උණුසුම් පුවත්කාලීනපරිසරයසාහිත්‍යය හා කලාව

දෙනගම වත රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද වග යි

(දෙනගම හා කුසුම්)

දෙනගම සිරිවර්ධන සූරීන් තම ජීවිත කාලය ම වැය කළේ මේ රටේ පීඩිත මිනිසාගේ නෙත කඳුළ පිසදා සතුටු සිනාවක් මුවග මතුකිරීම සඳහා ම ය.

ගුරුවරයකු වශයෙන් ඈත එපිට ගම්දනව් වෙත ගොස් දුගී දරුවනට අකුරු මතු නොව දිරිය සවිය වඩමින් කළ අමිල මෙහෙවර වචන වසයෙන් පළකිරීම දුෂ්කර වන්නේ ඊට බස නොපොහොසත් බැවිනි වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මානව වාදියෙකු වූ එතුමා දරුවන්ට ජීවිතය කියා දුන්නේ උපන් බිමට තමාගෙන් වියයුතු මෙහෙවර සලකමිනි.

එතුමා ලේඛකයකු වසයෙන් ගවේෂණාත්මක කාර්යයේ නිමග්න වුයේ ඈත එපිට ගම්දනව්වල පමණක් නොවේ නාගරික සමාජයේ පවතින තත්ත්වයන් ද ජීවිත අවදානම නොතකා විචක්ෂණශීලීව සෙවූ එතුමා ඒවා වඩා සංවේදී ආකාරයට ජනප්‍රජාවගේ දැනුම් වපසරිය වඩා ඉහළට වඩන රිසින් ම ඉදිරිපත් කළ ආකාරය අපූරු වේ.
අපමණ කරුණු ගවේෂණය කොට එතුමා රචිත අයෝමා නම් නවකතාව ඔස්සේ ස්ත්‍රියගේ ජීවිත ඛේදවාචකය එසේවීමට බලපා ඇති සත්තාව මොනවාට හෙළි කෙරී ඇත.එහි කුණපයක් බවට පත්ව ඕජස් ගලන මේ ජරපත් ධනේශ්වරයේ සියලු සමාජ සංස්ථා දූෂණය වී ඇති ආකාර හෙළි කර තිබීම අපට වඩා සුන්දර ලොවක් පිළිබඳ අපේක්ෂා ලියලවයි.
ඇමති මුහුණ ඉතා තියුණු උපහාස රසය කැටි කර ගත් නිර්මාණයක් වන අතර ඇතැම්විට ධර්මසේන හිමියන්ගේ කතා කලාවේ හෙවණැල්ල ප්‍රකට කරයි.
එතුමාගේ මාධ්‍ය භාවිතය ඉතා විශිෂ්ට වේ ඊට කදිම නිදසුන බරවකුඹුකේ සියදෝරිස් නම් ලේඛනයයි මේ බිම දහදියෙන් සැනැසූ අපූරු වීර ගොවියෙකු අපට හෙළි කළ ඒ ලේඛනය කවර තරම් උත්තම ලේඛනයක් දැයි විමසිය යුතු ය.
එතුමා වඩා ඉහළ සාර්ථකත්වයක් පළ කර ඇත්තේ චරිත කතා නිර්මාණය සඳහා ය.මෙරට බස නැගුමට මහඟු එළියක් විහිදුවා ලූ කෝදාගොඩ ඤාණාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සිට ජනමාධ්‍යවේදී එස් ජී පුංචිහේවා නම් මහා මානවවාදියා දක්වා වූ ඒ ඒ උත්තම සත්පුරුෂ සාධු ජනයන් පිළිබඳව චරිතාපදාන රැසක් ලියා ඇති මෙතුමා චරිත කතා කලාවට වෙනස් හැඩයක් හඳුන්වා දී ඇත්තේ කිසිවකුගෙන් ගත් ආභාසයක් ලෙස නොව තමා විසින් ගොඩනැගූ ප්‍රබල ශෛලියක් වසයෙනි
විශේෂයෙන් යුගයේ මිනිසා නම් මහාචාර්ය සේනක බිබිලේ චරිතාපදානය,අහිංසාවේ උල්පත නම් ආචාර්ය ඊ ඩබ් අදිකාරම් චරිතාපදානය දයාසේන ගුණසිංහ චරිතාපදානය එස් ජී පුංචිහේවා චරිතාපදානය ආදී වසයෙන් මැවූ චරිතාපදාන අතිප්‍රබල ය.
පද්‍ය,කෙටිකතා,යොවුන් නවකතා චරිතකතා ළමාකතා බෝසත් කතා ආදී වසයෙන් මෙතුමා ලියූ මේ ග්‍රන්ථ සමුදායෙන් මේ කොදෙව්වාසී ජනයාගේ මානසිකත්වය මහද්වීපික මානසිකත්වයක් දක්වා වර්ධනයට අවකාස උදාකර ඇත.
එතුමා දෙනගම වත නමින් ලියූ මහාග්‍රන්ථය සකල ජනමන පොබයන සැබෑ චරිතාපදානයකි.නිර්මල බෞද්ධයකු වසයෙන් ලෝකය දෙස බැලූ ආකාරය දෙනගම වත නම් මහා කෝෂ්ඨාගාරය අපට පෙන්වා දෙයි
දෙනගම වතට මෙවර රාජ්‍ය සම්මාන පිදීමෙන් රාජ්‍යය සම්මානයට පත්ව ඇත.
මේ මහා මානවවාදියාගේ දෑත් අප්‍රමාණ ගෞරවයෙන් මම සිප ගනිමි එතුමාට මෙවන් සත් ශාස්ත්‍ර සේවාවේ නිමග්නවීමට අපමණ ශක්තිය ධෛර්යය නිරෝගිභාවය දිගසිරි සම්පත්තිය ලැබේවා!

රන්ජිත් ප්‍රනාන්දු ( පතිරණ)