තලපති විජේ මහ ඇමතිට කීර්තිමත් ඉන්දීය පුවත්පත් කලාවේදියකු සේ නමක් දිනා සිටින එම්. ආර්. නාරයන් සාමිගෙන් අවවාදාත්මක ලිපියක්!
හිතවත් විජයි,
තමිල්නාඩුවේ මහ ඇමැති ධුරයට පත්වීම පිළිබඳව මගේ හෘදයාංගම සුබපැතුම්!
ඉන්දියාවේ විශාලතම සහ ආර්ථික වශයෙන් වඩාත් ම දියුණු ප්‍රාන්තයක පාලනය ඔබ අතට ගන්නා විට, කුඩා මෙන් ම, විශාල ගැටලු රැසකට මුහුණ දීමට ඔබට සිදුවනු ඇත. ධුරයේ දිවුරුම් දීමෙන් පසු ප්‍රාන්තයේ පවතින මූල්‍ය අර්බුදය පිළිබඳව ඔබ දැනටමත් සඳහන් කර තිබේ.
ඉන්දියාවේ සෙසු මහ ඇමැතිවරුනට වඩා වෙනස්ව, අසල්වැසි රටක් වන ශ්‍රී ලංකාවට බලපාන හෝ සම්බන්ධ වන කරුණු සම්බන්ධයෙන් ඔබට නිතර නිතර මුහුණ දීමට සිදුවනු ඇත.
කාරණා කිහිපයක් නිසාම, ඔබ මෙහි දී අතිශයින් ම ප්‍රවේශම් විය යුතු තැන මෙයයි.
තමිල්නාඩුවේ ඉපිද හැදී වැඩුනු අයකු ලෙස, ශ්‍රී ලංකාවේ වාර්ගික ගැටුම සහ විශේෂයෙන් ම එරට දෙමළ සුළුතරයට තවමත් බලපාන ගැටලු පිළිබඳව ඔබ නොදැන සිටීමට කිසිසේත් ම ඉඩක් නැත.
කණගාටුවට කරුණ නම්, තමිල්නාඩුවේ ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන්, විශේෂයෙන් ම ඔබ පරාජය කළ ද්‍රවිඩ පක්ෂවල පිරිස්, බොහෝ විට කටයුතු කර ඇත්තේ ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවට යහපතකට වඩා වැඩි හානියක් සිදුවන ආකාරයට ය.
බොහෝ ගැටලුවල දී ඔවුන්ගේ ඝෝෂාකාරී සහ දැඩි ස්ථාවරයන් එරට දෙමළ ජනතාවට කිසිදු සෙතක් සැලසුවේ නැති අතර, අනෙක් අතට, පෝක් සමුද්‍ර සන්ධියේ දෙපස ම සිටින දෙමළ ජනතාව බෞද්ධ ශ්‍රී ලංකාව ගිල ගැනීමට සැරසෙන බවට සිංහල සමාජය තුළ පවතින බිය තවදුරටත් තීව්‍ර කිරීමට එය ඉවහල් වී ය.
දේශපාලනයේ අලුත් ගමනක් අරඹන අයකු ලෙස ඔබ මුලින් ම කළ යුත්තේ, ඉන්දීය මධ්‍යම රජයේ පුළුල් දෘෂ්ටිකෝණය දෙස නොබලා, අනවශ්‍ය ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවලට මැදිහත් නොවීම ය.
ඇත්ත වශයෙන් ම, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සැබෑ අභියෝග රැසකට මුහුණ දී සිටිති. ඉන් කරුණු හතරක් මෙහි දී සඳහන් කළ හැකි ය. මෙයින් කරුණු දෙකක් ඍජුව ම තමිල්නාඩුවට සම්බන්ධ ය.
2009 වසරේ දී සන්නද්ධ ගැටුම් නිමාවට පත් වුව ද, වසර ගණනාවක් පුරා යුද්ධය හේතුවෙන් අත්පත් කරගත් දෙමළ ජනතාවට අයත් ඉඩම් අක්කර දහස් ගණනක්, කොළඹ රජය දුන් පොරොන්දු ප්‍රකාරව තවමත් හමුදාව විසින් නැවත ලබා දී නොමැත.
එමෙන් ම, යුද්ධය අවසන් වීමෙන් පසු අතුරුදන් වූ සහ ඝාතනයට ලක්වූ බවට විශ්වාස කෙරෙන දහස් සංඛ්‍යාත දෙමළ තරුණයන් පිළිබඳ ගැටලුවේ දී ද මෙතෙක් විශ්වාසනීය ප්‍රගතියක් දක්නට නැත.
ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල වෙසෙන දෙමළ කාන්තාවෝ තවමත් තම අතුරුදන් වූ ස්වාමිපුරුෂයන්, පුතුන් සහ සහෝදරයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටිති. මෙම අතුරුදන් වූවන් අතර කාන්තාවන් කිහිප දෙනෙක් ද වෙති.
මාක්ස්වාදී නායකයකු වන ජනාධිපති අනුර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව රජයක් 2024 දී කොළඹ බලයට පත් වූයේ, ශ්‍රී ලංකාව වෙළාගෙන තිබූ ඓතිහාසික වැරැදි නිවැරදි කරන බවට පොරොන්දු වෙමිනි. එහෙත්, දිසානායක මහතාගේ දෑත් ද හදිසියේම බැඳී ඇති බවක් පෙනෙන්නට තිබේ.
ඊළඟ කරුණ නම්, යුද්ධයෙන් බේරීම සඳහා වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකාවෙන් පලා ආ 87,000කට අධික දෙමළ සරණාගතයන් පිරිසක් තවමත් තමිල්නාඩුවේ පසුවීම යි.
ඉන්දීය සහ තමිල්නාඩු රජයන් මෙම සරණාගතයන්ට මූල්‍ය ආධාර සැපයුව ද, ඒවා සීමිත මට්ටමක පවතී. ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා තව බොහෝ දේ කළ හැකි ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නැවත ශ්‍රී ලංකාවට යාමට කැමැත්තෙන් සිටිති. ඔවුනට ඒ සඳහා උදව් කළ යුතු ය. තවත් පිරිසක් ඉන්දියාවේ ඉපිද හැදී වැඩුණු බැවින්, ඔවුහු ඉන්දීය ප්‍රජා අයිතිය ඉල්ලා සිටිති. දශක ගණනාවක් තිස්සේ ඇදී යන මෙම ප්‍රශ්නය කඩිනමින් විසඳිය යුතුව ඇත.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින බරපතල ම ගැටලුවක් වන්නේ තමිල්නාඩු ධීවරයන් සහ ශ්‍රී ලංකාව අතර පවතින නිමාවක් නැති ධීවර ආරවුල යි.
තමිල්නාඩු දේශපාලනඥයන් බොහෝ විට උත්සාහ කරන්නේ මෙය ඉන්දීය ධීවරයන් සහ ශ්‍රී ලංකා රජය අතර පවතින ගැටුමක් ලෙස පෙන්වීමට ය. නමුත් 2009 යුද්ධය අවසන් වූ දා සිට සැබෑ කතාව එය නොවේ.
තිත්ත ඇත්ත නම්, තමිල්නාඩුවේ සිට පැමිණෙන, පරිසරයට අතිශයින් ම හානිකර බොටම් ට්‍රෝලර් (Bottom Trawlers) යාත්‍රා, ඉන්දීය මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත විනාශ කිරීමෙන් පසු, දැන් ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කරමින් සිටීම යි.
මෙය ශ්‍රී ලංකාවේ වයඹදිග වෙරළ තීරයේ වෙසෙන දෙමළ ධීවරයන්ට අයිති මත්ස්‍ය සම්පත කොල්ලකෑමක් පමණක් නොව, ට්‍රෝලර් මසුන් ඇල්ලීම තහනම් කරමින් කොළඹ රජය පනවා ඇති නීතිය උල්ලංඝනය කිරීමක් ද වේ.
මේ හේතුවෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී ඉන්දීය ධීවරයන් නිතර අත්අඩංගුවට පත්වේ. මෙම ට්‍රෝලර් බෝට්ටු හිමියන්ගේ බලපෑමට ලක්වන තමිල්නාඩු දේශපාලන නායකයෝ, අත්අඩංගුවට ගත් පිරිස් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටිති.
මේ නිසා කලකිරීමට පත්ව සිටින ශ්‍රී ලංකා රජය දැන් මෙම ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා රාජසන්තක කර, පසුව ඒවා යකඩ ද්‍රව්‍ය ලෙස විනාශ කර දමයි. තමිල්නාඩුවෙන් සිදුවන මෙම ට්‍රෝලර් ආක්‍රමණය නතර නොවීම හේතුවෙන්, තමන්ගේ වටිනා මත්ස්‍ය සම්පත අහිමි වන ශ්‍රී ලංකාවේ වයඹදිග දෙමළ ධීවරයෝ දහස් ගණනක් දැඩි සේ කල්කිරීමට පත්ව සිටිති.
ධීවර සංගම් ඔබ හමුවට පැමිණියහොත්, ට්‍රෝලර් යාත්‍රා සඳහා ශ්‍රී ලංකාවේ පවතින තහනම ගැන ඔවුන්ට පවසන්න. එමෙන් ම, පකිස්ථාන හෝ බංග්ලාදේශ මුහුදු සීමාවල මෙලෙස බියක් සැකක් නැතිව මසුන් ඇල්ලීමට ඔවුන් එඩිතර වන්නේ දැයි ප්‍රශ්න කරන්න. මෙම ට්‍රෝලර් මසුන් ඇල්ලීම නිසා ශ්‍රී ලංකාවේ වැඩිපුර ම පීඩාවට පත්වන්නේ එරට වෙසෙන දෙමළ ධීවර ජනතාව ය.
කරුණාකර ශ්‍රී ලංකා ගැටුම, ‘සිංහලයන් (නරක මිනිසුන්)’ සහ ‘දෙමළ ජනතාව (හොඳ මිනිසුන්)’ ලෙස තමිල්නාඩුවේ පටු දෘෂ්ටිකෝණයකින් සරලව දකින්නට උත්සාහ නොකරන්න.
ඔබගේ එක් මැතිවරණ ප්‍රචාරක කතාවක දී, හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය කර වසර 18කට පසු, ඔබ 2009 දී මියගිය එල්.ටී.ටී.ඊ. (LTTE) නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ව වර්ණනා කර තිබුණි.
ප්‍රභාකරන් දෙමළ ජනතාව වෙනුවෙන් අවි අතට ගත් බව සැබෑවකි, නමුත් ඔහුගේ කොටි සංවිධානය විසින් දේශපාලනඥයන්, සටන්කාමීන් සහ සිවිල් වැසියන් ඇතුළු දෙමළ ජනතාව සිය ගණනක් ඝාතනය කරනු ලැබී ය. විශේෂයෙන් ම යුද්ධයේ අවසාන භාගයේ දී එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශවලින් පලා යාමට උත්සාහ කළ දෙමළ වැසියන් ඔවුන් අතින් ඝාතනය වී ය.
එමෙන් ම, එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් දුප්පත් පවුල්වල බාලවයස්කාර දරුවන් ඇතුළු දෙමළ ළමුන් සිය ගණනක් බලහත්කාරයෙන් බඳවාගෙන, මරණය නියත වූ යුද්ධයකට ඔවුන් ඇද දමනු ලැබී ය.
නමුත්, යුද්ධය අවසන් වූ විට, ළමුන් සහ තරුණයන් ඇතුළු එල්.ටී.ටී.ඊ. සටන්කාමීන් 12,000 ක් පමණ හමුදාවට බාර වූ හ. ඇතැම් ප්‍රමුඛ පෙළේ කොටි සාමාජිකයන් සුදු කොඩි ඔසවා යටත් වීමට උත්සාහ කළ ද, ඔවුන් වෙඩි තබා ඝාතනය කෙරුණි. බොහෝ දෙනෙක් එය සලකන්නේ බරපතල යුද අපරාධයක් ලෙස ය.
එල්.ටී.ටී.ඊ. මතවාදයේ තවමත් එල්බගෙන සිටින ශ්‍රී ලංකාවේ සහ තමිල්නාඩුවේ ‘දෙමළ ජාතිකවාදීන්ගෙන්’ කරුණාකර ඈත් වී සිටින්න. මෙම පිරිස උත්සාහ කරන්නේ විනාශ වූ කොටි සංවිධානයේ මතකය විවිධ සංකේත හරහා ජීවමානව තබා ගැනීමට ය.
යාපනයේ සිටින එවැනි එක් දෙමළ දේශපාලනඥයකු, ප්‍රභාකරන් මියගිය බව කියන මැයි 18 වනදා (හමුදාව පවසන්නේ ඔහු මැයි 19 වනදා මියගිය බවයි) තමිල්නාඩු සභාවේ නිල යෝජනාවක් මගින් ‘මුල්ලිවයික්කාල් ජන සංහාර අනුස්මරණ දිනය’ ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ඔබෙන් ඉල්ලා සිටීම ගැන මම පුදුම නොවෙමි.
කරුණාකර එවැනි නාට්‍යවලින් ඈත් වන්න.
ඔබේ මූලික කාර්යය තමිල්නාඩුවේ සංවර්ධනය වෙනුවෙන් කැපවීම බව සැමට ම පැහැදිලි කරන්න. අසල්වැසි රටවලට අදාල ගැටලු මධ්‍යම රජය සමග සාකච්ඡා කර පමණක් තීරණය කළ යුතු ය.
වාර්ගික හැඟීම් ඉහළින් ම තිබූ 1987 වසරේ දී, තමිල්නාඩු සභාව විසින් එල්.ටී.ටී.ඊ. සහ ඊරෝස් (EROS) වැනි දෙමළ සටන්කාමී කණ්ඩායම්වලට මූල්‍ය ආධාර ප්‍රකාශයට පත් කරනු ලැබී ය.. ඇත්ත වශයෙන් ම, ඉන්දියාව එදා දෙමළ සටන්කාමීන්ට ලබා දුන් රහසිගත සහයෝගය හමුවේ එය කුඩා කාරණයකි.
නමුත්, අපි සත්‍යයට මුහුණ දිය යුතුය ය. පකිස්ථාන පාර්ලිමේන්තුව ඉන්දීය මුස්ලිම් කණ්ඩායම්වලට මූල්‍ය ආධාර දෙන බව ප්‍රකාශ කළහොත්, ඉන්දියානුවන් සතුටු වේවි ද? නැතහොත් සෞදි අරාබිය, පකිස්ථානය, තුර්කිය හෝ මැලේසියාව ඉන්දීය මුස්ලිම්වරුන්ගේ ප්‍රශ්න ගැන ඉන්දියාවට උපදෙස් දෙන්නට ආවොත්, අප එය පිළිගන්නෙමු ද?
මෙම ද්විපාර්ශ්වික ගැටලුවලින් ඔබ්බට ගියහොත්, ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා අද වන විට පුළුල් වෙමින් පවතින ආර්ථික සබඳතාවලින් සමන්විත වේ. ශ්‍රී ලංකාවෙන් පටු මුහුදු තීරයකින් පමණක් වෙන් වී ඇති තමිල්නාඩුව මෙහිදී ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි.
ශ්‍රී ලංකාවේ සහ තමිල්නාඩුවේ දෙමළ ජනතාවගේ යහපත උදෙසා ඔබේ රජය අවධානය යොමු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍රය මෙය යි. ආර්ථික බලාගාරයක් වන තමිල්නාඩුව සමග ආර්ථික සබඳතා ශක්තිමත් කරගත යුතු බවට ශ්‍රී ලංකාව තුළින් ම දැන් වැඩි වැඩියෙන් හඬක් නැඟෙමින් පවතී.
ඔබ ශ්‍රී ලංකා නායකයන් හමුවන අවස්ථාවල දී, එරට දෙමළ ජනතාවට බලපාන ගැටලු පිළිබඳව ඔබේ කනස්සල්ල පළ කිරීමට ඔබට පුළුවන. ඝෝෂාකාරී, ආක්‍රමණශීලී සහ මාධ්‍ය සිරස්තල දිනාගැනීමට තැත් කරන දෙමළ ජාතිකවාදී කතාවලට වඩා, නිහඬ රාජ්‍ය තාන්ත්‍රිකභාවය (Quiet diplomacy) මගින් බොහෝ විට සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි ය.
මෙයට,
විශ්වාසවන්ත,
එම්.ආර්. නාරායන ස්වාමි
(එම්.ආර්. නාරායන ස්වාමි යනු 'Tigers of Lanka' ඇතුළු දකුණු ආසියානු දේශපාලනය සහ ගැටුම් පිළිබඳ සම්මානනීය පොත් කිහිපයක් රචනා කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. ඔහු 'Jaffna Monitor' හි උපදේශක සංස්කාරකවරයා ලෙස කටයුතු කරයි)
'Jaffna Monitor' අන්තර්ජාල සඟරාවේ පළව ඇති ‘Open Letter to Vijay: Tread Carefully on Sri Lanka’ නම් ලිපියේ සිංහල පරිවර්තනය)
