උණුසුම් පුවත්

ජගත් ගේ සතියේ සටහන – 16

රනිල් තරග නොකරන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට දිනේෂ්!???

මහා මැයි දින තරගය

පසුගිය බදාදාට යෙදුණු ලෝක කම්කරු දිනය හෙවත් මැයි දිනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවල බලය හා ශක්තිය පෙන්වීමේ තරගයක් බවට පත්වී තිබුණා.

විශේෂයෙන් ම සමගි ජන බලවේගයත්, ජාතික ජන බලවේගයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්, එක්සත් ජාතික පක්ෂයත් සති ගණනාවක සිට ඒ සඳහා සංවිධාන කටයුතු අරඹා තිබුණු අතර ලක්ෂ ගණනින් සෙනඟ කොළඹට ගෙන්වීමයි මොවුන් ගේ අරමුණ වූයේ. සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මෙවර මැයි දිනයට තම පාක්ෂිකයන් හා ආධාරකරුවන් එක් ලක්ෂ පනස් දාහක් කොළඹට ගෙන්වන බව මාධ්‍ය සාකච්ඡාවල දී ප්‍රකාශ කළා.

ජාතික ජන බලවේගයේ මහ ලේකම් ටිල්වින් සිල්වා ද ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන අන්තිම මැයි දිනයේ දී මෙවර තම පක්ෂයේ උපරිම ශක්තිය පෙන්වන බවයි.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩර ද ලක්ෂයකට අධික සෙනඟක් තම මැයි රැළියට සම්බන්ධ කිරීමට කටයුතු යොදා ඇතැ යි කියා සිටියා.

මෙවර මැයි දිනය පැවැත්වීමට පිට්ටනි යොදා ගෙන තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණයි. එම පක්ෂයේ මැයි දින රැළිය බොරැල්ල කැම්බල් පිටියේ දී පැවැත්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහාතගේ ප්‍රධානත්වයෙන්. එයට දස දහසක පමණ ජනකායක් සහභාගි වූ බවයි පොලිසිය සඳහන් කොට තිබුණේ.

එක්සත් ජාතික පක්ෂය මාළිගාවත්තේ පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගනය අභියස මහා මාර්ගය සිය මැයි දින රැළියට යොදාගෙන තිබුණා.

සමගි ජන බලවේගයේ මැයි දින රැළිය කොළඹ කොටුවේ චැතැම් වීදියේ දී සජිත් ප්‍රේමදාස මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඔවුන් ගේ පෙළපාළිය ගුණසිංහපුර සිට යි ආරම්භ කෙරුණේ.

ජාතික ජන බලවේගයේ මැයි දින සැමරුම් උළෙල කොළඹ BRC ක්‍රීඩාංගනය අසලින් ආරම්භ වී ඇස්වාට්ටුව අසලට පැමිණි අතර මැයි රැළිය ලිප්ටන් වටරවුම අසල පැවැත්වුණා.

එහෙත් දේශපාලන විචාරකයින් පවසන්නේ මේ කිසිදු මැයි සැමරුමකට අපේක්ෂා කළ තරම් සෙනඟක් නොපැමිණි බවයි.

දේශපාලන පක්ෂ මැයි දිනේට කෝටි 200 කට වඩා වැය කරලා?

මෙවර මැයි දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ විසින් ඒවායේ සංවිධාන කටයුතු පිට පළාත්වල සිට බස් රථවලින් සෙනඟ ගෙන ඒම වේදිකා, ආහාර සැපයීම, ශබ්ද විකාශන හා සැරසිලි ආදිය වෙනුවෙන් රුපියල් කෝටි 200 ක පමණ මුදලක් වැය කළ බව ස්වාධීන සමීක්ෂණ ආයතනයක් ප්‍රකාශ කළේ යැ යි ජාතික පුවත්පතක් පළකොට තිබුණා.

මේ හැර ජාතික ජන බලවේගය විසින් මාතර, අනුරාධපුරය හා යාපනයේ  පැවති ඔවුන් ගේ මැයි රැළි විශාල ජනකායක් සහභාගි වූ බවයි වාර්තා වෙන්නේ. එහෙත් යාපනයේ පැවති ඔවුන් ගේ මැයි රැළිය ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවති නමුත් එයට අපේක්ෂා කළ තරම් සෙනඟක් පැමිණ නැති බව උතුරේ වාර්තාකරුවන් සඳහන් කළා.

එසේ වුවද ආණ්ඩුවේ කැිනට් ඇමතිවරයකු වන ජීවන් තොණ්ඩමන් මහතා ගේ ප්‍රධානත්වයෙන් නුවරඒළියේ කොටගල දී ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දිනය පැවැත්වූ අතර එයට වතු කම්කරු ජනතාව දස දහස් ගණනින් පැමිණ සිටියා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ප්‍රධාන ආරාධිතයකු සේ එයට සහභාගි වුණා. වතු කම්කරුවන් ගේ දෛනික වැටුප රුපියල් දාහේ සිට එක්දහස් හත්සීය දක්වා වැඩි කිරීමට රජය තීරණය කළ බවත් ඒ පිළිබඳ ගැසට් පත්‍රය කම්කරු ඇමති විසින් කලින් දිනයේ නිකුත් කළ බවත් ජනාධිපතිවරයා එහිදී පවසද්දී වතු කම්කරුවන් ප්‍රීතිඝෝෂා පැවැත් වූවා.

මේ අතර සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරයකු වන පලනි දිගම්පරම් මහතා සංවිධානය කළ මැයි රැළියක් තලවකැලේ නගරයේ දී පැවති අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වී සිටියා. යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයකු සේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ද මෙම රැළියට සහභාගි වී කතාවක් ද පැවැත් වූවා. පසුව අර්ජුන පැවසුවේ තමා එම මැයි රැළියට පලනි දිගම්බරම් මහතා ගේ ආරාධනය අනුව සහභාගි වූ නමුත් සමගි ජන බලවේගයට එක් වූ බවට පැතිර යන කතා ප්‍රතික්ෂේප කරන බවයි.

වතුකරේ ඡන්ද ඩැහැ ගන්න රනිල් හා සජිත් කොටගලයි තලවකැලෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොටගල පැවති මැයි රැළියටත්, සජිත් ප්‍රේමදාස මහතා තලවකැලේ මැයි රැළියටත් සහභාගි වූයේ ඉදිරි ජනාධිපතිවරණයේ දී වතු කම්කරු ජනයාගේ සහාය තම පක්ෂවලට ලබා ගැනීමේ අරමුණින් බව පැහැදිලි යැ යිදේශපාලන විචාරකයින් පවසනවා.

සජිත් ගෙ බජවුව සෙනඟ ගිහිපු නිසා කැන්සල් කරලා

සමගි ජන බලවේගය විසින් කොටු‌වේ චැතැම් වීදියපැවැත් වූ මැයි රැළියෙන් පසු සංගීත සංදර්ශනයක් පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා තිබූ අතර ජනප්‍රිය ගායක ගායිකාවන් ද නර්තන ශිල්පීන් ද එයට ගෙන්වා තිබුණා. එහෙත් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ කතාව අවසන් වීමත් සමඟ පැමිණ සිටි ජනතාව තම ගම් ප්‍රදේශ හා නිවෙස් කරා පිටත්ව යන්නට වූයෙන් සංගීත සංදර්ශනය නැරඹිමට කිසිවකු ඉතිරි වූයේ නෑ, ඒ නිසා සංගීත සංදර්ශනය අවලංගු කල අතර පස්වරු 06. 00 වන විට මැයි රැළියේ සියලු කටයුතු අවසන් වුණා.

සජිත් ගෙ කට්ටියත් රනිල් ගෙ බජව්ව‌ට ගිහින්

එය එසේ වූවත් මාළිගාවත්තේ පැවති එක්සත් ජාතික පක්ෂ මැයි රැළිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතා කිරීමෙන් පසු අනිත් කථිකයන් කතා කළ අතර ජනාධිපතිවරයා රැළිය අවසන් වන සජතෙක් ම එහි රැඳී සිටියා. රැළිය අවසන් වීමෙන් පසු දකුණු ඉන්දියාවෙන් පැමිණ සිටි ගායක ගායිකාවන් ගේ සංගීත සංදර්ශනය ආරම්භ වූ අතර කිල් මැයි රැළියට පැමිණ නොසිටි අවට ප්‍රදේශවල ජනයා ද එය නැරඹීමට පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

සමගි ජන බලවේගයේ මැයි රැළියට සහභාගි වූ විශාල පිරිසක් ද සමගි ජන බලවේගයේ පාට සහිත 'ටී ෂර්ට්' වලින් සැරසී මාළිගාවත්තේ එක්සත් ජාතික පක්ෂ මැයි රැළියේ සංගීත සංදර්ශනය නැරඹීමට පැමිණ සිටීම බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා. මෙම සංගීත සංදර්ශනය රාත්‍රී 12. 00 ට අවසන් කිරීමට නියමිතව තිබුණ ද ප්‍රේක්ෂක ඉල්ලීම මත අලුයම 01. 00 දක්වා පැවති බවයි දැන ගැනීමට තිබෙන්නේ.

චැතැම් වීදියේ පැවති සමගි  ජන බලවේගයේ මැයි රැළියට දොස්තර රාජිත සේනාරත්න, තලතා අතුකෝරළ ඇතුළු ජ්‍යෙෂ්ඨයින් ගණනාවක් ම පැමිණ සිටියේ නැහැ. පක්ෂාය් සභාපති සරත් ෆොන්සේකා මහතා වේදිකාවේ ටික වෙලාවක් රැඳී සිට පසුව පිටවී ගිහින්.  ඔහු මැයි රැළියේ කථික ලැයිස්තුවට ඇතුළත් කොට නොතිබීම එයට හේතු වූ බවයි දැනගන්නට තිබෙන්නේ.

සමගි ජන බලවේගේ සභාපතිත් ආවෝ ගියෝ

රාජිත යි තලත යි තවත් ජ්‍යෙෂ්ඨයො සෙට් එකක් ම මැයි දිනේට ඇවිත් නෑ ලු

මේ අතර ජනතා නිදහස් සභාවේ නායක ඩලස් අලහප්පෙරුම හා මහාචාර්ය චරිත හේරත් මහත්වරු මෙවර කිසිදු මැයි රැළියකට සහභාගි වූයේ නැහැ. එම සභාවෙන් ඉවත් වූ මහාචාර්ය ජී. එල්. පීරිස්, නාලක ගොඩහේවා ආදීන් සමගි ජන බලවේගයේ මැයි රැළියට එක් වී සිටියා.

ඩලසුයි හේරතුයි, ජාතික ජන බලවේගය එක්ක පූට්ටු වේවි ද?

ඩලස් අලහප්පෙරුම හා මහාචාර්ය චරිත හේරත් යන මහත්වරු ඉදිරියේ දී ජාතික ජන බලවේගයට එක්වීමට යන බවට ආරංචි පැතිර යමින් තිබෙනවා.

 

සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මෙවර එම පක්ෂයේ මැයි රැළියටපැමිණි සෙනඟ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු නායකයින් තුටු පහටු නැති බවයි. ලක්ෂ එක හමාරකට වැඩි ජනකායක් කොළඹට ගෙන්වීමට සමගි ජන බලවේගය සැලසුම් කෙට ඒ සඳහා බස් රථ හා පැමිණෙන අයට ආහාර පාන සැපයීමට විශාල මුදලක් ද වැයකොට තිබුණා. එහෙත් පැමිණි පිරිස දහ දාහකට මඳක් වැඩි බවටයි ගණන් බලා තිබෙන්නේ. මේ තත්ත්වය යටතේ ඉදිරි ජනාධිපතිවරණයේ දී උද්ගතවිය හැකි තත්ත්වය ගැන සමගි ජන බලවේගයේ මන්ර්‍ත්‍රී පිරිසක් සාකච්ඡා කොට තිබෙනවා. ජනාධිපතිවරණයේ දී ප්‍රදාන පක්ෂවලින් ඉදිරිපත් වන සජිත්, රනිල්, අනුර කුමාර යන තිදෙනාට ම 50% ක මනාප ලබා ගැනීමට නොහැකි වන බවත්, බොහෝ විට දෙවැනි මනාපයට යාමට ඉඩ තිබෙන බවත් එහිදී සාකච්ඡා වූ බවයි වාර්තා වෙන්නේ.

50% කිසිම ජනාධිපති අපේක්ෂකයකුට ංන කැමැත්ත ‍‍ගන්න බැරි බව විචාරක මතය ?

ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින බව පෙනුණ ද එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ද 50% ක මනාප ලබා ගැනීමට නොහැකි වන බව ද දේශපාලන විචාරකයින් පවසනවා.

මේ තත්ත්වය අනුව ඉදිරි ජනාධිපතිවරණය සඳහා සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකතු කළ යුතු යැ යි මෙම මන්ත්‍රීන් පිරිස යෝජනා කොට තිබෙනවා. මේ පිළිබඳව පක්ෂ නායකයා හා එක්සත් ජාතික පක්ෂ නායකත්වය හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් අප සමඟ ප්‍රකාශ කළා.

එහෙත් ප්‍රශ්නය වී තිබෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ නම් ස්ථිර වහයෙන් ම ජයගන්නා බව සිතාගෙන සිටින සජිත් ප්‍රේමදාස මහතාට මේ තත්ත්වය අවබෝධ කර දීම යැ යි ඔහු තව දුරටත් කියා සිටියා.

එක්සත් ජාතික පක්ෂය මේ පිළිබඳව නම්‍යශීලී ප්‍රතිපත්තියකයි සිටින්නේ. එක්සත් ජාතික පක්ෂ නායකජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි රැළියෙදීත්, තවත් අවස්ථා ගණනාවකදීත් ආණ්ඩුව සමඟ එකතු වී රට සංවර්ධනය කිරීමට සහය දෙන්නැ යි විපක්ෂයට විවෘත ආරාධනයක් ද කළා.

රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ආණ්ඩුවේ හොරුන් ආරක්ෂා කරන බැවින් කිසිසේත් ම ඔහු හා එක්නොවන බව සජිත් ප්‍රේමදාස මහතා තරයේ ම කියා සිටිනවා. මේ තත්ත්වය යටතේ සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක් කිරීම මිරිඟුවක් වී ඇතැයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා.

මේ අතර රටේ දේශපාලන තත්වය හා ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රටේ ජනමතය කෙබඳුදැයි සොයා බලා තමාට වාර්තා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනවාරි මාසයේ දී ප්‍රකට සමීක්ෂණ ආයතන දෙකකට බාරදී තිබුණා. මේ ආයතනවල සමීක්ෂණ වාර්තා ජුනි මස මුලදී ජනාධිපතිවරයා වෙත බාරදීමට එම ආයතන කටයුතු කරගෙන යන බව වාර්තා වෙනවා.

මෙම සමීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසු තමා ජනාධිපතිවරණයට තරග කරනවා ද නැද්ද යන්න පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කරනු ඇති බවයි ඔහුට සමීප ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබෙන්නේ.

යම් හෙයකින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුවහොත් පොදුජන පෙරමුණ ඒ සඳහා ගතහැකි විකල්ප ක්‍රියා මාර්ග ගැන පසුගියදා සාකච්ඡා කළ බව නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ ආරංචි මාර්ග පවසනවා.

පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් දැනගන්නට තියෙනවා.

මේ අවස්ථාවේ රාජපක්ෂවරයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම යෝග්‍ය නොවන බැවින් ඒ සඳහා රටම පිළිගන්න‌ා වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම ගැන මෙහිදී සාකච්ඡා වී ඇති අතර පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා යථා කාලයේ දී පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසා තිබුණේ ඒ අනුවයි.

මේ අතර මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ මහත්වරුන්ට සමීප ආරංචි මාර්ගයක් පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරග නොකරන්නේ නම් පොදුජන පෙරමුණේ ජනාධිපතිඅපේක්ෂකයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බවයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (04) ජනාධිපති නිල නිවසේ පැවති බව ද වාර්තා වෙනවා. 

                                 - ජගත් -