උණුසුම් පුවත්

තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට

චීන සංවර්ධන බැංකුව (CDB) ලබාගත් ණයකිනි

තඹුත්තේගම, තලාව, ගල්නෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි 91,810ක ජනතාවකට සෙත සැළසෙන තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරුවේ ජනතා අයිතියට පැවරිණි.

චීන සංවර්ධන බැංකුව (CDB) ලබා දුන් සහන ණයක් යටතේ ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය 2022 මැයි මස සිට 2024 මැයි දක්වා කාල සීමාව තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් අතරමග නැවතී තිබුණද, මෙහි ජාතික වැදගත්කම හඳුනා ගනිමින් ශ්‍රී ලංකා රජයේ අරමුදල්ද යොදා ගනිමින් වත්මන් රජය යටතේ  ව්‍යාපෘතියේ කටයුතු සාර්ථකව නිම කෙරිණි.

ප්‍රදේශයේ ව්‍යාප්ත වී ඇති කාලීන වකුගඩු රෝගයට පිළියමක් ලෙස ඉදි කෙරුණු මෙම ජල සම්පාදන ව්‍යාපෘතිය ප්‍රදේශයේ ජනතාවගේ සමාජ, ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීමටද ඉවහල් වනු ඇත.

මෙමගින් නිවාස ඒකක 25,000ක් සඳහා නව ජල සම්බන්ධතා ලබා දීමට සැලසුම් කර තිබේ.

 රුපියල් බිලියන 32ක ප්‍රතිපාදන යටතේ ඉදිකෙරුණු මම ව්‍යාපෘතිය දිනකට ඝන මීටර් 18,000ක ජල පවිත්‍රාගාරයකින්, ඝන මීටර් 1,500ක ධාරිතාවෙන් යුත් ජල කුලුනු 03කින්, කි.මි 12.75කින් යුත් ජල සම්ප්‍රේෂණ නළ මාර්ග පද්ධතියකින්, කි.මි 158කින් සමන්විත බෙදාහැරීම් ජල නළ පද්ධතියකින් සමන්විතය.