ඉතිහාසයඋණුසුම් පුවත්කාලීනසංස්කෘතික මහ සඟරුවනේ නිවැරදි මඟ පෙන්වීම සමාජයේ ඉදිරි ගමනට මහත් සවියක් – හරිනි කියයි 2026-08-240 සියනෑ හා හාපිටිගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලද බැලුම්මහර ඉන්දානන්ද හිමිපාණන්ට සන්නස් පත්‍රය පිළිගන්වමින් පැවසූ වග යි වර්තමාන තරගකාරි සමාජය තුළ සහකම්පනය, සංයමය, සත්‍යගරුක බව සහ ආත්ම දමනය පෙරදැරි කරගෙන කටයුතු කිරීමේ වැදගත්කම වෙනදාටත් වඩා අද තදින්ම දැනෙමින් පවතින බවත්, ගිහි ජනතාව පංචශීලයේ පිහිටුවමින් වෛරයෙන් හා ක්‍රෝධයෙන් තොර අධ්‍යාත්මිකව පිරිපුන් ප්‍රජාවක් නිර්මාණය කිරීමේ විශාල වගකීමක් මහා සංඝරත්නය වෙත පැවරී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ අගෝස්තු 22 දින දින පැවති සියනෑ හා හාපිටිගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ රාජකීය පණ්ඩිත, පූජ්‍ය බැලුම්මහර ඉන්දානන්ද හිමිපාණන් වහන්සේ වෙත "සද්ධර්මකීර්ති ශ්‍රී අනෝමදස්සි" ගෞරව නාමය සහිත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට එක්වෙමින් අගමැතිනිය මේ බව පැවසුවාය. මෙහිදී මල්වතු මහා විහාර පාර්ශ්වය මගින් පිරිනමන ලද ශ්‍රී සන්නස් පත්‍රය අග්‍රාමාත්‍යවරිය විසින් උන්වහන්සේ වෙත පිළිගන්වන ලද අතර, ය කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් විජිනි පත පිළිගන්වනු ලැබීය. අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අපගේ සංස්කෘතික, අධ්‍යාත්මික සහ සමාජයීය පදනම සුරක්ෂිත කළ ප්‍රධාන නියමුවාණන් වහන්සේලා වන්නේ මහා සංඝරත්නය බවත්, රටක් ලෙස අප මුහුණ දෙන සංකීර්ණ ආර්ථික හා සමාජීය අභියෝග ජයගැනීමට නම් සදාචාරාත්මක පදනම මත පිහිටි හික්මුණු, නීතිගරුක සමාජයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය බවත් සඳහන් කළා ය. ගැටලු හමුවේ කෝප නොවී සන්සුන්ව හා ප්‍රඥාවෙන් යුතුව තීරණ ගැනීමටත්, ඉවසීම සහ මධ්‍යස්ථභාවය පෙරදැරි කරගෙන ඉදිරියට යාමටත් උන්වහන්සේලාගේ උපදෙස් හා මගපෙන්වීම අත්‍යවශ්‍ය බවද හරිනි අමරසූරිය මෙනෙවිය අවධාරණය කළාය. නව පදවි ලත් බැලුම්මහර ඉන්දානන්ද නායක හිමියන්ගේ සමාජ මෙහෙවර අගය කළ ඇය, උන්වහන්සේ බැන්ඩියමුල්ල ශ්‍රී විද්‍යාශේඛර මහා පිරිවෙනේ පරිවේණාධිපති ලෙස සහ ශ්‍රී සරණංකර දහම් පාසලේ ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කරමින් ගුණධර්මවලින් පිරිපුන් නැණවත් පරපුරක් නිර්මාණය කිරීමට කැපවූ බව ද පැවසුවාය. එමෙන්ම ත්‍රිපිටක ධර්මය හා ශාස්ත්‍රීය උරුමය සුරකිමින් පාලි භාෂාව ප්‍රවර්ධනය කිරීමටත්, ශාස්ත්‍රීය ග්‍රන්ථ රචනා කිරීමටත්, ගම්පහ ප්‍රාදේශීය කලා මණ්ඩලය සහ තරුණ බෞද්ධ සංගමය වැනි සංවිධානවලට අනුශාසකත්වය දෙමින් සංඝරත්නය කියන්නේ පන්සලට පමණක් සීමා නොවී පොදු ජනතාව වෙනුවෙන් ක්‍රියාකරන නායකත්වයක් බව උන්වහන්සේ ප්‍රායෝගිකවම තහවුරු කර ඇති බවද සඳහන් කළ අමරසූරිය මෙනෙවිය රට නව පරිවර්තනයකට ගෙන යමින් සියලු දෙනාට සමාන හා සාධාරණ සමාජයක් ගොඩනැගීමේදී මහා සංඝරත්නයෙන් ලැබෙන සහයෝගය අගය කළාය. මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මුලසුනින් පැවැති මෙම අවස්ථාවට මහා සංඝරත්නය, කන්‍යා සොහොයුරියන් හා, මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, සම්භාවනීය ආරාධිතයන් සහ දායක සභාවේ විශාල පිරිසක් එක්ව සිටියහ. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article බදුල්ල රෝහලේ වෛද්‍යවරයකු ගේ මළ සිරුර පොලිසියෙන් සොයා ගනී Next Article රාජ්‍ය ඡායාරූප සම්මාන – 2026