ජගත් ගේ සතියේ සටහන - 137
ශිරන්ති රාජපක්ෂ ගුවන් අත්අඩංගුවට?????
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පරීක්ෂණ පවත්වා, ඔවුන්ට විරුද්ධව අධිකරණය හමුවේ නඩු පැවරීමෙන් අධිකරණය මඟින් ඔවුන්ගෙන් සමහරුන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමත් හේතුවෙන් මේ දිනවල පොදුජන පෙරමුණ මහත් සේ කැළඹීමට පත්ව සිටින බව එහි දෙවන පෙළ නායකයින් කරන ප්‍රකාශවලින් පේනවා.
මේ වන විට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ඔක්තෝම්බර් 13 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට ඇති අතර රාජපක්ෂ පවුලේ සෙසු සාමාජිකයින් වන යෝසිත රාජපක්ෂ, හා හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂමහත්මියට විරුද්ධව ද, පරීක්ෂණ පැවැත්වෙනවා. යෝෂිතට එරෙහිව මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් අධි චෝදනා භාර දී මහාධිකරණයේ නඩුවක් ද විභාග වෙනවා.
'සිරිලිය' ගිණුම සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවත්වන පරීක්ෂණවලට පෙනී සිටීම සඳහා ඇයට කොමිසමට පැමිණෙන ලෙස දන්වා තිබුණ ද වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගත ව සිටින බැවින් පැමිණීමට නොහැකි බව ඇයගේ නීතිඥයින් කොමිසමට පවසා තිබුණා.
ශිරන්ති රාජපක්ෂ මහත්මියට සැප්තැම්බර් 24 වැනිදා කොමිසම හමුවේ පෙනී නී සිටින ලෙස දන්වා තිබු නමුත් ඇය ඉහත සඳහන් හේතු දක්වමින් පැමිණ තිබුණේ නැහැ. ඇය තව දුරටත් කොමිසම හමුවට පැමිණියේ නැත්නම් ඇයගේ විදෙස් ගමන් බලපත්‍රය තහනම් කොට මෙරටට පමිණීමේ දී අත්අඩංගුවට ගැනීමේ වැඩ පිළිවෙලක් ද ක්‍රියාත්මක වන බව ආරංචි මාර්ග පවසනවා.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් සොවුරු, හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගේ බාල පුතාට එයාර් බස් ගණුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කොට තිබෙන අතර චමල් රාජපක්ෂ මහතා ගේ වැඩිමහල් පුත් ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාට ද රුපියල් ලක්ෂ 88 ක සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.
ඒ පසුගිය අරගල සමයේ දී තමන්ගේ දේපොළක් ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් මහවැලි අධිකාරියේ නිලධාරීන්ට බලපෑම් කොට රුපියල් ලක්ෂ 88 ක මුදලක් වන්දි වශයෙන් ලබා ගැනීම පිළිබඳව යි.
මේ අතර පසුගිය පොදුජන පෙරමුණු ආණුවේ සිටි මැති ඇමතිවරුන් ගණනාවක් ම පසුගිය දිනවල අල්ලස් හෝ ධූෂණ විමර්ශන කොමිසම වෙත කැඳවා ප්‍රශ්න කොට තිබුණා.
පොදුජන පෙරමුණේ අනුරාධපුර රැළිය අති සාර්ථක නමුත්......!!???
පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයා පසුගිය කාලයේ ප්‍රාදේශීය මට්ටමින් ජන හමු පවත්වමින් රට පුරා සංවිධාන කළා. අන්තිමේදී අනුරාධපුරයේ දී විශාල මහජන රැළියක් පැවැත්වීමට ද කටයුතු කරමින් සිටිය දී ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගත කළා.
ආණ්ඩුවේ බාධා මධ්‍යයේ අනුරාධපුරයේ පැවැත් වූ රැළියට විශාල ජනකායක් සහභාගි වූ අතර දුර්වල සෞඛ්‍ය තත්වයෙන් පසුවන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිහිප දෙනකුගේ ආධාරයෙන් එම රැළියේ වේදිකාවට ගොඩ වුණා. එහෙත් ඔහු කතා කළේ නැහැ.
ජන සහභාගිත්වය අතින් මෙම රැළිය සාර්ථක වුව ද ජනතාව ඇමතීමට පක්ෂයේ ප්‍රධාන කථිකයින් නොමැතිවීම විශාල අඩුවක් වී තිබුණා.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල හා උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමචන්ද්‍රන් අර්චුනා ආදින් ගෙනුයි එම අඩුව පිරිමැසුණේ.
කෙසේ වුවද විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන් එම රැළියේ දී කළ කතා ගැන පොදුජන පෙරමුනේ නායකයින් පවා එකඟත්වය පළ කොට නැහැ. මෙනිසා නෙළුම් මාවතේ පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවක දී තීරණය කර ඇත්තේ පෙරමුණේ ඉදිරි රැස්වීම් වලට ඔවුන් දෙදෙනාට ආරාධනා නොකිරීමට යි.
නාමල් රාජපක්ෂ මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගතවීමත් සමඟ පොදුජන පෙරමුණේ විශාල ජනහමු පැවැත්වම අඩපණ වුණා. ඔහුට නඩු පවරා රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට තිබෙනවා. 
ආණ්ඩුව ඒකාධිපති පාලනයකට යෑම සඳහා විපක්ෂයේ නායකයින් සිරගත කරන බවට ද පොදුජන පෙරමුණ චෝදනා කරනවා.
රංග දිසානායක මුදල් පිළිබඳ කාරක සභාව හමුවට
මේ ආණ්ඩුව යටතේ සිදුවී ඇති වරායේ කන්ටේනර් 323 ක් පරීක්ෂා නොකොට මුදා හැරීම හා ගල් අඟුරු වංචාව ගැන පරීක්ෂණ නොපැවැත්වීමෙන් පෙනී යන්නේ ආණ්ඩුව තමන්ගේ අය ආරක්ෂා කරමින් විරුද්ධවාදීන් හිරේ දමන බව යයි ද පොදුජන පෙරමුණේ නායකයින් පවසන්නේ.
පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ පැවති මුදල් පිළිබඳ කාරක සභාවේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතාගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කෙරුණා.
දැන් කොමිසම පරීක්ෂණ පවත්වා නඩු පවරන්නේ පසුගිය ආණ්ඩු කාල වල සිදුවූ සිද්ධින් ගැන ලැබී ඇති පැමිණිලි පිළිබඳව යැයි ඔහු පිළිතුරු වශයෙන් කියා සිටියා.
මෙසේ 2015 – 2020 කාලයේ ලැබී ඇති පැමිණිලි ගැන පරීක්ෂණ පැවැත්වෙන්නේ ඒවා තවත් ප්‍රමාද කළ හොත් කාලවරෝධනයට ලක් ව නඩු පැවරීමට නොහැකි වීමෙන් වළක්වා ගැනීමට බව ද අධ්‍යක් ජෙනරාල් වරයා පැවසුවා.
ආණ්ඩුවේ පමණක් නොව විපක්ෂයේ මැති ඇමති වරුන්ට එරෙහිව ද අල්ලස් පැමිණිලි ලැබී ඇති බවත්, ඒ පිළිබඳව කඩිනමින් පරීක්ෂණ පැවැත්වීමට කොමිසම කටයුතු කරගෙන යන බවත්, දිසානායක මහතා තව දුරටත් සඳහන් කළා.
මෙසේ දූෂණ චෝදනා එල්ලවී ඇති මැති ඇමතිවරුන් දැන් මහාචාර්ය ජී, එල්. පීරිස් මහතා ගේ නායකත්වයෙන් (ජී. එල් ට චෝදනා එල්ල වී නැහැ) පිහිටුවා ගෙන තිබෙන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය මේ දිනවල ආණ්ඩුවට විරුද්ධව දැඩි ලෙස පහර එල්ල කරමින් සිටිනවා.

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ සම්පූර්ණ සහාය ද මෙම පිරිසට ලබී තිබෙනවා.
ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවට ගිය අජිත්ට යි රහුමාන්ට යි සජිත් තදින් ම දොස්
රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ මේ ආණ්ඩුව පෙරළීමට විපක්ෂය සියලු වාද භේද ඉවත දමා එක්විය යුතු බව යි.
එසේ වුව ද විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය පවසන්නේ තමන් එක්සත් ජාතික පක්ෂය සමඟ පමණක් එක්වීමට කැමති බව යි.
''දූෂණ චෝදනා තිබෙන කිසිවෙකුත් සාමාජිකත්වය දරණ පක්ෂ සමඟ එක්වීමට අපි සූදානම් නැහැ" විපක්ෂ නායක සජිත ප්‍රේමදාස මහතා පවසනවා.
පසුගිය දිනෙක ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පක්ෂ හා සංවිධාන ගණනාවක සහභාගිත්වයෙන් කොළඹ ජානකී හෝටලයේ පැවති රැස්වීඹට ගොස් එහිදී සකස් කොට තිබූ ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබූ සමගි ජන බලවේගයේ අජිත් පෙරේරා සහ මුජිබර් රහුමාන් යන මන්ත්‍රීවරුන්ට තමන්ගෙන් විමසන්නේ නැතිව යාම ගැන සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා තදින් ම දොස් පවරා ඇති බව ද වාර්තා වෙනවා.
මහින්ද ගේ ජීවිතය සිනමා පටයකට - නිෂ්පාදකයා ජයලත් පීරිස්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ජීවිත කතාව පාදක කර ගනිමින් නව චිත්‍රපටයක් නිර්මාණය කිරීමට චිත්‍රපට නිශ්පාදකයකු කටයුතු කරගෙන යන බව ද වාර්තා වෙනවා.
දැනගන්නට තිබෙන පරිදි මෙම චිත්‍රපටය නිපදවීමට යන්නේ මීට පෙර රෝහණ විජේවීර ගේ ජීවිත කතාව අළලා 'ගින්නෙන් උපන් සීතල' චිත්‍රපටය නිපද වූ ජයලත් පීරිස් මහතා.
ඔහු මේ පිළිබඳව බන්ධනාගාරයට ගොස් නාමල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කොට තිබෙන අතර නාමල් එයට එකඟත්වය පළ කොට ඇති බව ද දැනගන්නට තිබෙනවා.
මෙහි මහින්ද රාජපක්ෂ මහතා ගේ චරිතයට රඟපාන ලෙස නිෂ්පාදක වරයා නාමල්ගෙන් ඉල්ලා ඇති අතර තමන්ට ඊට ගැළපෙන රංගන හැකියාවක් හෝ අත්දැකීම් නොමැති බව පවසමින් ඔහු එය ප්‍රතික්ෂේප කොට තිබෙනවා.
ඉන්දීය නළුවකු මහින්දගේ චරිතයට යොදා ගැනීමට ඔහු දැන් තීරණ කොට ඇති බව ද ආරංචි මාර්ග පවසනවා
= ජගත් -



