උණුසුම් පුවත්කාලීන

බ්‍රිස්බෙන් කොලම

අනුර හොරේෂස් ඕස්ට්‍රේලියාවේ සිට ලියයි

මඩ සෝදා ගත් කළ ගොවියා රජකමටත් සුදුසු යි

මේ කතාව හරි ම ජනප්‍රිය යි. අපි පුංචි කාලෙ තමයි ඔය කතාව ඇහුවේ. ඒ කියන්නේ හැටේ දසකයේ පටන්. ඒ කාලේ කොළඹට තදාසන්න පළාත්වලත් විශාල කුඹුරු යායවල් තිබුණා. උදාහරණ හැටියට ගත්තොත් ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය, කොළොන්නාව, රාජගිරිය, නාවල, තිඹිරිගස්යාය, පෑලියගොඩ, කැලණිය, ආදි පළාත්වල. පුදුමයි නේ ද? මෙම පළාත්වලින් පටන් ගන්නා කුඹුරු යායවල් ඈතින් ඈතට රට පුරා ම විසිරිලා ගියා. අද මේ පළාත්වල කුඹුරක් තියා හෙවණකට පොඩ්ඩක් වාඩිවෙලා ඉන්න ගස්ලබු පැළයක්කත් නෑ. තට්ටු පිට තට්ටු හැදිලා. අව් කූටකේ කොන්ක්‍රීට් වනාන්තර ඇතුළෙ මිනිස්සු ලක්ෂ ගාණක් හිරවෙලා. පිච්චි පිච්චි දුක් විඳිනවා.

ඉතින් උදේ හවස පාසල් යද්දි එද්දි මම දකිනවා හරි සුන්දර දසුනක්. ඒ තමයි මේ කුඹුරු යායවල මඩ නාගෙන මීහරක් දමා ගෙන කුඹුරු මඩවන ගොවියෝ. ඉතින් ගමන නතර කරලා බලාගෙන ඉන්නවා. තුන්මුහුණින් දහදිය වගුරුවමින් මීහරකුන්ට අඬහැර පාමින් නගුල තල්ලු කරගෙන කුඹුර මඩවන මේ ගොවියන් දකින කොට හිතට දැනුණෙ ලොකු ආඩම්බරයක්. ඒ ආඩම්බරය නැඟෙන්න ප්‍රධාන හේතුවක් වුණේ ''මඩසෝදා ගත් කළ ගොවියා රජකමට වුණත් සුදුසු යි" කියන රත්තරන් වටිනා කියමන.

''කවදා හරි රටේ රජකරන මනුස්සයෙක් නේ ද මේ" කියන හැඟීම හිතට නැඟුණේ ‌ෙගාවියා කෙරෙහි ඇතිවුණ විශාල ගෞරවේකුත් එක්ක.

කන්ද උඩරට රාජධානියේ සිරකරුවකු වශයෙන් දීර්ඝ කාලයක් ගත කළ රොබට් නොක්ස් 1681 දී විතර ඉංගිරිසියෙන් පොතක් ලිව්වා. ''ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් ද අයිලන්ඩ් සිලෝන්, ඉන් දි ඊස්ට් ඉන්ඩීස්" නමින්. මේ ඉංගිරිසි පොත සිංහල බසට පරිවර්තනය වුණා. ''එදා හෙළදිව" නමින්. "එදා හෙළදිව"පොතේ තමයි තිබුණේ ගොවියා ගැන අර අපූරු කියමන. එය පරිවර්තනය වෙලා තියෙන්නේ මේ විදිහට.

''උඩුනුවර යටිනුවර ප්‍රදේශ සෙසු පළාත්වලට වඩා  උසස් ලෙසත් වැදගත් ලෙසත් සලකනු ලැබේ. ජනගහණයෙන් වැඩි වූ භූමියේ සාරවත් භාවයෙන් ද සෙසු ප්‍රදේශ පරදවා ලූ මෙම ප්‍රදේශයන් හි කුලීනයෝ වාසය කරති. මෙම දෙනුවරින් කවර ප්‍රදේශයක වුව ද කුඹුරේ හාමින් සිටි ගොවියා වුව ද, කුඹුරෙන් ගොඩට ගෙන මඩ සෝදා ගත් කල් හී ඔහු ගතිගුණයෙන් හා පරපුරෙන් සිංහාසනයට සුදුසු වන්නේ ය" යනුවෙනි.

කෙසේ වෙතත් එදා හෙළදිව කෘතියෙන් ගොවියා ගැන කියන කතාවට වඩා වෙනස් ම කතාවක් කියැවෙනවා තවත් පොතක. ඒ කෘතිය ලියා තියෙන්නේ පුවත්පත් කලාවේදියකු හා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ද වන ජයන්ත චන්ද්‍රසිරි අපේ සගයා. ඒ කෘතිය ''මහරජ ගැමුණු" ය. කෘතියේ තැනක මෙහෙම සඳහන්.

"අවුරුදු දහයක් පුරා මලය රටේ ගොවි පරපුරක ගාමිණි අභය ජීවත් වුණා. අසිපතට, දුනු හීවලට මනාව හුරුව තිබුණ රජ අත් නගුලටත්, උදැල්ලටත් ඒ ආකාරයට ම හුරු කළා. මිරිවැඩි ලූ, පා වෙල් ඉපනැලිවල කටුක, ගොරෝසු සුවරූපයන්ට හුරු කළා. කෘෂි බිම තුළ දහදිය, මහන්සිය හඳුනන, කුසගින්න, වේදනාව හඳුනන, ආදරය, දයාව වගේ ම ආවේගයත්, ඉවසිල්ලත්, හඳුනන සැබෑ රජෙක් බිහිවෙමින් තිබුණා. මේසා විසල් ගණ තඳම්භයක් සහිතව රට එක්සේසත් කළ ඒ පුරුෂයාණන් තමයි අප දන්නා ඉතිහාසය තුළ කුඹුරෙන් ගොඩට පැමිණ හිස කිරුළ පැලඳූ පළමුවැන්නා. "මඩ සෝදාගත් කල ගෙවියා රජකමටත් සුදුසු ය" යන සංකල්පය අපේ රටේ මුල්බැස ගත්තේ වීර, ධීර ගාමිණි අභය රජුගේ ශ්‍රී නාමය තුළින් බවමොනවට පැහැදිලි ය.

ඔන්න දැන් තමයි මම මාතෘකාවට පිවිසෙන්නේ. ඉහත කතා දෙක ම මම පළ කළේ 'ගොවියා හා ගොවිතැන' මොන තරම් වටිනාකමක් තියෙන කර්මාන්තයක් ද කියන එක තහවුරු කරන්න. රජකමට වුණත් සුදුසුයි කියා එදා පැවසූ ගොවියාට අද මොකක් ද වෙලා තියෙන්නේ? ගොවිතැනත් සුන්.. ගොවියාත් සුන්. හැබැයි අදටත් සමහරුන් ගේ සටන් පාඨයක් බවට මෙම සංකල්පය පත්  වී තිබෙනවා.

ගොවියා රජකමට වුණත් සුදුසුයි" කියමින් ගොවියා අන්දන්නේ ඇයි? එහෙම කිරීමෙන් මොවුන්ට තිබෙන වාසිය මොකක් ද?? මේ ප්‍රශ්නවලට උත්තර අපි සොයා ගන්න ඕනෑ බොහෝම ප්‍රවේසමෙන්. ඒ කියන්නේ හැඟීම් බරව නෙවෙයි. ඔළුවෙන්, මොළයෙන්.... හිතන්න පටන් ගන්න ඕනේ ගොවියා නමැති 'රජාව' අන්දන්න හේතුව මොකක් ද කියලා.

ගොවිතැනත් ගොවියාත් සුනේ සුන් කොට දැම්මත් හොඳට මතක තියා ගන්න 'ගොවියා' කියන්නේ රටේ සම්ස්ත ජනයාගේ හිත් ඇතුළෙ, මොළ ඇතුළෙ පතුළට ම වැදුණු සංකල්පයක් කියලා. මොහිදින් බෙග් මාස්ටර් ''ගොවියාවේ රටක බලේ.... ගොවියාවේ...." යනුවෙන් රණකාමයෙන් මත්වන ආකාරයේ ගීතයක් මීට බොහෝ කලකට පෙර ගායනා කළේත් ගොවියා සතු බලය පෙන්නන්න. ගොවිතැනේ ශක්තිය හා වටිනාකම කියා දෙන්න. ගොවියා හා ගොවිතැන අද නැත්තට ම නැති කරලා දමන තත්ත්වයකට පත් කරල තිබුණත් ඇන්දිල්ල අවසන් කරලා නැහැ. හේතුව තමයි ගොවියා කියන්නෙත් රටේ කම්කරු බලවේගයේ ම තවත් ශක්ති සම්පන්න දැති රෝදයක් නිසා. ගොවියාට කෙළවෙනවා කියන්නේ රටේ කම්කරු පන්තියට කෙළවීම යි. රටේ ම කම්කරු පන්තියට කෙළවෙනවා කියන්නේ තමුන්ටත් කෙළවෙන එක 'ෂුවර්' බව යි. ඒකට මොවුන් බයයි. බහුතරයක් ඡන්ද තිබෙන්නේ කම්කරු පන්තිය සතුව. ඒ හින්දා 'ගොවියා' සංකල්පය ඉදිරියට දමා, හිටපු ගමන් වගා ණයක් දෙනවා. වතුර බෙදා හරිනවා. නැත්තං වගා ණයක් කපා හරිනවා. පෝර මිල වැඩි කරනවා. ඒ කපටිකමක්. ඔන්න එතකොට 'ගොවි' සංකල්ප ප්‍රාණවත් වෙනවා. ඔවුන් ප්‍රාණවත් කරන්නත් පිරිසක් සූදානම්. ප්‍රාණවත් වුණු 'ගොවි' සංකල්පය පාරට බහිනවා.බෝඩ් උස්සගෙන උද්ඝෝෂණ කරනවා.  දේශපාලනඥයන්ටත් ඕනැ කරන්නෙ ආන්න ඒ නිවුස් එක. ඒ කියන්නේ රටේ දැවැන්ත ගොවි පරපුරක් සිටින බව රටට පෙන්නන්න. මේවා ටීවී නිවුස්වල ප්‍රධාන ප්‍රවෘත්ති. දේශපාලකයන්ට මාර ජොලි. උද්ඝෝෂණය දැක්ක ගමන් රටේ සැබෑ කම්කරු පන්තියත් ඇවිස්සෙනවා. ඔවුනුත් දැවැන්ත ජවයකින් පාරට බහින්න සූදානම් වෙනවා. හැබැයි සැබෑ කම්කරු පන්තියට නැගී සිටින්න ආණ්ඩුව ඉඩ තියන්නේ නෑ. ඒ හින්දා වහාම පෝර මිල අඩු කරනවා. සියලු දෙනා සතුටින් විසිර යනවා. ඉතින් ඊට පස්සේ ගොවියා රජ වුණා ද? මේ සිදුවීම ඇතුළෙ තියෙන 'සැබෑ නිවුස්' එක තමයි මම හෙළි කරන්නේ.

මේ රටේ ගොඩ දාන්න පුළුවන් ලොකුම බලවේගය තමයි ගොවි පරපුර. නමුත් එහෙම රට ගොඩ දාන්න දේශපාලකයන්ට අවශ්‍ය නෑ. රට ගොඩ යනවා කියන්නේ තමන්ගේ දෙස් විදෙස් ගිණුම්වලට වැටෙන මහා ධන සම්පත අහිමි කර ගැනීමක්. ඒ හින්දා ගොවියාට අන්දවා තිබෙන අමුඩයෙන් ඔහු නිදහස් කොට නූතන ලොවට ගැලපෙන ගොවියා නිර්මාණය කරන්න දේශපාලකයන්ට අවශ්‍ය නැහැ.

මොහොතක් හිතන්න. මීට වසර සිය ගණනකට එහා සිටි ගොවියාගේ ස්වරූපය හා වර්තමාන ගොවියා ගේ ස්වරූපය මොන තරම් දුරට සමාන ද කියලා. අඳින්නේ අමුඩය. කන්නේ බුලත් විට. කතා තරන්නේ අපැදිලි සිංහල. ඔතෑනිකම, බයාදුබව ඉහින් කනින් පෙරෙනවා. පාසල් අධ්‍යාපනය මඟදි ම කඩාකප්පල්වෙලා. කෘෂිකර්මාන්තය පැත්තෙන් හෝ ගොවියා දැනුමින් පිරි පුද්ගලයකු බවට පත් කරන්නට අවශ්‍ය නැහැ. ගොවිතැනට අවශ්‍ය නවීන තාක්ෂණය පිළිබඳව ගොවියාට කියා දීමක් නැහැ. අමු ම අමු නිවටයෙක් බවට ගොවියා පත් කරලා. කලිසමක් ඇඳලා ටයි එකක් දාගත්ත නිලධාරියා ඉදිරිපිට ගොවියා බලු කුක්කෙක් ගාණට වැටෙනවා.

මේක පුදුම වැඩක් නේ යකෝ. රජකමටත් සුදුසුයි කියන ගොවියාට මේ තරම් බයාදු ජීවිතයක් උරුම කර දී තිබෙන්නේ ඇයි? එතන තමයි අනෙක් ප්‍රශ්නය තියෙන්නේ.

රටට අවශ්‍ය කරන්නේ බුද්ධිමතුන් නොවේ. අමු මී හරක් රැළක්. නරි වගේ රෑ දාවල් නැතිව 'හූ' කියන තරුණ පරපුරක්. පොලිස් ජල ප්‍රහාරවලට, කඳුළු ගෑස්වලට, රබර් උණ්ඩවලට නොබියව මුහුණ දෙන ගොන් රැළක්. මේ හැම පැයකින් ම සිදු වෙන්නේ රටේ බුද්ධිමය සම්පත රටට අහිමි වීමයි. බුද්ධිමතුන් රට හැර යෑමයි. දේශපාලකයන්ට අවශ්‍ය වන්නේ ද ඒ ටිකම යි. මොකද....?? ගොන් රැළක් පාලනය කිරීම පහසු නිසා. අවශ්‍ය වන්නේ ඒ ඒ සතාට ගැලපෙන පරිදි පුන්නක්කු, තණකොළ, කැරට්, කඩල හෝ තිරිඟු ඇට ස්වල්පය බැගින් කුලප්පු වූ වෙලාවල දී බෙදා දීම පමණයි. කටට මොනවා හෝ වැටුණ විට සතා නිහඬ වන බව දේශපාලකයෝ අත්දැකීමෙන් දනිති.

2024. 01. 20.