උණුසුම් පුවත්කාලීනතාක්ෂණයදේශපාලන

පුත්තලම පානීය ජල ව්‍යාපෘති ගැටලුවලට කඩිනම් විසඳුම්

දීර්ඝ වශයෙන් කතා බහකට පසුව බාධා ඉවත් කරන්න පියවර

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක පවතින පානීය ජල ගැටලු විසඳීම සඳහා ක්‍රියාත්මක කලා ඔය සහ මා ඔය ජල සම්පාදන ව්‍යාපෘති ආශ්‍රිතව මතුව ඇති ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) දින අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහිදී ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන බරපතළ පානීය ජල හිඟය පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු වූ අතර, අදාළ ව්‍යාපෘති කඩිනමින් ඉදිරියට කරගෙන යාමට ඇති බාධා ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා විය.

එහිදී අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සහ යෝජනාවලට සාධනීය ප්‍රතිචාර දක්වමින්, ජල සම්පාදන මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ම ආයතන එකඟතාවයකට පැමිණි අතර, පවතින ගැටලුවලට සාධනීය මැදිහත්වීමක් සිදු කරමින් අවශ්‍ය පාරිසරික වාර්තාවලට අනුකූලව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ජනතාවට කඩිනමින් පානීය ජලය ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවට සහතික විය.

2026.05.14 දින පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී කල්පිටිය, පුත්තලම, මුන්දලම, මහකුඹුක්කඩවල, වන්නාතිවිල්ලුව, දංකොටුව, වෙන්නප්පුව සහ නාත්තන්ඩිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පානීය ජල ගැටලුවලට විසඳුම් ලෙස මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පවතින ගැටලු පිළිබඳව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ඇමතිවරයා දැනුවත් කර තිබූ අතර, ඒ අනුව මෙම හදිසි විශේෂ සාකච්ඡාව කැඳවා තිබුණි.

මෙම සාකච්ඡාව සඳහා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් මහතා ඇතුළු නියෝජිතයින්ද, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.