උණුසුම් පුවත්දේශපාලන

නූතන ශ්‍රී ලංකාවක් ගොඩනඟමු – ජාජබ නායක අනුර කුමාර

 අපේ මුළු සමාජයත්, චින්තනයත් අතීතකාමීත්වයේ උගුලක හිර කළා. පාලකයන් රටේ සංවර්ධන නිර්ණායක අතීතය මත මනින්න පටන් ගත්තා. නමුත්, ලෝකය මහා පිමි පනිමින් ඉදිරියට ගියා. 2005දී රනිල් වික්‍රමසිංහ කීවේ, අපේ රට නැවත පරාක්‍රමබාහු යුගයකට ගෙන යන බවයි. ලෝකය සියවස් ගණනාවක් ඉදිරියට යන විට අපේ රටේ නායකයන් අතීත ශ්‍රී විභූතිය පුනරුච්චාරණය කරමින් හිටියා.

කොරියාව කොස්මෙටික් කර්මාන්තයෙන්, විනෝදාස්වාදය සැපයීමෙන් ලෝකයට විවෘත වී තිබෙනවා. බීට්ල්ස් සංගීත කණ්ඩායමේ සමහර සින්දු මිලියන එක්දහස්අටසියයක් නරඹා තිබෙනවා. රටේ ඉන්නේ මිලියන පණහක ජනගහනයක්. ඉස්සර අපේ පැල්කවි, කරත්ත කවි සීමාවෙන් ඉදිරියට ගොස් මහා වාණිජ සීමාවන් අත්පත් කර ගන්න සමත් වුණේ නැහැ. ඒ ගොල්ලෝ ලෝකයට සංගීතය හදන කොට අපි අතීතකාමීත්වයේ හිර කර 20වැනි සියවස මිස් කළ පාලකයන් රටම හිර කළා. ඒ නිසයි අපට නව පුනරුද යුගයක් අවශ්‍ය වන්නේ. ඒ නිසා කිරිඇල්ල වෙනුවට දුව, ප්‍රේමදාස වෙනුවට පුතා, රාජපක්‍ෂ වෙනුවට රාජපක්‍ෂ පුතෙක් හෝ මලයෙක් ගෙනැවිත් මේක වෙනස් බැහැ. ඒගොල්ලෝ නඟින්නේ බරබාගයට. අප මේ රටත්, මේ රටේ ජනතාවත් විදුලි කෝච්චියට නංවන නව යුගයක් නිර්මාණය කරනවා. ජපානයේ ආර්ථිකය ඉලක්ක කර ගත් සංවර්ධනයේදී මිනිස් සබඳතා බිඳවට්ටා තිබෙනවා. විවාහ වීමේ ප්‍රතිශතය අඩු වෙමින්, සිය දිවි නසා ගැනීමේ ප්‍රතිශතය වැඩි වෙමින් තිබෙනවා. ආර්ථිකය පිමි පැන ගියත්, සමාජ සබඳතා බිඳවට්ටා වැඩක් නැහැ. අපට අවශ්‍ය වන්නේ පැරැණි වියගසෙන්, අසාර්ථක ආර්ථික ගමන්මඟෙන් මිදී නව දිශාවකට සමාජය පිවර්තනය කර ගැනීමටයි.

සමහර අය අපෙන් අහනවා, කැබිනට් මණ්ඩලයට පත් කරන්නේ කවුරුන්ද කියලා. පැරැණි යුගය තිබුණේ, පත් කරන ඇමැතිට සියල්ල ගැටගසමින් ගෙන යන්නයි. නමුත්, අපට අවශ්‍ය වන්නේ ඇමැතිවරයෙක් ව්‍යවස්ථාවට අනුව පත් කළත්, සාමුහිකව පර්යේෂණ සිදු කරන කෘෂිකර්මයට අදාළ සියලු ක්‍ෂේත්‍ර පිළිබඳව මණ්ඩලයකින් සමන්විත සාමුහික තීරණ ගැනීමේ ඒකක පිහිටුවීමටයි. ආරක්‍ෂාවත් ඒ වගෙයි. අප ජාතික ආරක්‍ෂාව පිළිබඳ එක්ස්පර්ට්ලා නොවෙයි. හැබැයි, ඒ සම්බන්ධයෙන් විශේෂඥයන් මේ වේදිකාවේ ඉන්නවා. ඔවුන් තමයි, ඒ පිළිබඳව තීරණ ගන්නේ. අනෙක් අතින් ජාතික ආරක්‍ෂාව කියන්නේ බයිනෙත්තුවක් අතින් ගත් සොල්දාදුවෙක් හන්දියක සිටුවා තැබීම නොවෙයි. ඒ වටා තිබෙන සමස්තය පුරවැසියගේ ජීවිතවලින් පිළිබිඹු කිරීමයි. ඒ නිසා පැරැණි ක්‍රමය මතකයේ තබාගෙන අපෙන් ප්‍රශ්න අහනවා වෙනුවට නව පරිවර්තනයක් පිළිබඳව චිත්‍රයක් සිතේ මවාගෙන ප්‍රශ්න අහන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා. අප යෝජනා කරන්නේ නූතන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ මධ්‍යස්ථානයක්. අප යෝජනා කරන්නේ හුදු ආර්ථික ගමනක් පමණක් නොවෙයි. මිනිස් චින්තනයේ නව පරිවර්තනයක් ද පිළිබඳවයි.

ජාතික විද්වත් සංවිධානයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති

සාහිත්‍යකරුවෝ කියන්නේ මතුපිටට පෙනෙන දෙයින් පිටුපස තිබෙන දේවල් ගැන කල්පනා කරන අය. මම කල්පනා කළේ යුද්ධය පැවැති කාලයේ මේ ඇවිත් සිටින මහත්වරුන්ගේ බිරින්දෑවරුන්, දරුවන් සහ මාපියන්ගේ හිත්වල මොන තරම් ගින්දරක් තියෙන්න ඇතිද කියලා. එවැනි ගිනි ඇවිළෙන හදවත් තුළ මනුෂ්‍ය ශක්‍යතා පිබිදෙන්නේ නැහැ. ෆ්‍රෙඩ් සෙනෙවිරත්න මහතාගේ කතාව අහගෙන ඉන්න කොට මේ හදවත් තුළ ලංකාව පිළිබඳව කොතරම් සුන්දර සිතුවිලි තිබුණේද යන්න පැහැදිලියි. මහනුවර නගරයේ නිශ්චල වස්තු පවා මේ වේදිකාවේ කරන කතාවල හඬ දෙවරක් මතු කරමින්, ජාතික ජන බලවේගයේ ජය ප්‍රාර්ථනා කරන බවයි මට හිතෙන්නේ.

ත්‍රිවිධ හමුදාවල සහ පොලිසියේ නිල ඇඳුම්වලට මම මාර භයයි. මම ඉපැදුණ් එක්දහස්නවසිය හැටඅටේ. හැත්තෑඑකේ අරගලය මට මතක නැහැ. ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ නිල ඇඳුම්වලට මම මාර භය ඇයි කියන එක පැහැදිලි කරන්නම්. මම ඉගෙන ගත්තේ ග්‍රාමීය, දුප්පත් පාසලක. මාත් එක්ක ඒ පාසලේ පළමුවැනි පන්තියට ගිය බොහෝ දෙනෙක් අද ජීවතුන් අතර නැහැ. ඒ අයගේ ජීවිත නැති වුණේ, යුද්ධයේදී. විශේෂයෙන් හමුදා සොල්දාදුවන් විදියට. උසස් පෙළ සඳහා මම ගිය තරමක් ප්‍රකට මධ්‍ය විද්‍යාලයෙන් ඒ අවුරුද්දේ විශ්වවිද්‍යාලයට හතර දෙනෙක් තේරීපත් වුණා. එක් අයෙක් වෛද්‍ය පීඨයට. එක් අයෙක් කළමනාකරණ පීඨයට, දෙන්නෙක් කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට. ශාස්ත්‍ර පීඨයට ගිය දෙන්නාගෙන් එක්කෙනෙක් පළමුවැනි වසරෙන් පස්සේ හමුදාවට බැඳී බි්‍රගේඩියර් කෙනකු හැටියට මෑත දී විශ්‍රාම ගියා. ඔහු මෑත දී කතා කරලා මට කීවා, “මමත් දැන් උඹලට වැඩ කරන්නේ... අපේ ජයසේකර සර්ත් ඉන්නවා. හොඳ මිනිහෙක්” කියලා ඒ බි්‍රගේඩියර්වරයා කීවා. ග්‍රාමීය වැඩ කරන පංතියේ හැදුණු වැඩුණු මම ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිල ඇඳුමට බය ඇයි ? ඇයි එහෙම වෙන්නේ?

විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත

ජාතික ජන බලවේගයට ජයග්‍රාහී ගමනක් යන්න තල්ලුවක් දීමේ එකම අරමුණින් අප සියලු දෙනාම මේ අවස්ථාවට සහභාගි වී ඉන්නවා. ජාතික ජන බලවේගය දිනෙන් දින ලබා ගන්නා සාර්ථකත්වය හමුවේ අවලාද, මඩ ප්‍රහාර එල්ල කරමින් තිබෙන බව අප කවුරුත් දන්නවා. හොඳම උදාහරණය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසට ඉන්දියාවේ නිල සංචාරයක යෙදෙන්න ලැබුණු ආරාධනය. ඒ සංචාරය නිසා රටේ දේශපාලන වටාපිටාව ඉතාමත්ම උණුසුම් වුණා. අපේ නායකතුමා ඊට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයට, ඕස්ටේ්‍රලියාවට ගිය අවස්ථාවල ඒ වාගේ උණුසුමක් දැක්කේ නැහැ. නමුත්, ඉන්දියාවේ සංචාරයේ යෙදෙන විට ලොකු කැළඹීමක් ඇති වුණේ එය රාජ්‍ය මට්ටමේ සංචාරයක් වූ නිසයි. එය ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකභාවයෙන් යුක්ත සංචාරයක් වූ නිසයි. කලාපයේ ප්‍රධාන බලවතා වන ඉන්දියාව මේ ආරධනය කළ නිසා සත්‍යයෙන් තොර කරුණු ජනගත කරන්න විරුද්ධවාදීන් උත්සාහ කළා. විරුද්ධ පක්‍ෂයේ නායකත්වයක්වත් නොදරන පිරිසකට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඉතිහාසයේ කවදාවත් මෙවැනි ආරාධනයක් ලැබී නැහැ.

මේ අවස්ථාවට එක් වූ තවත් ආරක්ෂක අංශයන් හි හිටපු ප්‍රධානීන් කීප දෙනෙක් අදහස් දැක්වූහ