන්නවා.

ඒ වගේම අදටත් මේ රටේ ජාතික සමගිය ගොඩනඟා නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික සාධාරණත්වය ඇති කර නැහැ. අතිමහත් කාර්යභාරයක් ඉටුකරන කාන්තාවන්ගෙන් ශ්‍රම බලකායට දායකත්වය සපයන්නේ 30%යි. සම ශ්‍රමයට සම වැටුප් අයිතිය දීර්ඝ කාලයක් තිස්සේ අපි ඉල්ලා සිටියත් තවමත් ලැබෙන්නේ නැහැ. ගර්භනී මාතාවන්ගෙන් 33%ක් සහ ලක්ෂ 10කට ආසන්න කාන්තාවන් සහ දරුවන් පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. මෙතෙක් පවත්වාගෙන ආ පෝෂණ මල්ල ලබාදීමවත් ක්‍රමවත් ලෙස කරන්න අසමත් වුණු ආණ්ඩුව කාන්තාවන්ගේ ආර්ථිකයත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීනුත් හකුළමින් ක්‍රියාකරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙකු කළ පුද්ගලයෙකු පොලිස්පති ලෙස පත්කරගෙන ඔන්ලයින් පනත, ප්‍රතිත්‍රස්ත පනත වගේම මාධ්‍ය ආයතන නියාමන පනත වැනි පනත් සම්මත කර ගන්නත් උත්සාහ කරමින් සිටිනවා. ඔවුන්ගේ දේශපාලන බල අධිකාරිය පවත්වාගෙන යාමට දරන මෙම ප්‍රයත්නයන් හමුවේ ගැහැනුන්ට සහ දරුවන්ට සුරක්ෂිතභාවයක් තිබෙනවා දැයි අපි ප්‍රශ්න කරනවා. සමාජ මාධ්‍ය හා ප්‍රධාන මාධ්‍ය තුළත් කාන්තාවන් ඉලක්ක කරගත් හිංසනයත් මුදාහැර තිබෙනවා. මේ තත්වයන් තුළ භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අදහස, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සහ මූලික මිනිස් අයිතිවාසිකම් දිනාගැනීමට ජාතික ජන බලවේගය නායකත්වය ලබාදෙනවා. ජනතාව වෙනුවෙන් ක්‍රියානොකරන ආණ්ඩුව බදු අයකර ගැනීමට විතරක් අසීමිත ලෙස ක්‍රියාකරන ආණ්ඩුවට තවදුරටත් ජනතාව මුලා නොවෙන බව අවධාරණය කරනවා. මේ රටේ සිටින සෑම ගැහැනියකගේම ගෘහ ජීවිතය තට්ටු මාරු ක්‍රමයකින් උත්තර ලැබෙන්නේ නැහැ. මේ රටට අලුත් යුගයක් උදාකිරීම සඳහා 113වැනි ජාත්‍යන්තර කාන්තා දිනයේදී ක්‍රියාකරන බව අපි අවධාරණය කරනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පිළිතුරු ලබාදෙමින්

ප්‍රශ්නය: ගිනිගොඩක්ව තිබුණු රට ගොඩගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව පාර්ලිමේන්තුවේදී මීට ටිකවෙලාවකට පෙර ප්‍රකාශ කළා. එය තවදුරටත් ඉදිරියට ගෙනයමින් සිටින බවත් කීවා. ඒ ගැන මොකද කියන්නේ?

පිළිතුරු: අපිට නම් තිබෙන්නේ හිනා වෙන්න විතරයි. ඔහු එය කතාව කරන්නේ මැතිවරණ ව්‍යාපාරයට සූදානම් වෙන්න. ජනතාවගේ ප්‍රශ්න විසඳූ බවට ඔහුට කියන්න බැරි නිසා ඔය බොරු ගොඩක් කියනවා. 2022 මැයි 09දා අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වුණාම අපි ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය ගැන අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරන අතර, රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කළා. ඊට පස්සේ ජනාධිපති පාර්ලිමේනතුවෙන් තෝරා ගැනීමේ දී ඉදිරිපත් වුණේ ඔහු විතරක් නොවෙයි. තව දෙන්නෙක් ඉදිරිපත් වී සිටියා. අපේ නායක අනුර දිසානායකත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුමත් ඉදිරිපත් වී සිටියා. පොහොට්ටුවේ සිටි මන්ත්‍රීවරුන්ගේ වැඩි බලයෙන් රනිල් වික්‍රමසිංහ පත්වුණා. ඔහු විතරක් ඉදිරිපත් වුණා කියන එක පට්ටපල් බොරු. ඔහුව පත්කර ගත්තේ පොහොට්ටුවේ ආරක්ෂාව වෙනුවෙන් මිස රට ගොඩගන්න නොවෙයි. ඔය ගිනි ගොඩකින් බේරා ගත්තා කියන එකම බොරු.

රට ගොඩ ගත්තා කීවාට ඇත්තටම සිදුකර තිබෙන්නේ ආර්ථිකය තවදුරටත් සංකෝචනය කිරීමයි. ණය උගුලේ ප්‍රතිඵල නිසා රට බංකොලොත් වුණා. අද ආර්ථික නොහැකියාව තුළ ජන ජීවිත කඩාවැටී තිබෙනවා. ගෙවල් ලක්ෂ 10ක විදුලිය කප්පාදුව ඔහුට පේන්නේ නැද්ද? ළමුන්ගේ පාසල් යාම අඩුවීම ඔහුට පේන්නේ නැද්ද? ආර්ථික අර්බුදයක් විසඳන බව කියා මිනිසුන්ගේ ජීවිත අමතක කර දාන්න අපට බැහැ. ආර්ථිකය ශක්තිමත් කරන්න විශාල කැපවීම් කර තිබෙන්නේ මේ රටේ දුප්පත්ම සහ කිසිම බලයක් නොමැති පුරවැසියෝ. අඩුම තරමේ ඔහු ඒ කැපවීම අගය කරන්න ඕනෑ. විදුලි බලමණ්ඩලය විශාල ලාභයක් ලබා තිබෙන්නේ දූෂණ සහ වංචා නැවැත්වීමෙන් නොවෙයි. මිනිස්සු විදුලියට ගෙවන ගාස්තු විශාල වශයෙන් ඉහළ දැමීමෙන්. මහ පොළොවේ පයගහලා නැති ඔහුට කියන්න කතාවක් අවශ්‍යයි. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට කියන ඔවැනි කතා අපිත් මහජනතාවත් කිසිසේත්ම පිළිගන්නේ නැහැ.

ප්‍රශ්නය: බැසිල් රාජපක්ෂ නැවතත් පැමිණීමත් සමග පොහොට්ටුව පිබිදුණා කියලා කතාවක් තිබෙනවා. ඔබලාට අභියෝගයක් වෙයිද?

පිළිතුර: අනේ නෑ. කිසිසේත්ම අභියෝගයකුත් නෑ. අපි නම් මොන පිබිදීමක්වත් දැක්කේ නෑ. එන්න ඉස්සර පෙරහැරකින් ගේනවා කිවා නේද? ඒ පෙරහැරට මොකද දන්නෑ වුණේ. අපි නම් පෙරහැරක් දැක්කේ නෑ. එළියට බැස්සෙත් බොහොම අමාරුවෙන්. ආර්ථික ඝාතකයන්ට මේ රටේ ජනතාවගෙන් එළඹෙන මැතිවරණයේදී නිසි පිළිතුරු ලැබෙයි. ඔය කියන කිසිම දේශපාලනඥයෙක් ජනතාව එක්ක හිටගත්තෙත් නෑ. අදටත් නෑ. ඔවුන්ගේ බලය රැකගැනීම සඳහා උඩතලයේ දේශපාලන ඩීල් දැමීම එකම උපාය මාර්ගය. ජනතාව එක්ක ඇත්ත දේශපාලනය කරන්න ඔවුන්ට හැකියාවකුත් නෑ. තේරෙන්නෙත් නෑ. ඔවුන් තාම හිතන්නේ උඩ ඩීල් දාන්නත්, ජනතාව රවට්ටන්නත් විතරයි. මේ පාර වෙනස, කලින් වගේ ජනතාව රැවටෙන්නේ නෑ. ඔවුන් සියලු දෙනාම එකම වේදිකාවට ආවත් වැඩක් වෙන්නේ නෑ. ඒ දේශපාලන සංස්කෘතිය මේ අවුරුද්දේ අවසන් වෙනවා. ඒක කරන්නේ මේ රටේ ජනතාව.

ප්‍රශ්නය: ඒ දේශපාලන පක්ෂ හැම එකක්ම එකතු වෙලා ජාතික ජන බලවේගය තනිවෙන බව පේනනවා. එහෙම වුණොත් ජයග්‍රහණය කරන්න පුළුවන්ද?

පිළිතුර: එහෙම වුණොත් තවත් ලේසියි. එකතු වුණොත් අපිට හරිම ලේසියි. ජනතාවටත් හරිම ලේසියි. පැරණි ගඳ ගහන, දූෂිත දේශපාලනය වෙනුවට ජනතාවත් සහභාගී වෙන අලුත් දේශපාලනයකට රට ගෙනියන යුගයක් අපි ආරම්භ කරනවා. කණ්ඩායම් දෙක හරියටම බෙදුනම ජනතාවටත් අපිටත් හරිම පහසුයි.