ආරක්ෂකඋණුසුම් පුවත්කාලීනදේශපාලන

බ්න්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාවත් ආත්ම ගරුත්වයත් ආරක්ෂා කිරීම අපේ වගකීමක්

ඇමති හර්ෂණ

බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් ප්‍රාදේශියව සම්බන්ධිකරණයක් පවත්වා ගනිමින් රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඇති කිරීම තුළින් හදිසි ප්‍රතිචාර දැක්වීම සහ රැඳවියන්ගේ සුභ සාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් යුතු වැඩපිළිවෙළ යටතේ එම යාන්ත්‍රණය පිහිටුවීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන නිලධාරීන් සමග පස්වරුවේ (19) ගාල්ල බන්ධනාගාරයේදී පැවති සාච්ඡාවෙන් අනතුරුව බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ නිලධාරීන් සමග පැවති හමුවකදී අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේය.

බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ කටයුතු නිරීක්ෂණය කිරීමටද අමාත්‍යතුමා එක් වු අතර බන්ධනාගාර නිලධාරින් සමග පැවති සාකච්ඡාවේදී අදහස් පළ කළ අමාත්‍යතුමා ..............

හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීමට සහ රැඳවියන්ගේ සුභ සාධනය මුලික අරමුණ කර ගනිමින් රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් ඒකාබද්ධ යාන්ත්‍රණයක් දිවයිනේ සෑම බන්ධනාගාරයක් තුළම ස්ථාපිත කිරීමට කටයුතු කරනවා . ඒ යටතේ ගාල්ල සහ බුස්ස බන්ධනාගාර දෙකට අදාළ යාන්ත්‍රණය පිහිටුවීම සම්බන්ධයෙන් වු සාකච්ඡාව ගාල්ල බන්ධනාගාරයේදී සිදු කළා. බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු කලින් හඳුනා ගැනීම මෙම යාන්ත්‍රණය පිහිටුවීමේ අරමුණයි. රාජ්‍ය ආයතන එක්ව පිහිටුවා ගන්නා මෙම ඒකාබද්ධ යාන්ත්‍රණය අවම වශයෙන් මාසයකට වරක් රැස්ව පවතින ගැටළු සාකච්ඡා කිරීම සිදු කළ යුතුයි. බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සහ සුභ සාධනය තහවුරු කිරීම සිදු කළ යුතුයි. බන්ධනාගාර තදබදය අඩු කිරීම සදහා රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. ඒ යටතේ මසකට රස පරීක්ෂක වාර්තා 7500 ක් 9000 දහසක් අතර සංඛ්‍යාවක් ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. පසුගියදා මීගමුව බන්ධනාගාරයේ ඇති වු සිද්ධියෙන් නිලධාරීන් සහ රැඳවියන්ගේ ජීවිත අහිමි වුණා. ඒ මිය ගිය නිලධාරීන් වෙනුවෙන් සාමාන්‍ය රාජ්‍ය සේවය තුළ පවතින වන්දි ක්‍රමයට වඩා විශේෂ වන්දියක් ලබාදීමට අදාළ කමිටුවක් පත් කර තිබෙනවා. ඒ වාර්තා ලැබුණු පසු අදාළ වන්දි සහ ඔවුන්ගේ පවුල්වල සුභ සාධනය සම්බන්ධයෙන් කටයුතු සිදු කරනවා. ලැබෙන දීමනා වැටුප් ප්‍රමාණවත් නොවන තත්වයක් තුළ බන්ධනාගාර නිලධාරීන් වන ඔබ විශිෂ්ඨ සේවයක් සිදු කරනු ලබනවා. අපි ඔබගේ සේවය අගය කරනවා. ඔබගේ දීමනා ඉහල දැමීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා කරුණු යොමු කර තිබෙනවා. අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කර ඒවා ලබාදීම සම්බන්ධයෙන් කටයුතු කරනවා. අත් අඩංගුවට ගන්නා මත් ද්‍රව්‍යවල දළ බර ප්‍රමාණය ග්‍රෑම් සීයයට අඩු නම් මහාධිකරණය මගින් ඇප ලබා ගැනීමට අදාළ නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. දැනට පවතින නීතිය අනුව මත් ද්‍රව්‍යවල දළ බර ග්‍රෑම් 10 ට වැඩි නම් ඇප ලබා ගැනීමට අභියාචනාධිකරණයට යා යුතුයි. ඒ සදහාත් රස පරීක්ෂක වාර්තාව ලැබෙන තෙක් බන්ධනාගාරගතව සිටීමට සිදු වෙනවා. මේ හේතුව නිසාත් බන්ධනාගාර තදබදය වැඩී වී තිබෙනවා.

බන්ධනාගාරගත වන පිරිස අඩු කිරීමට ක්‍රියා කරනවා. බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මෙන්ම ආත්ම ගරුත්වය ආරක්ෂා කිරීම අපේ වගකීමයි. ප්‍රජා විශෝදන පනත වෙනස් කර ගෙන යනවා. පාතාලයට හෝ කුඩු ජාවාරම්වලට සම්බන්ධ අය අපේ පක්ෂයට සම්බන්ධ නැහැ. අපි ජනතාවට ලබාදුන් පෙරොන්දුවේ ඉන්නවා. පාතාලය සුද්ද කරන්න ඕන. අවුරුදු 30 ක් 40 ක් ආදායම් ලැබු පාතාලය අපි එහෙම කිවුවා කියලා මේක අතහරින්නේ නැහැ. බන්ධනාගාර නිලධාරීන් තමයි ඇතුළට මත් ද්‍රව්‍ය රැගෙන යන්නේ යනුවෙන් මතයක් සමාජය තුළ තිබෙනවා. එහි ඇත්තකුත් තිබෙනවා. අතිශයෝක්තියකුත් තිබෙනවා. STF එකටත් ඇගිල්ල දිගු වෙනවා. ප්‍රතික්ෂේප කරන්න බැරි කථාවකුත් තිබෙනවා. ඒක තමයි, ඔව් බන්ධනාගාරය තුළට කුඩු එනවා. ඒක ඊයේ පෙරේදා වු දෙයක් නොවෙයි. අවුරුදු 20 ක් තිස්සේ මේ දේ සිදු වුණා. මේක නතර විය යුතුයි. බන්ධනාගාර තුළට මත් ද්‍රව්‍ය ජංගම දුරකථන ගෙන ඒම සිදු කළ නොහැකි පරිදි අවශ්‍ය කටයුතු කර තිබෙනවා. ඒ නිසා ම බන්ධනාගාරවලට මත් ද්‍රව්‍ය සහ ජංගම දුරකථන පැමිණිම දැන් ප්‍රවෘත්තියක් බවට පත්ව තිබෙනවා. ඒකට හේතුව අපි ඒවාට ඉඩ නොදෙන නිසයි. මෙතන ඉන්න බහුතරයක් නිලධාරීන් අවංකව සේවය කරනවා. මේ මත්ද්‍රව්‍ය දුරකථන අල්ලා ගන්නේත් මේ නිලධාරීන්ම තමයි. අපි පාතාලයට එක පණිවිඩයක් ලබා දෙනවා. මේක නවත්වන්න ඕන. මෙතනින් දිනන්න පුළුවන් එක් පැත්තකටයි. එක්කෝ නීතීයේ විධානයේ ආධිපත්‍යයටයි. නැත්නම් පාතාලයට මේ රට දෙන්න ඕන. මේ අවුරුදු පහ අපි මේක නවත්වන්න උත්සාහ කරනවා. තව අවුරුදු පහක් අපි ඉන්නවා. ජීවිත අවදානම නොතකා අපි මේ කාර්ය ඉටු කරනවා. අපි දෙපිරිසකට මේ රට කරන්න බැහැ. බන්ධනාගාර නිලධාරීන් බහුතරයක් අවංකව රාජකාරී කරන අතර කිහිප දෙනෙක් මේ වැරදි කටයුතු වෙනුවෙන් සහාය දක්වන්න පුළුවන්. මත් ද්‍රව්‍ය ජාවාරමෙන් යැපෙන පිරිස් පොලිසිය බන්ධනාගාරය සහ රාජ්‍ය ආයතන තුළ ද සිටිය හැකි බව ද අමාත්‍යතුමා සදහන් කළේය.

බුස්ස බන්ධනාගාර අධිකාරී ජීවක ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු මහතා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් හා පොලිස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.