උණුසුම් පුවත්දේශපාලන

මැතිවරණ වසරක් තුළ ඒකාධිපතීත්වයකට ඉඩ දෙන්න බැහැ – සජිත් කියයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය නම් පනත් කෙටුම්පත වහාම හකුලා ගන්න

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය තහවුරු කිරීම අරමුණු කර ගෙන අණපනත් ලබන සතියේ දින 2 ක් වාදවිවාද කර සම්මත කර ගැනීමට නියමිත බවත් මේවා ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ලක්වූ අවස්ථාවේ මේ අණපනත්වල කොටස්වලින් 50% කට වැඩි ප්‍රමාණයක් විශේෂ බහුතරයකින් සම්මත කර ගත යුතු බවට තීන්දු කර ඇතැ යි විපක්ෂ නායකවරයා පැවසීය.
සිවිල් සංවිධාන, මාධ්‍ය ක්ෂේත්‍ර හා විවිධ පාර්ශ්වකරුවන් සමඟ ඉතාම තීරණාත්මක වැදගත් සාකච්ඡාවක නියැලීමෙන් අනාවරණය වූයේ මෙම අණපනත් සම්මත වීම තුළ පොදුජනතාවගේ භාෂණයේ අයිතිය, කතා කිරීමේ නිදහස, අදහස් ඉදිරිපත් කිරීමේ නිදහස, දේශපාලනය කිරීමේ නිදහස ඇතුළු මූලික හා මානව අයිතිවාසිකම් අමුඅමුවේ උල්ලංඝනය වන බවත් එවන් තත්ත්වයක් තුළ කතානායකවරයා අමතමින් විපක්ෂ නායකවරයා ලෙස තමා ලිපියක් හරහා ඉල්ලීමක් කර සිටියේ මෙම අණපනත් 2 විවාදයට භාෂණය නොකර තවදුරටත් මීට සම්බන්ධ කොටස්කරුවන් සහ පොදුජනතාව සම්බන්ධ කර ගෙන සාකච්ඡා කර සිදුවිය යුතු වැදගත් සංශෝධනය සිදු කර මානව අයිතිය සුරක්ෂා වන ආකාරයට මෙම අණපනත් ක්‍රියාත්මක කරන ලෙස යි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය නම් පනත් කෙටුම්පත ලබන සතියේ විවාදයට ගැනීම ඉවත් කර ගන්නා ලෙස කතානායකවරයාට ඉල්ලීමක් කරමින් සිදු කළ විශේෂ ප්‍රකාශය අවස්ථාවේදී ය.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවයේ නාමයෙන් ඒකාධිපතීත්වය, ආඥාදායකත්වය ඇතුළු තනි පුද්ගලයකු ලක්ෂ 220 ජනතාව ගේ මානව අයිතීන් උල්ලංඝනය කිරිමක් බවත් මෙය තරයේ ප්‍රතික්ෂේප කර කොන්දේසි විරහිතරව විරෝධය පළ කරන බවත් ලබන සතියේ විවාදයට නොගෙන තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු තීරණ අවබෝධයට ලක් කරමින් එම යෝජනාවලට ගරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ තුළ මානව අයිතිය සුරක්ෂා කිරීමේ අණපනතක් ලෙස යළි මෙය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී යෝජනා කර සිටියේය.

රට තුළ ඒකාධිපතීත්වයකට ඉඩක් නොමැති බවත් වැදගත් මැතිවරණ වසරක් තුළ දරදඩු ප්‍රජාතන්ත්‍ර විරෝධි ඒකාධිපති අණපනත් හරහා ජනමතය ජනහඬ ජනතා කැමැත්ත තලා පෙලා පොඩි කර විනාශ කිරීමට ඉඩ නොතබන බවත් මේ ගැන කතානායකවරයාගේ අවදානය යොමු විය යුතු බවත් රටේ සහ ජනතාවගේ යහපත උදෙසා මේ අණපනත් විවාදවට ගැනීම හා ඡන්දයකින් අනුමත කර ගැනීම කල් දමන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.