'මුර අඩවිය' බඳු කෘතියකට දිගුකාලීන වටිනාකමක් එකතු වන්නේ ඇයි...?

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් විසින් රචිත 'මුර අඩවිය' කෘතිය ඉකුත් ජුලි 04 වන දා බූස්සේ මහගෙදර වත්තේ දී ජනගත කෙරුණි.
'මුර අඩවිය' ගැන අදහස් දක්වමින් සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුමුදු චතුරාණි ජයවර්ධන කළ දේශනය මේ.
''භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් සහෝදරයා නික්ම ගොස් තුන්මසක් ගෙවෙන මේ මොහොතේ ඔහු විසින් රචිත මුර අඩවිය කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට සහභාගී වීමට ලැබීම සතුටක්. මහාචාර්ය ටියුඩර් වීරසිංහ සහ ප්‍රවීණ දේශක ගාමිණී කුමාර විතාන මහත්වරුන් යුද සාහිත්‍යයත්, එහි ප්‍රගමනීය හා ව්‍යුහාත්මක ලක්ෂණත් ගැන පෙර සාකච්ඡා කළ නිසා මා මගේ දේශනයේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් නම් මාධ්‍යවේදියා ගැන අවධානය යොමු කරන්නට කැමතියි.
චතුරාණි ජයවර්ධන සිය දේශනයේදී අදහස් දක්වමින්
මට ඔහු ඇසුරු කරන්නට ලැබෙන්නේ ලේක්හවුස් ආයතනයේ දී. ඔහු ලේක්හවුස් ආයතනයේ දිනමිණ හා සිළුමිණ පුවත්පත් දෙකෙහි ම දීප්තිමත් මාධ්‍යවේදියකු ලෙස ස්වකීය වෘත්තිය ජීවිතය ගත කළා. 'මුර අඩවිය' නමින් අද ගොඩගේ ප්‍රකාශනයක් ලෙස ප්‍රකාශනයට පත් මේ කෘතිය ඔහු එනමින් දිනමිණට ලියූ ලිපි මාලාවක් ඇසුරෙන් සකස් කරන ලද්දක්. මා මෙහිදී මේ කෘතියේ සඳහන් වෙන කරුණු සහ කෘතියක් ලෙස එහි වැදගත්කම කොටස් දෙකක් යටතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා.
'මුර අඩවිය' ලිපි මාලාව පොතක් වීමේ මූලික සංරක්ෂණ වැදගත්කම
අප තිස්වසරක යුද්ධයක් අවසන් කළ ජාතියක්. මෙතැන සභාවේ සිටින බොහෝ දෙනා ඒ කුරිරු යුද්ධයේ අත්දැකීම් විවිධාකාර ලෙස විඳින ලද පිරිසක්. එහෙත් 2009 වර්ෂයෙන් පසුව උපන් අපේ දරුවන් ගේ පරම්පරාව යුද්ධය ගැන අසා ඇති, නමුත් ඔවුන් එහි ඵලවිපාක කුමන හෝ අයුරකින් බුක්ති නොවිඳි පිරිසක්. සභාවේ සිටින බොහෝ දෙනකුට මතක ඇති දකුණේ අප කෙතරම් භීතියකින් එකල්හි ජීවත් වූවා ද යන්න. ඔබේ අම්මා හෝ තාත්තා එක ම බසයේ හෝ දුම්රියේ එකට ගමන් නොකළ බව ඔබට මතක ඇති. එසේත් නැතිනම් ඔබ ඔබේ සැමියා හෝ බිරිය සමග එකම පොදු ප්‍රවාහන සේවය පාවිච්චි නොකරන්නට ඇති. ඇයි ඒ...? කොතැන කෙලෙස බෝම්බ පිපිරේදැයි නොදන්නා, ජීවිතය කොතැනක දී අහිමි වේ දැයි නොදන්නා සමයක් තමයි එකල තිබුණෙ. සිය දරුවන්ට අම්මා තාත්තා දෙදෙනාම අහිමි නොවීම වෙනුවෙනුයි ඔවුන් වෙන ම සිය රාජකාරී සඳහා පිටත් ව ගියේ. එතරම් අවිනිශ්චිත ජීවිතයක් ඔබට තිබුණු බව ඔබට අමතක නැතිව ඇති. උදේ රාජකාරිය සඳහා ගිය බොහෝ දෙනා නැවත ගෙදර එනතෙක් ගෙදර අනෙක් උදවිය සිටියේ ගැහෙන හදින් යුතුව. මේ අතීතය අපට මතකයි. ඒත් එවැනි අතීතයක් අපට තිබූ බව 2009න් පසුව උපන් අපේ දරුවන්ගේ පරම්පරාව දන්නේ නැහැ. ඉතින් එය ඔවුන්ට දැන ගන්නට නම් ඒවා ලිඛිත සාක්ෂි සේ ගොනු වී තිබිය යුතුයි. 'මුර අඩවිය' ලිපි මාලාව පොතක් වීමේ මූලික සංරක්ෂණ වැදගත්කම ගොඩනැඟෙන්නේ එලෙසින්.
නිර්මාණාත්මක සන්නිවේදනය සහ පුවත්පත් වාර්තාකරණය අතර වෙනස
මෙය වාර්තාමය ස්වරූපයෙන් පැවතීම වැදගත් යැයි අප කියන්නේ ඇයි...? ඔබ දන්නවා නිර්මාණාත්මක සන්නිවේදනය සහ පුවත්පත් වාර්තාකරණය අතර පැහැදිලි වෙනසක් ඇති බව. නිර්මාණාත්මක සන්නිවේදනයේ දී අපි පරිකල්පනාත්මක ප්‍රවේශ සහ ආලේපිත භාෂාමය ප්‍රයෝග මෙන්ම ව්‍යංගාර්ථ, බහු අර්ථ, උපමා උපමේය, රූපක ආදිය සඳහා වැඩි ප්‍රමුඛත්වයක් ලබා දෙනවා. නිර්මාණාත්මක සන්නිවේදනය කියන්නේ සරලම ප්‍රවේශයකින් විග්‍රහ කරගතහොත් යථාර්ථය සහ පරිකල්පනය එකතු කිරීමක්. එහි අතරමැදි ලේඛනයක්. නමුත් වාර්තාකරණය මුළුමනින් ම යථාර්ථය මත පදනම් වූවක්. එහි ව්‍යංග්‍යාර්ථ, රූපක නෑ. පවතින තත්ත්වය ඒ ලෙසින් ආවරණය කරමින් ඉදිරිපත් කිරීමක් කරන්නෙ. එහි ආලවට්ටම් සහිත බසක් නෑ. බහු අර්ථ ජනනය කිරීමක් නෑ. මෙය යුද වාර්තාකරණයේ දී විශේෂයි. එහි සීමා සහ වගකීම නිසා මාධ්‍යවේදියා අසීමිත බන්ධනයකින් බැඳෙනවා. කෙනකුට හිතෙන්න පුළුවන් වාර්තාකරණය කියන්නෙ හරි පහසු ඕනෑ ම කෙනකුට කරන්න පුළුවන් දෙයක් කියලා. නමුත් වාර්තාකරණයේ මූලධර්ම හා වගකීම මෙන්ම වගවීමත් ඉතා පුළුල්. ඒ වැනි පුළුල් මාතෘකාවක් කතා කිරීම මේ මොහොතේ නොගැළපෙන දෙයක්. ඒ අතරිනුත් යුද වාර්තාකරණය කියන්නේ ජනමාධ්‍ය පාඨමාලා, පශ්චාත් මට්ටමේ හැදෑරීම් කෙරෙන විෂය පථයක්. එය අනෙක් ඕනෑම වාර්තාකරණයකින් වෙනස් වන්නක්. එහි විෂයාන්තර වගකීම වගේම ජීවිත අවදානමත් එක වගේ තියෙනවා.
'මුර අඩවිය' බඳු කෘතියකට දිගුකාලීන වටිනාකමක් එකතු වන්නේ ඇයි...?
විෂයාන්තර වගකීම යන්න කෙටියෙන් ගත්තොත් සත්‍යතාව සහ නිරවද්‍යතාව, සමබර වාර්තාකරණය, සිවිල් ජනතාව ගේ ආරක්ෂාව සහතික කිරීම, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන වගකීම, නීති සහ මාධ්‍ය ආචාර ධර්ම ආරක්ෂා කිරීම, තර්ජන පීඩන තත්ත්ව දරා ගැනීම ආදි වශයෙන් ජීවිත අවධානම මධ්‍යයේ වුවත් රාජ්‍ය හා සිවිල් ආරක්ෂාව සුරැකීම කළ යුතු වෙනවා. ඔවුන් යුද්ධයේ සටන් පමණක් නොව එහි මානවීය, සමාජයීය හා දේශපාලනික තත්ත්ව සිවිල් සමාජය වෙත ගෙන යන ප්‍රවාහකය ලෙස කටයුතු කරනවා. එහි දී පවතින තත්ත්වය ඒ අයුරෙන් නමුත්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි වාර්තා කිරීමේ අභියෝගය ඔවුන් ඉදිරියේ තිබෙනවා. යුද සාහිත්‍යයේ එන පරිකල්පනාත්මක එළැඹුමෙන් විතැන් ව, පවතින තත්ත්වය සංදිග්ධතාවලින් තොරව සහ මානව සමාජයේ ගැටුමක් හෝ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති නොවන පරිදි, එමෙන්ම සත්‍ය හා නිවැරදිව වාර්තා කිරීම යුද වාර්තාකරණයේ දී අත්‍යවශ්‍යයයි. ඉතින් ඔබට පෙනෙනවා ඇති යුද වාර්තාකරණය කෙතරම් අසීරු ද කියා. එහෙත් මේවා ලිඛිත සාක්ෂි සේ සංරක්ෂණය වීමේ වගකීම ඔවුන් දරනවා. පුවත්පත කියන්නේ අප එදිනෙදා කියවා බලා ඉවත ලන මාධ්‍යයක්. එහි සුරක්ෂිත බව දිගුකාලීනව පවතින්නේ නෑ. නමුත් මේ වැනි වාර්තාකරණ පුවත්පතෙන් ඔබ්බට ගොස් වඩාත් සංරක්ෂිත වටිනාකමක් ඇති කෘතියක් ලෙස සංගෘහිත වීම කාලීන අවශ්‍යතාවක් බවට අද පත්වී තිබෙනවා. ඒ ඉතිහාසය සජීවිකරණය කිරීම උදෙසායි. එබැවින් භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්ගේ මුර අඩවිය ලිපි පෙළ එනමින් කෘතියක් බවට පත් වීම හුදෙක් ලිපි එකතු කිරීමක් පමණක් වන්නේ නෑ. එය යුද්ධයක සත්‍ය තොරතුරු, මානව අත්දැකීම්, මාධ්‍ය භූමිකාව සහ ඉතිහාසය අනාගත පරපුර සඳහා සුරක්ෂිත කිරීමක්. 'මුර අඩවිය' බඳු කෘතියක් ඔස්සේ ඉතිහාසය, සමාජ හා මානව විද්‍යා ප්‍රවේශ, ගැටුම් නිරාකරණය, මාධ්‍ය අධ්‍යයනය, සාම අධ්‍යයනය ආදී බොහෝ ක්ෂේත්‍ර සඳහා දිගුකාලීන වටිනාකමක් එකතු කරනවා.
අමිහිරි මතකය සහ කැපවීමක ආශ්චර්යය
එපමණක් නොවේ, යුද පෙරමුණේ සටන් වදින සොල්දාදුවන් සේම ඔවුනුත් ජීවිත අවදානම දරනවා. කොයි මොහොතේ උණ්ඩයකට හෝ බෝම්බයකට හසු වී ජීවිතයෙන් සමු ගන්නට වේ දැයි දන්නේ නෑ. එසේ නැතිනම් සදාකාලික අබ්බගාත බවට ලක්වීමට සිදු වෙන්නත් පුළුවන්. ඒත් සිය පාඨක ප්‍රජාව වෙනුවෙන් ඔවුන් ඒ අවධාන ම දරනවා. භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් දශකයක් පමණ කාලයක් පුරා යුද බිමේ වාර්තාකරණයේ යෙදුණා. ඒ කාලය ඇතුළත භක්ති ගැන ඔහුගේ මව, පියා, බිරිය, පුතා, සහෝදරියන් තිදෙනා ප්‍රමුඛ යහළු මිත්‍රාදීන් කෙතරම් නම් බියකින් සිටින්නට ඇත්ද? යුද පෙරමුණේ සිටින සොල්දාදුවකු ගැන ඔහුගේ පවුලේ උදවිය කෙතරම් නම් බියකින් පසු වන්නේ ද, ඒ හා සමානම බියක් මේ තාත්තා, අම්මා, බිරිය, පුතා සහ සහෝදරියන් ද දරන්නට ඇති. එයයි එහි ඇති අමිහිරි මතකය වගේම කැපවීමක ආශ්චර්යය. එනයින් බලන විට භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් කියන මේ මාධ්‍යවේදියාගේ කතුවර ආගමනය ඔහු නැතත් ඔහුගේ මෙහෙවර අමරණීය කළ කාර්යයක්. මරණයෙන් පසු අමරණීය වීමේ පසුබිම භක්තිට නිර්මාණය කරන්නට කැප වූ පවුලේ සහ හිත මිතුරු ඔබ සියල්ලන් අප මේ මොහොතේ ආදරයෙන් සිහිපත් කරනවා.
භක්ති සේම මේ අසීරු මාධ්‍යකරණයේ නිරත වූ අනෙක් සහෝදර මාධ්‍යවේදීන් සිහිපත් කිරීමටත් මම මෙය අවස්ථාවක් කර ගන්නවා. අද ඔබේ සම්ප්‍රවේශකත්වය දරන මා මිත්‍ර මිහිරි ෆොන්සේකා, අද මේ අවස්ථාවේ ඡායාරූප ගනිමින් සිටින රුක්මාල් ගමගේ වගේම රනිල් විජේපාල, ශානිකා ශ්‍රියානන්ද, ධනේෂි යටවර, රමේෂ් වරල්ලේගම, සජීව චින්තක ආදී නම් කිහිපයක් මා මතකයට නැගෙනවා. මේ නම් කිහිපයක් පමණයි, තවත් බොහෝ අය සිටියා. මේ මොහොතේ නම නොකිය වුණු සහෝදර මාධ්‍යවේදීන්ගෙන් මා සමාව අයැද සිටිනවා. මේ සියල්ලෝම තම ජීවිතය පරදුවට තබා යුද වාර්තාකරණයේ නිරත වූ මාධ්‍යවේදීන්. ඒ සියල්ලන් මේ මොහොතේ සිහිපත් කරන්නේ කෘතඥතා පූර්වකවයි.
මාධ්‍යකරණය සමග සබැඳි යුද ආර්ථිකය
දේශනය පටන් ගනිද්දි ඔබට පැවසුවා මා කරුණු දෙකක් ගැන අවධානය යොමු කරන බව. මෙතෙක් මා ඔබට මුර අඩවිය ලිපි පෙළට දිගු කාලීන සංරක්ෂිත වටිනාකමක් එක්වීමේ වැදගත්කම ගැන අවධාරණය කළා. දැන් මා ඔබට කියන්නට යන්නේ මා දකින එහි දෙවැනි වටිනාකමයි.
ඔබ දන්නවා ලෝකය පුරා විවිධ අයුරෙන් යුදමය වාතාවරණ බිහි වූ බවත්, අනාගතයේ බිහි වෙමින් පවතින බවත්. මේ සෑම යුද්ධයක් නිසාම යුද ආර්ථිකයක් එහෙමත් නැතිනම් War Economy එකක් බිහි වෙනවා. යුද්ධයට අවැසි අවි ආයුධ නිෂ්පාදනයේ සිට බුලත්විට විකිණීම දක්වා මුළු පරාසය ම යුද ආර්ථිකයට අයත් වෙනවා. මහා පරිමාණ දැවැන්ත නිෂ්පාදන වන අවි ආයුධ ලෝකය පුරා දැවැන්ත වෙළෙඳ අධිකාරියක් ගොඩනගද්දි, අප බඳු තුන්වැනි ලෝකයේ රටවල යුද පෙරමුණු හා ඒ අවට පරිසරයේත් විවිධ ආර්ථික අවශ්‍යතා වර්ධනය වෙනවා. ඒ ඒ සේවා අවශ්‍යතා සපුරන විවිධ කුඩා පරිමාණ ව්‍යාපාර අනන්තවත් ඒ ආශ්‍රිතව ගොඩනැගී ඇති අයුරු ඔබ දැක ඇති. ඒවා විවිධාකාර විය හැකියි. සොල්දාදුවන්ට බත් පාර්සල්, බුලත් විට විකිණීමේ දක්වා බිම් මට්ටමට යනතෙක් යුද ආර්ථිකයේ විවිධ ස්ථර ගොඩනැගී ඇති අයුරු ඔබට සිහිපත් වේවි. සියල්ල විකිණෙන සමාජයක යුද පෙරමුණේ ඔබ සමහර විට සිතන, තවත් සමහරකු ගේ අවධානයට ලක් නොවුණු තවත් පාර්ශ්වයක් තියෙනවා. ඒ තමයි මාධ්‍යකරණයේ යුද ආර්ථිකය. මෙය ලෝකය පුරා පැතිරුණු බලවත් ව්‍යාපාරයක්. ලංකාව වැනි අභ්‍යන්තර යුද්ධයක් පවතින රටක යුද පුවත්වලට ඇති වටිනාකම ඉතා ඉහළයි.
කොහොමද යුද පුවත්, ආර්ථිකයක් බවට පත් වෙන්නේ? ඒවා සිදු වෙන විවිධ ආකාර තියෙනවා. යුද පෙරමුණේ රහස්, අභ්‍යන්තර සැලසුම්, අභ්‍යන්තර තීන්දු තීරණ, ගැටුම්හි ස්වභාවය, ලිඛිත සේම රූපමය සාක්ෂි, මිය ගිය සොල්දාදුවන් ගේ සහ ත්‍රස්වාදීන්ගේ ගණනය කිරීම්, ඔවුන්ගේ පුද්ගලික තොරතුරු, යුද පෙරමුණේ අණ දෙන නිලධාරීන්ගේ පුද්ගලික හා වෘත්තීයමය තොරතුරු, දේශපාලනික මැදිහත් වීම්, අවි ආයුධ ගබඩා, අවි ආයුධ කෙතරම් ප්‍රමාණයක් තිබේ ද යන්න, රාජ්‍ය මට්ටමේ මැදිහත් වීම්... මේ ආදි යුදමය වාතාවරණයක දී රජයක පවතින දැඩි වගකීම් සහගත රහස්‍යභාවය පිළිබඳ ලොව පුරා උනන්දුවෙන් සිටිමින්, ඒ තොරතුරු පිපාසාවෙන් ඒවා පැහැර ගන්නට බලා සිටින පිරිස් බහුලයි. මේ අය ඕනෑම මුදලක් ඒ වැනි රහස්‍ය අභ්‍යන්තර තොරතුරු ලබා ගැනීම සඳහා වැය කරන්නට සූදානම්. ඒ සඳහාම පිහිටුවන ලද ප්‍රවෘත්ති ආයතන තිබෙනවා. ඒ අය අති විශාල මුදල් ප්‍රමාණ ප්‍රදානය කිරීමට සූදානමින්, යුද පුවත් වාර්තාකරණයේ නිරත වන මාධ්‍යවේදීන් ගෙන් යුද පෙරමුණේ රහස්‍ය තොරතුරු ඉල්ලා සිටිනවා. විවිධ වරදාන, වරප්‍රසාද ලබා දීමේ පොරොන්දු ලබා දෙමින් ප්‍රවෘත්ති හා යුද පෙරමුණේ සංවේදී අවස්ථා ගැන විමසනවා.
යුද වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදීන් ගේ සමත්කම්
මේ පසුතලයේ ඇති ලෝ ප්‍රකට ඡායාරූපය ගත් මාධ්‍යවේදියා වෙන රුක්මාල් ගමගේ අද අප සැම ගේ ඡායාරූප ගනිමින්, සාමාන්‍ය පුරවැසියකු සේ මධ්‍යම පාන්තික ජීවිතයක් ගෙවමින් සිටිනවා. අවසන් මෙහෙයුමේ දී ත්‍රස්තවාදීන් ගේ ප්‍රහාරවලින් බේරා ගෙන මේ අප සහෝදර දමිළ ජාතික අම්මා දෑතින් ඔසවා ගෙන මෙගොඩට රැගෙන එන අප සොල්දාදුවා ගේ සේයාරුව ගන්නා ලද්දේ ඔහු විසින්. ඔහු ළඟ එවන් සංවේදී හා මානුෂීය මෙහෙවරක අසිරිය පෙන්වන ඡායාරූප එකතුවක් තිබෙන්නට ඇති. ලෝකය පුරා මානව හිමිකම් සංවිධාන විසින් තිස් වසරක යුද්ධය ගැන විවිධ මත ගොඩනගද්දී එය භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් රජය විසින් කරන ලද මානුෂික මෙහෙවරක් බව ඔප්පු කරන්නට ඒ සේයාරූ සමත් වුණා. ඒ සේයාරූ විසින් දරන මතය ලිඛිතව සංරක්ෂණය කරන්නට යුද වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදීන් සමත් වුණා.
ආචාර ධර්මීය මාධ්‍ය කලාවක අසිරිය
මේ මාධ්‍යවේදීන් ගෙන් මේ වැනි සාක්ෂි සහිත සේයාරූ සහ දත්ත මා පෙර කියූ ප්‍රවෘත්ති ආයතන විසින් ඉතා විසල් මිල ගණන්වලට අනන්තවත් ඉල්ලා ඇති. මෙතැන මේ මොහොතේ සිටින අරුණ පුවත්පතේ වත්මන් විශේෂාංග කර්තෘ මිහිරි ෆොන්සේකාත්, ලේක්හවුස් ආයතනයේ වත්මන් නියෝජ්‍ය ඡායාරූප කර්තෘ රුක්මාල් ගමගේත් ඒ වෙනුවෙන් සාක්ෂි දරනු ඇති. රාජ්‍ය භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් කැප වෙන මාධ්‍යවේදීන් කිසි දිනෙක එවැනි පාවාදීම් කරන්නේ නෑ. ඔවුන් විවිධ අරමුණු සාධනය කර ගැනීම වෙනුවෙන් විවිධ පාර්ශ්ව ලබා දෙන ප්‍රසාද ලබාගෙන ස්වකීය රජය පාවා දෙන්නේ නෑ. රජය අප සියල්ලන් ගේ ම යි. එය රැක ගැන්ම වෙනුවෙන් ඔවුන් කැප වුණා. මුදල් හෝ වෙනත් වරප්‍රසාද වෙනුවෙන් සිය මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාව පාවා දීමට ඔවුන් කිසිවිටෙකත් ක්‍රියා කළේ නෑ. සමහර මාධ්‍යවේදීන් රට හැර යද්දී, ඇතැම් මාධ්‍යවේදීන් මුදලට විකිණෙද්දී සිය ජීවිතය හෝ නොතකා මාතෘ භූමියේ අඛණ්ඩතාව වෙනුවෙන් පෙළ ගැසුණු ආචාර ධර්මීය මාධ්‍ය කලාවක අසිරිය විදහා දැක්වූ මාධ්‍යවේදීන් අතර භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් නාමය ද පවතිනවා. ඒ නිසයි ඔහු ලියූ ලිපි මේ ලෙස පොතක් ලෙස එකතු කරන්නට ඔහුගේ පියාණන්ට හැකි වූයේ.
ඔහු නික්ම ගියේ සම්පූර්ණ මිනිසකු ලෙසිනි...
රාජ්‍යයේ භෞමික අඛණ්ඩත්වය වෙනුවෙන් ඔහු කළ කැපවීම ගැන මා සිහිපත් කරන්නේ ගෞරවයෙන්. ඒ වගේම යුද පුවත් සහ සේයාරූ වාර්තාකරණයේ යෙදී සිටි සියලු ම මාධ්‍යවේදීන්ට ගෞරවය පුදන්නට මා මෙය අවස්ථාවක් කර ගන්නවා. 'මුර අඩවිය' ලියූ භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් දිවිසැරිය නිම කළත්, ලිවිසැරිය ඉතිරි කළ අභීත මාධ්‍යවේදියෙක් ලෙස ඉතිහාසයේ ලියැවිය යුත්තේ ඒ නිසා.
මේ කෙටි දේශනය නිමා කරන්නට පෙර ප්‍රවීණ දේශක ගාමිණී කුමාර විතාන මහතා ද සඳහන් කළ ජානමය බලපෑම ගැනත් යමක් කිව යුතු යැයි සිතෙනවා. ප්‍රවීණ ගත්කතුවර කේ. ජයතිලකයන් පැවසූ යමක් මා මතකයට නැඟෙනවා.
පුද්ගලයකු සර්ව සම්පූර්ණ වීමට නම් ඔහු කරුණු තුනක් සාක්ෂාත් කළ යුතු බව එතුමා පවසනවා. ඒ කරුණු තුන සුගතපාල මෙන්ඩිස් අප ආදරණීය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා අරභයා මා මෙසේ සමපාත කරනවා. පළමු වැන්න පොතක් ලිවීමයි. සුගත් මාමණ්ඩි එක පොතක් නොවේ, පොත් ගණනාවක් ලියා තිබෙනවා. දෙවැන්න ගසක් සිටුවීමයි. ඔහු එක ගසක් නොවේ අනන්තවත් ගස් සිටුවා තිබෙනවා. තෙවැන්න රටට වැඩදායක පුතෙක් හැදීමයි. මේ ඔහු සහ නැන්දණිය විසින් හදා වැඩූ රටට වැඩදායක පුතණුවන් ගේ වටිනාකම ගැන කතා කරන මොහොතයි. එහෙනම් සුගතපාල මෙන්ඩිස් කියන මේ ආදරණීය මාධ්‍යවේදියා සම්පූර්ණ පුද්ගලයෙක්. මා මෙයම භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්ට ආදේශ කරනවා. ඔහුත් අනන්තවත් ගස් සිටු වූ බව මේ මෑණියන් හා පියාණන් සාක්ෂි දරාවි. ඔහුගෙත් ආචාර්ය ඉමේෂි ධර්මසේනගේත් ආදරණීය පුතණුවන් ධීමත්, රටට වැඩදායක පුද්ගලයකු වන බව නොඅනුමානයි. මේ ඔහු ලියූ 'මුර අඩවිය' පොත ජනගත වෙන මොහොත. එනම් ඔහු පොතකුත් ලියා අවසන්. ඉතින් ඔහුත් නික්ම යන්නේ සම්පූර්ණ මිනිසකු ලෙසින්.


