උණුසුම් පුවත්

මහාචාර්ය නලීන් වෙනුවෙන් ආගමික චාරිත්‍ර පැවැත් විණි

බෞද්ධ මහා සම්මේලනයේ දී මහ සඟරුවන සියක් නමක් වඩිති

මහාචාර්ය නලින්ද සිල්වා මහතා වෙනුවෙන් ආගමික වතාවත් සහ පාංශුකූල පිංකම බෞද්ධ මහා සම්මේලනයේදී...

අභාවප්‍රාප්ත ආචාර්ය නලින් ද සිල්වා මහතා වෙනුවෙන්
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේදී
අද ( 2024.05.05) භික්ෂූන් වහන්සේලා සියක් නමකගේ සහභාගිත්වයෙන් පාංශුකූල පිංකමක් පැවැත්විණි.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි හා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුලු මහා සංඝරත්නය සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මැදිහත්වීමෙන්ද, සියලු ජාතික සංවිධාන හා දේශ හිතෛෂී ව්‍යාපාර එකතුවෙන්ද මෙම පාංශුකූල පින්කම සංවිධානය කෙරිණි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

ආචාර්ය නලින් ද සිල්වා මැතිතුමා ජාතිය පුබුදුවාලු අපේ රටේ ආඩම්බරයයි. ඔහු බුදු දහම අර්ථාන්විතව ගිහියෙකු ලෙස අප රට වාසීන්ට සහ ලෝකයාට පෙන්වා දුන් උත්තමයෙක්.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස හා රැකුමට සෑම අවස්ථාවකම එඩිතරව කැපවුණු අපේ බෞද්ධ නායකයෙක්.

එයින් ඔහුගේ වියෝව මේ අවස්ථාවේ විශාල හිඩැසක් අප රටට ඇති කරන බව අප සැවොම පිළිගන්නා කාරණාවක් පමණක් නොව මෙවන් මොහොතක බෞද්ධයන් ලෙස මෙලෙස ගෞරවය දක්වා පින් දීමට අපි එකතුවීම එතුමා වෙනුවෙන් ජාතියට ඉටු කළා වූ ගෞරවනීය ආඩම්බරයක්.

එතුමා ජාතියේම ආඩම්බර නායකයෙක් ලෙස නොබියව අදහස් පල කළා.

ජාතිය අඳුරට පත්වන කාල පරිච්ඡේදයකදී අදහස් පලකලා. ජාතියට පණ දුන්නා. ප්‍රාණවත් කළා. රට අවදි කළා. ඒ උදාර වචන මාලාව නිසාම රටක් යළි යළි නැගිට්ටා.

ඒ වගේම සම්බුද්ධ ශාසනය, ආරක්ෂා කරලීමෙහිලා නලින් සිල්වා මැතිතුමාගේ හඬ පමණක් නොව ඔහු අතින් නිර්මාණශීලීව හා තර්කානුකූලව ලියවුණු ලිපි දහස් ගණන්, ලක්ෂ ගණන් ජනතාවට හැම වයසටම කියවන්න පුළුවන් ලෙස එකතු වුණා.

අද වන විට තිබෙන ප්‍රධාන පුවත්පත් සියල්ලම ආචාර්ය නලින් ද සිල්වා මැතිතුමාගේ එවන් ඉදිරිපත් කිරීම් දශක දෙක හමාරකට වැඩි කාලයක් භුක්ති වින්දා.

ඒ නිසාම රට වැසියාට තවත් ශක්තිය දිය හැකි මග පෙන්වීමක් ලබා දෙන්නට නලින් සිල්වා මැතිතුමාට අවස්ථාව ලැබුණා.

ඒකීය රාජ්‍යට තර්ජනය කරමින් අප රට මෑත කාලයේ භයානකම අවස්ථාවකට මුහුණ දුන්නු අවස්ථාවේ ඉදිරිපත් වී මග පෙන්වූවා. අප ඇතුළු ජාතික ව්‍යාපාරයට සම්බන්ධ සියලු නායකයන් සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරමින් එය ආපසු හැරවීම සඳහා දැවැන්ත මග පෙන්වීමක් කළා.

පරාජය කළ හැකි දේශ විරෝධී බලවේග පරාජය කරන්නට විරුද්ධවාදීන් සමග සමග හැප්පුනා.

මේ කාරණාව ආපසු හරවන්නට පුළුවන් කියන මතය ජයග්‍රහණය කොට, අපේ රට ආරක්ෂා කරන්නට අපගේ ත්‍රිවිධ හමුදාවන්ට පුළුවන් බව කියා පෑ නොසැලෙන ගතිය අපි මේ අවස්ථාවේ යළි යළිත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා.

සිංහලකම, බෞද්ධකම,ශාසනය ආරක්ෂා කරවීමෙහිලා ආචාර්ය නලින්ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ මගේ ලෝකය වැනි ලිපි ලේඛන ජාතික හා ජාත්‍යන්තරව දැවැන්ත පිළිගැනීමකට ලක් වූ නිසා ලක්වැසියාට ඒ තැන්පත් කළ ජාතික මෙහෙය වෙනුවෙන් යළි ඔබට අපි පින් දෙනවා.

මේ සසර ගමනේ අවසානයේ අත්වෙන අනිත්‍ය අවබෝධ කරගෙන තිබුණු ආචාර්යතුමාට එය රටවැසියාට අවබෝධ කර දීම සඳහා දීර්ඝ කාලීන වශයෙන් ගත කළ කාලය කුමන විවේචනයන් තිබුණද ඒ හරහා ගමන් කරන්නට බුදු දහමේ ශක්තිය හේතු වාසනාවක් බවට පත්වුණා.

එතුමා අපේ ජාතික වීරවරයෙක්. එතුමා අපේ බෞද්ධ නායකයෙක්. ඒ නිසාම බෞද්ධ සම්මේලනයේ එකඟතාවය පළ කළා මේ බෞද්ධ නායකයාගේ මහා පින්කම මෙතන පවත්වන්නට. එතුමාගේ දේහය රටට තවමත් ගෙනවිත් නැහැ.

අවසන් කටයුතු කිරීමෙන් අනතුරුව ඉදිරියේදී භෂ්මාවශේෂ රටවැසියාට ගෞරවය දක්වන්නට ගෙන එනු ඇති.

නලින් සිල්වා මැතිතුමා සමග එකට වැඩ කරමින් එතුමා සමග දුෂ්කර කාල පරිච්ඡේදයන් හරහා අප සැමට කටයුතු කරන්නට පුළුවන්කම ලැබුණා. මාතෘ භූමිය වෙනුවෙන් සිංහල ජාතියේ පැවැත්ම, බුදු සසුනේ පැවැත්ම, මේ රට අනාගතයට ඉතුරු කරන්නට එතුමා කළ දායාදය මඟපෙන්වීම හා ලබාදුන් ශක්තියට මුළු මහත් ජාතියේ ගෞරවය මේ අවස්ථාවේ පුද කරනවා.

ආචාර්ය නලින්ද සිල්වා මැතිතුමාට සදා නිසංසල නිවන් සුවය අත්වේවා!!

අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත මහානිකායේ මහා නායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ත්‍රිකුණාමලයේ ආනන්ද හිමි,
පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය ඕමාරේ කස්සප හිමි, පූජ්‍ය කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ඇතුළු මහා සංඝරත්නය,
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ, ආචාර්ය ගුණදාස අමරසේකර, ජාතික සංවිධාන නියෝජිතයින්,
ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ ඥාතීන් ඇතුළු පිරිස මෙම අවස්ථාවට සහභාගී වූහ.

(අභාවප්‍රාප්ත ආචාර්ය නලින්ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඇමරිකාවේ දී සිදු කෙරිණි)