උණුසුම් පුවත්කාලීනසංස්කෘතික

පාතාල කල්ලි දෙකක ගැටුම්කාරී තත්වයකින් දෙවුන්දර මහ පෙරහැරෙන් කාවාඩි නර්තන අංගය ඉවතට?

පොලිස්පති ගේ නිර්දේශයක්

සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පවතින බව කියන ගැටුම්කාරී තත්වයක් හේතුවෙන් හවුරුදු බෝ ගණනක් තිස්සේ දෙවිනුවර උපුල්වන් ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය වර්ණවත් කරා වූ කාවාඩි නර්තන ඉවත් කරන්නට මාතර දිස්ත්‍රික් ලේකම්වරයා  නිර්දේශ කර ඇත.

 පොලිස්පති  ප්‍රියන්ත වීරසූරිය මහතාට ලද බුද්ධි තොරතුරු සහ නිර්දේශ විමසා බැලීමෙන් පසු කාවාඩි නර්තනාංගය  නතර කරනා සේ  මාතර දිසා ලේකම් චන්දන තිලකරත්න මහතා  විසින් මේ සම්බන්ධයෙන් දෙවිනුවර බස්නායක නිලමේවරයා වෙත ලිපියකින් දන්වා ඇතැ යි වාර්තා වේ. 

ඉකුත් වසරේ  ‌දෙවිනුවර පෙරහැරෙන් ඉවත් කරන ලද  කාවඩි කණ්ඩායම් කිහිපයකට මෙවර අනිවාර්යයෙන් අවස්ථාව දිය යුතු බවට කියනු ලබන තර්ජනාත්මක හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල සංසරණය වීය .

ඊට ප්‍රතිචාර දක්වන තවත් හඬපටයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පැවතුණි.

මීට දින කිහිපයකට පෙර  දෙවුන්දර  මහා දේවාලය අසල පිහිටි නිවසකට වෙඩි ප්‍රහාරයක් ද එල්ල විය. 

දෙවිනුවර උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මේ පැවැත්‌ වෙන්නේ  769 වැනි වරට යි.

 අනිද්දා (28)  පැවැත්වෙන දෙවුන්දර මහ පෙරහැර නැරඹීමට අති විශාල ජනකායක් සහභාගී වීමට නියමිත හෙයින්, මහජන ආරක්ෂාවට එල්ල විය හැකි ඕනෑම අවදානමක් අවම කිරීම පොලිසියේ අරමුණ යි.