උණුසුම් පුවත්කාලීනවිශේෂාංගසාහිත්‍යය හා කලාව

මාතු පාදං නමාමී!!!

චම්මිගේ සිතිවිලි

ඇය!

ලොවෙන් උතුම් ළඳ!

සිය පති සිව්දරු පියෙකු කළ ඇය.......!!

අපේ මව් !!!

අපෙන් වෙන්ව ගොස් අදට සිව්වසරක් සපුරන  දා මා දුටු ඇයගේ බාහිර රුව නිසොල්මනේ වැඩ හිඳිනා තැන මේ මොහොතේ සිටිමි.

ජීවත් වෙන මගේ සොයුරියන් දෙදනාද සිතින් තුරුලු කරගෙන.

ඇය ද මා හිතන්නේ ඔබේ මව් සේම බොහෝ අම්මාවරුන් මෙන්ම ලොවෙන් උතුම් ම ළඳම වන්නීය.

මම ඇය නිදනා දෙස බලා සිටිමි.

නිසසලව ඇය වෙනදා සේම කඩිසරව කොහේ හෝ ඇති.

ඇය හැටහත් වසක් තාත්තා සමග  අපි බලා ගත්තාය.

තාත්තා ගිය දා පටන් දාහත් වසක් අපි වෙනුවෙන් සියල්ල කළමනාකරණය කළාය.

ඔබ කොහේ සිටීදැයි මම නොදනිමි.

එහෙත් අපි යහපත් තැන්හි තියා ගිය  ඔබ හොඳ බිමක වසනු නිසැකය .

ඔබව නිවන් දක්වන්නට  අපි කරන කුසල් නොව අප හදාවඩා දුක් ගෙන විඳි අපමණ වේදනාවෝ ඔබ කළ පාරමිතාවක් නොවිය හැකිද?

අප කරන පින්කම්හි පල ලබන්නට බුදුදහම අනුව නම් ඔබ ඉපදිය යුත්තේ පේත බවයකය. එහෙත් ඔබ එවන් ඌණ  වූ කුශලයෙන් යුක්ත නොවූ බව මම දනිමි. එනිසා මේ පින් ඔබට අනුමෝදනා වූවද නොවූවද මල් පැල නොකළද  එහි හැඩ බලන්නට සේම සුවඳ විඳින්නට හැකි සේම එම පුණ්‍ය බලයේ අනුහස් ඔබ කරා නොඑතැයි මම නොසිතමි.

එනිසා අම්මේ ඔබ අප හදා අප මගින් ලොවට සෙතක් සලසන්නට සිතුවේද?

දෑත දෙපය නොකඩා සත්වසක් කිරි පොවා හරිමඟ යන්නට කියා දුන්නේ යම්සේද?

ඒ මග යමින් මේ බවබිරම් රුදු සසර සයුරෙන් නික්ම යන්නට අපි දැනුම්වත් කළෝ නුඹම වූයෙන්

එයම ඔබේ අරි අටගි මගේ සම්මා කම්මන්තයක් සේම සම්මා වායාමයක් නොවන්නේද?

එයම සම්මා සතියෙන් නොකළේනම් අපි අද රටට බරක් වෙන , දැයට නපුරක් වන්නෝ නොවෙද?

එයින් අපව මුදවා ගත්තී නුඹම සසර දිනා එතෙර වූයේ නොවේද?

ඔබ කළ බොහෝ දෑ තුළින් මට දැන් එය පසක් වේ.

දශක හයකට පෙර මා බාලේ අපේ ගමේ සෝමානන්ද හිමියන් ගමේ පන්සලට චෛත්‍යයක් ඉදි කිරීමට ගමේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළෝ ය. එහි එක් අංගයක් වූයේ ගම් නියම්ගම් පුරා සම්මාදමේ යාමයි. අම්මා මා කැටුව ගියේ තාත්තාගේ ගම වු කුරුණෑගල ආසන්නයේ උඩකැන්දවලටය.

අම්මා මා සමග එහි ගෙන් ගෙට ගියේ යෝජිත චෛත්‍යයේ අනුරුව ද බිල් පොතක් ද තබා ගත් බන්දේසියක් පූජා වට්ටියක් සේ තබා ගෙනය.

හදිසියේම මහා වැස්සක් ඒ මද්දහනේ කඩා වැටුණේ ඇගේ ගුණ මට කියා දෙන්නටදැයි මම අදත් සිතමි.

නවතින්නට තැනක් නැත. පාර දෙපස පොල් ත්‍රිකෝණයේ සෙන්පතියන් සේ ඉන්නා  පොල්වතු පමණි.

වසා දමා තිබූ දිරාපත්ව ගිය කඩයක අගුවක් දුටු  ඇය මා කැටුව එහි රැඳුණාය.

දිරාගිය පොල්ලතු අග්ගිසි මතින් වැහි දිය රෑරා වැටුණේ කළුවන් වූ පොල්ලතු කැබලිද සමගිනි.

අම්මා අසරණව සිටින සැටි මා දුටුවේ ඇය වරින්වර මදෙසත් සම්මාදම් වට්ටියත් දෙස  හෙළන බැල්මෙනි.

අම්මා සෙමින් ඔසරි පොට දිගු කර ගත්තා ය. එයින් වට්ටිය වසා එය මා හිස මත තබා වැටෙන වැහි බිඳු ඇගේ හිස මතින් වට්ටියත් මාත් බේරා ගලා යන්නට සැලස්සුවා ය.

සබඳ!

ඒ මගේත් ඔබේත් අම්මාවරුමය.

පසු කලෙක ආර්.බී මා මිතුරා, කපූ ගයන "දවසක් පැළ නැති හේනේ" නම් වූ සියලු අම්මාවරුන් ගැන ලියූවේත් එවන් අත්දැකුමකින් විය නොහැකි ද?

ඔවුන් තිදෙනාම අද නැති මේ බව ගමනේ ඒ ගීතයට මා මගේ මවට සේම ඇළුම් කරමි. වන්දනීය වෙමි.

මගේ අම්මා ගැන සේම ඔබේ අම්මා ගැනද බොහෝ දේ මේ වෙද්දී "මේකා ලියනවා දිග වැඩී " නොකියා කියෙව්වොත් ඔබටත් නොඅනුමානවම ඇය සිහි වෙනු ඇත.

දෑස් අග උණු කඳුළක් නොරදා ඔබ සිතින් ඔබේ මව් නමස්කාර කරනු ඇත.

මම අම්මා සමග ඇය මාතාවක් කළ ඒ උතුම් පුරුෂ තෙම මගේ ලොව වීරයා වූ ඒ පියාණන් ද ගෞරව බහුමාන ස්නේහයෙන් සිහි කරමි. වන්දනා කරමි.

මා සකි ඔබ හැදු ඔබ මා පියන්ද ඒ පෙළටම හිඳුවා නමස්කාර කරමි.

මාතු පාදං පීතු පාදං නමාමී.!!!

සියලු මව් පියවරු නිවන් දකිත්වා!